Home » ෂේන් වෝන්ගේ පන්දුවකට මැකෝ දැවී යයි

ෂේන් වෝන්ගේ පන්දුවකට මැකෝ දැවී යයි

by sachintha
November 16, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී දිනයක් බවට පසුගිය 14 වැනිදා පැවති 10වන පාර්ලිමේන්තුව සඳහා ජනතා නියෝජිතයින් තෝරාපත් කිරීමේ පාර්ලිමේන්තු මහමැතිවරණය අවසන් වූයේ වාර්තා රැසක් ද තබමිනි.

මාලිමාවට වාර්තාගත ජයක්

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී 159ක් දිනා ගනිමින් තුනෙන් දෙකක බහුතරයක් සමගින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා නායකත්වය ලබාදුන් ජාතික ජන බලවේගය නොහොත් මාලිමාවට හැකි විය.

සමානුපාතික ඡන්ද ක්‍රමය 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ක්‍රියාත්මක වූ පසුව මුල්වරට තනි දේශපාලන පක්ෂයක් මෙම මැතිවරණ ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අති බහුතරයක් ලබා ගැනීම විශේෂත්වයකි.

තවත් දේශපාලන පක්ෂවල, සන්ධානවල හෝ ස්වාධීන කණ්ඩායම්වල කිසිදු සහයෝගයක් ලබා නොගෙන ජාතික ජන බලවේගය පමණක් මැතිසබය තුළ තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගැනීම සුළුපටු කරුණක් නොවේ.

උතුරු/නැඟෙනහිර ප්‍රතිචාර

මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේදී උතුරු, නැඟෙනහිර පළාත් මෙන්ම වතුකරය ඇතුළු මුළු රටේම ජනතා මතය මාලිමාව බව පෙනීයාම තවත් විශේෂිතම සිදුවීමකි.

පසුගිය ජනාධිපතිවරණයේදී මාලිමාවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට ඡන්දය ප්‍රකාශ නොකළ පිරිස් මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේදී මාලිමාව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර තිබෙන අයුරු ඉතා පැහැදිලිව දැකගත හැකි විය.

ජනපති අනුර වෙනුවෙන්මයි

පාර්ලිමේන්තු මහමැතිවරණ ඡන්ද ව්‍යාපාරයේදී උතුරු නැඟෙනහිර පළාත්වලට ගිය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඝෘජුවම එම ජනතාවට ආමන්ත්‍රණය කළේය. එම ජනතාව තුළ තමා කෙරෙහි දැඩි විශ්වාසයක් ඇතිවන ආකාරයට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කතා කළේය.

ජාති, ආගම්, කුල භේද ඇතුළු විවිධ බෙදීම්වලින් ජනතාව බෙදා එමඟින් දේශපාලන වාසි ලබා ගන්නා කණ්ඩායම්වලට හසු නොවී ජාතිකත්ව කඳවුරක් සමඟ එක්වී මේ රට ගොඩනැංවීම සඳහා දායකවන ලෙසට අනුර කුමාර ජනාධිපතිවරයා කළ ප්‍රකාශ බොහෝ දෙනෙකු තුළ ඇති කළේ දැඩි විශ්වාසයකි. ඒ නිසාම මෙම ඡන්ද ප්‍රතිඵල, මාලිමාවට රටේ පොදු ජනතාව ලබා දුන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වෙනුවෙනි.

රට වෙනුවෙන් තීරණ ලබා ගැනීමට ඉතාම හොඳ ශක්තිමත් පාර්ලිමේන්තුවක් රටේ පොදු මහජනතාව මාලිමාවට ලබාදීම ගැන ජනාධිපතිවරයා සිටින්නේ දැඩි සතුටකිනි.

ඇඬෙන්නම වැඩේ දීලා

ඇතැම් රැස්වීම්වලදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කියා සිටියේ මේ පාර ඇඬෙන්නම දෙන ලෙසයි. ඔහු ඉල්ලූ පරිදි රටේ පොදු මහජනතාව විසින් විරුද්ධ පක්ෂයට ඇඬෙන්නම ප්‍රතිඵල ලබා දී තිබේ.

මෙම ඇඬෙන්නම දීම ගැන මාධ්‍යවේදියෙකු ජනාධිපතිවරයාගෙන් විමසූ විට ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ රටේ මහජනතාව තමන් ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව කෙරෙහි තබන ලද විශ්වාසය ඒ ආකාරයනේම සුරැකීමට කැපවන බවයි.

