ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය විමසා බැලීමේ දී ඉතිහාසය පුරාම දේශපාලනය තුළ කාන්තාවන්ට හිමි වූයේ අඩු වැදගත් කමකි. එකී ඉතිහාසය පුරා මේ රටේ කාන්තාවන් බහුතරයක් සාම්ප්‍රදායික ලෙස නිවසට පමණක් සීමා වූ අතර පසුව අධ්‍යාපන අවස්ථා පුළුල්වීම සහ රැකියාවල නිරත වීම වැනි හේතු සාධක රාශියක් නිසා ඇයගේ සමාජ ජීවිතය වඩා සක්‍රිය වූ බව පෙනී යයි. මේ නිසා තම අයිතීන් ඉල්ලා අරගල කිරීමට සහ දේශපාලනයට ප්‍රවිෂ්ට වීමට ඇය ඉඩප්‍රස්තාව විවර කරගත්තාය.
පළමු කාන්තා දේශපාලන නියෝජනය
ඒ අනුව වර්ෂ 1931 දී කාන්තාවෝ නීත්‍යනුකූල දේශපාලන ක්‍රියාවලියට ඇතුළු වූහ. ලංකාවේ කාන්තාවන්ට මැති සබයට ප්‍රවිෂ්ට වීමට මුලින්ම අවකාශ හිමි වූයේ ද එම වර්ෂයයේ දී වීම ද විශේෂය. ඒ ලංකාවට ප්රදානය කළ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයත් සමඟ සර්ව ජන ඡන්ද බලය ලැබීම නිසාය. ප්‍රථම මැතිවරණය වැඩිහිටි ඡන්දය පදනම් කරගෙන පැවැත් විය. ඒ සඳහා කාන්තාවන් තිදෙනෙක් තරඟ කළහ. ඉන් දෙදෙනෙකු රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඇතුළු විය. ඉන් එක් තැනැත්තියක වූයේ තේසුම් සරවනමුත්තු නම් දමිල වෛද්‍යවරියකි. ඇය කොළඹ කොට්ඨාසයට තේරී පත් වූවාය. අනේක් කාන්තාව වූයේ ඇඩ්ලින් මොලමුරේය. ඇය පියාගේ අභාවයෙන් පසු පැවැත් වූ අතුරු මැතිවරණයකින් ජය ගත්තාය.
දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීන් තේරීම සඳහා 1936 පැවති මැතිවරණයට ද කාන්තාවෝ තිදෙනෙක් තරඟ කළහ. ඉන් උතුරු කොළඹ අසුනට තරඟ කළ තේසුම් සරවනමුත්තු පමණක් ජය ගත්තාය. ඇය මැතිවරණයකදී තරඟ කොට ජයගෙන මන්ත්‍රී මණ්ඩලයට පිවිසි ප්‍රථම කාන්තාව වූවාය.
අනතුරුව රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමයෙන් 1947 දී නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයට කාන්තාවෝ තිදෙනෙක් තරඟ වැදුණහ. මැද කොළඹට අයේෂා රවුප්, කිරි ඇල්ලට ෆ්ලෝරන්ස් සේනානායක, බලපිටියට ශ්‍රීමති අබයගුණවර්ධන තරඟ වැදීනි. මින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට අවකාශය හිමි වුයේ ෆ්ලෝරන්ස් සේනානායකට පමණකි. එහිදී ප්‍රථම පාර්ලිමේන්තු කාලය අවසන් වීමට පෙර තවත් කාන්තාවන් දෙදෙනෙක් පාර්ලිමේන්තුවට එක් වූහ. අවිස්සාවේල්ල අසුන අහිමි වූ පිලිප් ගුණවර්ධන වෙනුවෙන් කුසුමා ගුණවර්ධන නිතරඟයෙන් පත් වූ අතර, මහනුවර අසුන අහිමි වූ ටී.බි. ඉලංගරත්න වෙනුවෙන් අතුරු මැතිවරණයේදී තරඟ කළ තමරා කුමාරි ඉලංගරත්න ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට තේරී පත් විය. 1952 මහමැතිවරණයට කාන්තාවන් දොළොස් දෙනෙකු ඉදිරිපත් වුවත් අවිස්සාවේල්ල අසුනට තරඟ කළ කුසුමා ගුණවර්ධනත්, අකුරැස්ස අසුනට තරඟ කළ ඩොරින් වික්රමසිංහත් පමණක් ජයග්‍රහණය කළහ. කුසුමා ගුණවර්ධන පිලිප් ගුණවර්ධනගේ බිරිඳ වූ අතර, ඩොරින් වික්‍රමසිංහ නම් සුදු කාන්තාව දොස්තර එස්.ඒ. වික්‍රමසිංහගේ බිරිඳ විය. කුසුමා සමඟ එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට ක්ලෝඩා ජයසුරිය පරාජය වුවද පසුව උත්තර මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වූවාය.