ඒ නිසා ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් කැපවීමට සෑම පියවරක්ම ගන්නා බවත් ජනතාව තැබූ විශ්වාසය ඔවුන් සිතුවාටත් වඩා සුරැකීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත.

විජිතගේ ප්‍රතිචාර

මෙම ජයග්‍රහණය ගැන කැබිනට් ප්‍රකාශක විජිත හේරත් අමාත්‍යවරයාගෙන් විමසීමට ද මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම අමතක නොකළේය.

ජනාධිපතිවරණයෙන් පසුව භාරකාර ආණ්ඩුව යටතේ අප ලබාදුන් ආදර්ශයට වගේම විරුද්ධ පක්ෂය ගෙනගිය බොරු ප්‍රචාරයන්ට මේ රටේ පොදු මහජනතාව ලබාදිය හැකි හොඳම පිළිතුර ලබා දී ඇති බවද විජිත හේරත් අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී. දේශපාලන වශයෙන් බංකොලොත්භාවයට පත් ඇතැම් පිරිස් කරනු ලබන චෝදනාවලට ද ජනතාව කදිම පිළිතුරක් ලබා දී ඇති බව විජිත හේරත් අමාත්‍යවරයා සඳහන් කළේය.

විශාල පිරිසක් මැති සබයෙන් එළියට

මාලිමාව පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟම හිටපු මැති ඇමැතිවරුන් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ම මෙවර පරාජයට පත්වීම විශේෂත්වයකි.

පවිත්‍රා වන්නිආරච්චි – රත්නපුර, මනූෂ නානායක්කාර – ගාල්ල, රෝහණ දිසානායක – මාතලේ, අනුර ප්‍රියදර්ශන යාපා – කුරුණෑගල, ශාන්ත බණ්ඩාර – කුරුණෑගල, වෛද්‍ය රමේෂ් පතිරණ – ගාල්ල, දිලුම් අමුණුගම – මහනුවර, මහින්ද අමරවීර – හම්බන්තොට, ප්‍රේමලාල් ජයසේකර – රත්නපුර, රොෂාන් රණසිංහ – පොලොන්නරුව, මහින්දානන්ද අලුත්ගමගේ – මහනුවර, ටී.බී. රත්නායක – නුවරඑළිය, අනුරාධ ජයරත්න – මහනුවර, විදුර වික්‍රමනායක – කළුතර, කංචන විජේසේකර – මාතර, ජානක වක්කුඹුර – රත්නපුර, එස්.එම්. චන්ද්‍රසේන – අනුරාධපුර, නිපුණ රණවක – මාතර, තලතා අතුකෝරාල – රත්නපුර, දුමින්ද දිසානායක – අනුරාධපුර, ශෂින්ද්‍ර රාජපක්ෂ – මොනරාගල, රංජිත් සියඹලාපිටිය – කෑගල්ල, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – මාතලේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු – කුරුණෑගල

සංජීව එදිරිමාන්න – කළුතර ආදීහූ ඒ අතර වෙති.

ඡන්දය දවසේ මැකෝ කේක් කයි

පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වුණු පසුගිය 14 වැනිදා මැතිවරණ ‍කොමසාරිස් සමන් ශ්‍රී රත්නායකට දැඩි කාර්යය බහුල දිනයක් විය.

ඡන්ද නිරීක්ෂණ කටයුතු සිදුකරන අතරතුර විවිධ රූපවාහිනී නාලිකාවල වැඩසටහන්වලට සහභාගි වීමටද ඔහු අමතක නොකළේය.

උදෑසන 7.00 ජාතික රූපවාහිනියේ සජීවි වැඩසටහනට පැමිණි මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක තම ජංගම දුරකතනය වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඉන්දික මාරසිංහට ලබා දුන්නේය.

වැඩසටහන යන අතරතුර සමන් ශ්‍රී රත්නායකගේ ජංගම දුරකතනය එක දිගට ඇමතුම් ලැබෙන්නට විය. රාජකාරී ඇමතුම්වලට වඩා අයියා, අක්කා, ඇතුළු ඥාතී නම්වලින් දුරකතන ඇමතුම් රැසක් ලැබෙනු ජංගම දුරකතනය අතැතිව සිටි ඉන්දික මාරසිංහට නීරීක්ෂණය විය.

සජීවි වැඩසටහන අවසන් වූ පසුව සමන් ශ්‍රී රත්නායකට දුරකතන ඇමතුම ලබාදෙන විට ඉන්දික මාරසිංහ කියා සිටියේ අයියාලා අක්කලාගෙන් විශාල දුරකතන ඇමතුම් ප්‍රමාණයක් ලැබුණු බවයි.

“අද මගේ උපන්දිනයනේ. ඒකට සුබ පතන්න තමයි කතා කරන්න ඇත්තේ” යනුවෙන් සමන් ශ්‍රී.රත්නායක ප්‍රකාශ කරමින් තම රථයට ගොඩවිය.

සමන් ශ්‍රී රත්නායක සප්‍රයිස් කිරීමට සිතු ඉන්දික ඇතුළු රූපවාහීනි ප්‍රවෘත්ති අංශය අපූරු දෙයක් සැලසුම් කළේය.

උපන්දින කේක් ගෙඩියක් ගෙනවිත් සමන් ශ්‍රී. රත්නායකට ඒ බව සඳහන් නොකොට දහවල් 11.00ට පමණ ඡන්දය ප්‍රකාශ වීම පිළිබඳව තොරතුරු ලබාදීමට ජාතික රූපවාහිනියට පැමිණෙන ලෙස ආරාධනා කළේය.

මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පැමිණ සජීවී වැඩසටහනට සහභාගී වෙමින් සිටියදී එම වැඩසටහන අතරතුර උපන්දින කේක් ගෙඩිය කැපූවේ සමන් ශ්‍රී රත්නායක පුදුමයට පත් කරවමිනි.

මැකෝ කොළ පාට වෙයි

මැකෝ කියූ පමණින් අපගේ මතකයට හිටපු මැතිවරණ කොමසාරිස්ය. එදා ඔහු හැඳින්වීමටද මාධ්‍ය සගයන් මැකෝ යන වචනය යොදාගත් අවස්ථා තිබුණි.

එනම් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියයි.

මහින්ද දේශප්‍රිය පසුගිය 12 වැනිදා දේශනයක් පැවැත්වීමට පැමිණියේ කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයටය.

එහි උත්සවයක් සංවිධාන කර තිබුණේ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර රචනා කරන ලද “ දේශපාලනයේ දඟ වෙද්දු සහ දඟ පන්දු” යන කෘතිය දොරට වැඩීම වෙනුවෙනි.

දේශපාලඥයින්, මැතිවරණ නිරීක්ෂණ ආයතනවල ප්‍රධානීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු ඇතුළු පිරිසක් මෙම සමුළුවට එක්ව සිටියහ.

තරමක් ප්‍රමාද වී මහින්ද දේශප්‍රිය මෙහි පැමිණි අතර ඔහු ඇඳ සිටියේ කොළ පාට කමිසයකි.

“කොළ පාට ‍නේද දැන් ඇඳගෙන එන්නේ..?“ යනුවෙන් මාධ්‍ය සගයෙකු මහින්ද දේශප්‍රිය ශාලාවට ඇතුළුවන විට ප්‍රකාශ කළේය.

සෙරෙප්පු රතු පාටයි

“ෂර්ට් එක කොළපාට වුණාට සෙරෙප්පු දෙක රතුපාටයි” කියමින් සෙරෙප්පු දෙක පෙන්වූ මහින්ද දේශප්‍රිය සිනහසෙමින් ශාලාව ඇතුළට ගියේය.

මහින්ද දේශප්‍රිය තම දේශනය ආරම්භ කරමින් කියා සිටියේ කමිසය කොළපාට වී සෙරෙප්පු දෙක රතුපාට වූ ආකාරයයි.

“මම රතු පාට සෙරෙප්පු දාන්නේ හේතුවක් ඇතුවයි. රතුපාට සෙරෙප්පු වැඩිය කවුරුත් හොරකම් කරන්නේ නැහැ. ඒක නිසා මං රතුපාට සෙරෙප්පුවලට කැමතියි.“

මැතිවරණ රාජකාරීවලට වාගේම ක්‍රිකට් ක්‍රීඩාවටත් දක්ෂ හිටපු මැකෝ මහින්ද දේශප්‍රිය නිතරම ක්‍රිකට් ක්‍රීඩාවේ උදාහරණ සිය රාජකාරී කටයුතුවලදීත් ගෙනහැර දැක්වූ බව නොරහසකි.

සියවසේ විශිෂ්ටතම පන්දුව

“ලංකාවේ මැතිවරණ තමයි දඟපන්දු . බෝලය එනකම් හොඳට පේනවා. ඒත් බෝලේ වැටිලා දඟකැවුණට පස්සේ බෝලේ කොහේ යනවද? කියලා හිතාගන්න අමාරුයි. ඒක නිකම් ඕස්ට්‍රේලියාවේ ෂේන් වෝන් දමපු ශත වර්ෂයේ විශිෂ්ටතම දඟපන්දුව වගෙයි.

ෂේන් වෝන් ශත වර්ෂයේ විශිෂ්ටතම දඟපන්දුව කියන්නේ පිතිකරුගේ පිටිපස්සෙන් පන්දුව යවන්නේ. පිතිකරු හිතන් ඉන්නේ විකට් කීපර්ට බෝලේ ගියා කියලා. නමුත් පිතිකරු දන්නේ නැහැ. තමන්ගේ පිටුපසින් ගිය පන්දුව විකට් එකේ පොලු ගලවගෙනම යයි කියලා.

හරියට දන්න කෙනා දන්නවා.බෝලය කැරකෙන විදිහටයි,ඇඟිලි හසුරුවන විදිහටයි බෝලේ වැටුණට පස්සේ මොකද වෙන්නේ කියලා. නමුත් හුඟ දෙනෙක් දන්නේ නැහැ. බෝලේ වැටිලා දඟ කැවිලා තමන්ගේ පොලු ගැලවිලා යනකම්ම.

උදේ 7.15 වෙනකොටත් ඡන්දෙ දාලා

ක්‍රිකට් රස කතා අතරතුර මැතිවරණවලදී සිදු වූ රසවත් අමතක නොවන සිදුවීම්ද කිහිපයක් ප්‍රකාශ කිරීමට මහින්ද දේශප්‍රිය අමතක නොකළේය.

“එක පාරක් හලාවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක නෝනා ඉන්දිරා නෝනා තමන්ගේ අම්මත් එක්ක උදේ 7.15ට ඡන්ද දාන්න එනකොට වෙන කවුරුහරි ඒ ඡන්දෙ දාලා ඉවරයි. උදේ 8.00 වෙනකොට මුළු ඡන්ද පොළේම ඡන්දෙ දාලා ඉවරයි.

මැරුණු අයත් ඡන්දෙ දාලද?

එක පාරක් 2008 මැතිවරණ‍ය තියෙනකොට මඩකලපුව කොටි සංවිධානයෙන් නිදහස් කරගෙන ඉවරයි. ඡන්දෙ තිබුණේ 2006 ඡන්ද හිමි නාම ලේඛනයට. අවුරුදු දෙකකට පස්සේ කොපමණ ප්‍රමාණයක් යුද්ධ නිසා ජීවිතක්ෂයට පත්වෙලා ඉන්න ඇද්ද? කොච්චර ඡන්ද ප්‍රතිශතයක් වැටෙන්න ඇතිද? කිව්වට විස්වාස කරන්නේ 98.8%, 98.95% ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය.

මේ වගේ කාරුණුවලට නඩු දැමීම එම සඳහා මැතවරණ කොමිසමට බලයක් නැහැ. එ්ක නිසා මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය විය යුතුයි. පොලීසියට තමයි නඩුදාන්න හැකියාව තියෙන්නේ. නීතිපති උපදෙස් තවම ලැබී නැහැයි කියල නඩු දාන්නේ නැහැ” යනුවෙන් මහින්ද දේශප්‍රිය කළ කතාවට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය.

විපක්ෂයේ වගකීම සජිත්ට

ඡන්ද ප්‍රතිඵල නිකුත් වන විට සජිත් සිිටියේ පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදීය.

ප්‍රතිඵල දැනගත් සමගි ජන බලවේගයේ බොහෝ දෙනෙකු සජිත් ප්‍රේමදාස නායකවරයාට කතා‍ කළේය.

“මොකද වුණේ” යනුවෙන් බොහෝ දෙනෙකු සජිත් ප්‍රේමදාසගෙන් විමසන්නට විය.

“ජනතාවගේ මතයට අපි ගරු කළ යුතුයි” නමුත් 2/3 බලයක් තියෙන ආණ්ඩුවකට හොඳ විරුද්ධ පක්ෂයක් අවශ්‍යයි. ඒක නිසා විරුද්ධ පක්ෂයේ අති විශාල කාර්යභාරයක් ඉටු කරන්න අපිට පැවරී තිබෙනවා. ඒක නිසා විරුද්ධ පක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ එකතු වෙලා විරුද්ධ පක්ෂයේ කාර්යයභාරය කරන්න කටයුතු කරනවා” යනුවෙන් සජිත් ප්‍රේමදාස විසින් පෙන්වා දෙන ලදී.

වජිරගෙන් අනුරට සුබ පැතුම්

මේ අතර පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් මාලිමාව ලබා ගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන සුබ පැතුම් එක් කිරීම විශේෂත්වයක් විය. මාලිමාවට උතුරු නැඟෙනහිර ජනතාවගේ විශ්වාසයද දිනාගත හැකි වීම විශේෂත්වයක් බව වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.

“කෙසේ හෝ වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ජනතාවගේ බලාපොරොත්තු විශාල ප්‍රමාණයක් ඉටුකළ යුතුව තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලාංකිකයන් හැටියට දකුණේ දේශපාලන පක්ෂයක් උතුරේ විශ්වාසය දිනා ගැනීම ගැන අපේ සතුට අපි පුදකර සිටින්න කැමතියි.

ඒ වගේම පහුගිය විපකෂය ගැනත් මේ අවස්ථාවේදී මම වදනක් කියන්න කැමතියි. මැතිවරණයට කලිනුත් අපි ප්‍රකාශ කළේ ඔවුන්ට ඔවුන්ගේ කාර්යභාරය නිසි ආකාරයෙන් නොකළ බවයි. අපිට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍ය කර තිබෙනවා. නව දේශපාලන ගමනක් අවශ්‍ය කර තිබෙනවා. මේ රටේ දුගී දුප්පත් ජනතාව පිළිබඳ නිසි දැනුමකින් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය සකස්කර ගත යුතුව තිබෙනවා. ඉතාම දිළිදු ජනතාව එහෙම නැතිනම් දැනුමෙන් අඩු ජනතාවක් ඔවුන්ගේ සිතුවිලි කෙසේද ඒකරාශී කරගන්නේ. මේ රටේ දියුණුව සඳහා කියලා කල්පනා කර යුතුව තිබෙනවා.

අපි විශ්වාස කරන දේශපාලන දර්ශනයට අනුව වර්තමාන රජය ආර්ථික වශයෙන් ඒ වගේම දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් ඔවුන් භාරගත් අභියෝග ජයග්‍රහණය කළ යුතුව තිබෙනවා. අපි ඒ සඳහා ඔවුන්ට බාධා නොකළ යුතුයි, ශ්‍රී ලාංකික මහජනතාව හැටියට. අපි ශ්‍රී ලාංකිකයින් හැටියට බලා සිටිය යුතුයි. ඔවුන් දුන් බලාපොරොත්තු ප්‍රමාණය කෙසේද, ශ්‍රී ලාංකික මහජනතාවට ලබාදෙන්නේ කියලා.” යනුවෙන්ද වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.

රනිලුත් වගකීම ගනී

එජාප නායක රනිල් වික්‍රමසිංහ ඉදිරි පළාත් පාලන හා පළාත් සභා ඡන්ද විමසීම මෙහෙය වීමට සැලසුම් කර තිබේ. එජාපයට දැනට විශාල කඩා වැටීමකට ලක් වී ඇති තත්ත්වයක් තුළ පක්ෂය ප්‍රතිසංවිධානය කර අදාළ මැතිවරණ ජයග්‍රහණය කිරීම රනිල්ගේ අභිප්‍රාය වී තිබේ.

ආරක්ෂාව ගැන මහින්ද කතා කරයි

මේ අතර සෑහෙන කාලෙකට පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නිහඬතාව බින්දේය. ඒ නෙත් ගුවන් විදුලිය හා සාකච්ඡාවකට එක්වෙමිනි. “ ඔබතුමාගේ ආරක්ෂාව අඩු කිරීම ගැන මොකද හිතන්නේ? “ නෙත් මාධ්‍යවේදියා විමසීය. “ඔය ආරක්ෂකයෝ ඉන්නවාද නැද්ද? කියලා මම හොය හොයා යන්නේ නෑ. මට ඒක වැඩකුත් නෑ. මාව ඉතින් ජනතාව ආරක්ෂා කරයි” මහින්ද පැවැසීය. ” ආණ්ඩුවට මාසයක් ගත වෙලා තියෙනවා. මොකද හිතන්නේ? “මාධ්‍යවේදියා තවත් ප්‍රශ්නයක් යොමු කළේය. ”මාසෙකින් ආණ්ඩුවකට කරන්න පුළුවන් මොනවාද? ඒ නිසා මේ අයට කරගෙන යන්න ඉඩ දෙන්න ඕන. එහෙම නැතුව මේ ගත්ත ගමන් කෑ ගහලා වැඩක් නෑ ” පහුගිය කාලේ අතපසු වුණු විමර්ශන කීපයක් නැවත ආරම්භ කිරීමට සුදානම් බවත් , ඒ අනුව ෆයිල් 400ක විමර්ශන කටයුතු ආරම්භ කිරීමට ආණ්ඩුව සූදානම්ව සිටින බවත් මාධ්‍යවේදියා මහින්දට පැවැසීය. “වෙන වැඩක් නැතිකොට ඉතින් ඔහොම දේවල් හරි කර කර ඉන්න එපැයි. ඔය පරණ ෆයිල් හොය හොයා ඉඳලා වැඩක් නෑ. ඊට වඩා වැඩ කරන්න තියෙනවා, ආණ්ඩුවකට‘“

විමර්ශනවලට සහය දෙන බව මහින්ද කියයි

“රාජපක්ෂලා මුදල් පිටරටවල හංගලා තියෙනවා කියලා පහුගිය දවස්වල මැතිවරණ වේදිකාවල චෝදනාවක් එල්ල වුණා. ඒ පිළිබඳ විමර්ශනයක් කළොත් ඒකට ඔබේ සහය දෙනවාද? “මාධ්‍යවේදියා මහින්දගෙන් විමසීය. ‘‘මැතිවරණ කාලෙට ඕන බොරුවක් කියන්න පුළුවන්. ඒවා ඔප්පු කරන්න තමයි අමාරු. හැබැයි ඉතින් එහෙම විමර්ශනයක් කරනවා නම් ඕන වෙලාවක උදවු කරනවා`‘ හිටපු ජනාධිපතිවරයා පැවැසීය.

රනිල්ට නඩු

රනිල් කියන විදිහට රනිල් ආණ්ඩුවට නඩු දැමීම වැළක් වුවද මේ වන විට රනිල්ට නඩු වැටී ඇත. විදේශ සමාගම් දෙකකින් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස් දහසක් මිලදී ගැනීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් හිටපු ජනාධිපති රනිල් නම් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය කටයුතු කර තිබේ. ඒ කෙසේ වෙතත් සජිත් සද්දේ වහගනිද්දී රනිල් දිගින් දිගටම ආණ්ඩුවට රිදවීම මාලිමාවට හිසරදයක් වී තිබේ. රනිල්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය ආණ්ඩුවට නොරිස්සුම් බව පෙනී ගියේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් කියපු කතාවකිනි.

රනිල්ට ‍ටිල්වින්ගෙන් චෝදනා

“පරාජයට පත් වූ රනිල් තව වටයකින් බොරු කියමින් විහිළු සපයමින් ජනතාව නොමග යැවීමට උත්සහ කරනවා. රනිල්ගෙන් ව්‍යවස්ථාව ‌ගැන ඉගෙන ගන්න කියලා ඔහු කියලා තිබුණා. ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න එයාට කිසිම අයිතියක් නෑ. ව්‍යවස්ථානුකූලව තිබුණු ඡන්ද කඩාකප්පල් කරපු, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරපු, අධිකරණ නියෝග පවා නොතකා හරිමින් වැඩ කරපු රනිල්ගෙන් ඉගෙන ගන්න තියෙන්නේ ඒකාධිපතිවාදය ගැන මිස ප්‍රජාතන්ත්‍රවාදය ගැන හා ව්‍යවස්ථාව ගැන ‌නෙවෙයි. පැරදුණාට පස්සෙත් ආණ්ඩුවෙන් කෝකියෝ 16 දෙනෙක් ඉල්ලා සිටියා නම් ඒ කාලේ කොහොම පාවිච්චි කරන්න ඇතිද?‘“ ටිල්වින් මාධ්‍යවේදින්ගෙන් පසුගියදා විමසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division