1956 මැතිවරණ දි කාන්තාවෝ පස් දෙනෙක් තරඟ බිමේ වූහ. ඉන් සිවු දෙනෙක් ජයගත්හ. කාන්තාවක් ප්‍රථම වරට ඇමැති පදවියකට පත් වූයේ මෙම මැතිවරණයෙන් පසුවය. 1956 සැප්තැම්බර් 25 වැනිදා අගමැති බණ්ඩාරනායක ඝාතනය වීමෙන් පසු සිරිමාවෝ බණ්ඩාරනායක පත් කළ මන්ත්‍රීවරියක වීමේ වරම ලැබුණි. අනතුරුව ඇය ලංකාවේ අගමැතිකම හෙබ වූ ප්‍රථම කාන්තාව වශයෙන්ද ඉතිහාසගත වූවාය. උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකාවක ලංකාවේ අගමැතිකම හිමි වූ ප්‍රථම අවස්ථාව ද මෙයයි. එම අවස්ථාවේ උත්තර මන්ත්‍රි මණ්ඩලයේ උප සභාපති තනතුර දැරුවේද ඇඩ්ලින් මොලමුරේය . ඒ වන විට උත්තර මන්ත්‍රී මණ්ඩලයේ එම්ලින්ද සොයිසා ද මන්ත්‍රීවරියකව සිටියාය.
1960 මාර්තු මැතිවරණයෙන් කාන්තාවෝ තිදෙනෙක් ජයග්‍රහණය කළේය. ලොව ප්‍රථම අගමැතිනිය වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දිව්රුම් දුන්නේ එම මැතිවරණයෙන් පසුවය.
1960 – 2020 දක්වා කාන්තා නියෝජනය
1960 වර්ෂයේදී තේරී පත් වූ මන්ත්‍රීන් සංඛ්‍යාව 157ක් වූ අතර කාන්තා නියෝජනය 3ක් විය. එය ප්‍රතිශතයක් ලෙස 1.9%කි. අනතුරුව 1965 දී තේරී පත් වූ මන්ත්‍රී සංඛ්‍යාව 157ක් වූ අතර, එහි කාන්තා නියෝජනය 6කි. එය ප්‍රතිශතයක් ලෙස 3.8%කි. 1970 වසරේදී මන්ත්‍රී සංඛ්‍යාව 157ක් වු කාන්තා නියෝජනය 6කි ප්‍රතිශතයක් ලෙස 3.8%කි. 1977 වසරේදී මන්ත්‍රී සංඛ්‍යාව 168ක් වූ අතර, කාන්තා නියෝජනය 11කි. එය ප්‍රතිශතයක් ලෙස 6.5% කි. 1989 වසරේදි මන්ත්‍රීන් 225ක් තේරී පත් වූ අතර කාන්තා නියෝජනය 13කි. එය ප්‍රතිශතයක්ලෙස 5.8%කි. 1994 වසරේදි මන්ත්‍රීන් 225 තේරී පත් වූ අතර එහි කාන්තා නියෝජනය 12කි. එය ප්‍රතිශතයක් ලෙස 5.3%කි. වසර 2000දී මන්ත්‍රීවරුන් 225ක් තේරී පත් වූ අතර, එහි කාන්තා නියෝජනය 9කි. ප්‍රතිශතයක් ලෙස 4.0%කි. 2001 වසරේ මන්ත්‍රීවරුන් 225 කි. එහි කාන්තා නියෝජනය 10කි. ප්‍රතිශතය 4.4%කි. 2004 වසරේදී මන්ත්‍රීන් 225කි. කාන්තා නියෝජනය 13කි. එය ප්‍රතිශතයක් ලෙස 5.8%කි. 2010 මැතිවරණයේදී තේරී පත් වූ මත්රීන් සංඛ්‍යාව 225කි. මෙයින් කාන්තා නියෝජනය13ක් වු අතර එය ප්‍රතිශතයක් ලෙස 5.8%කි. 2015 වසරේදී මන්ත්‍රීවරුන් 225 තේරී පත් වූ අතර කාන්තා නියෝජනය 13කි. එය ප්‍රතිශතයක් ලෙස 5.8 %කි. 2020 මන්ත්‍රීවරුන් 225කි. කාන්තා නියෝජනය 13ක් වූ අතර ප්‍රතිශතය 5.8%කි. මේ අනුව බලන කළ ක්රමික වර්ධනයක් පෙන්නුම් කර ඇත. මෙහිදී ලාංකිය දේශපාලනයේ යම් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ වසරක් ලෙස 1960 වර්ෂය පෙන්වාදිය හැකිය.
ලාංකේය දේශපාලනයේ කැපී පෙනුන කාන්තාවෝ
ලාංකීය දේශපාලන ක්ෂේත්රයේ ඉතා ඉහළින් මහජන ප්‍රසාදය දිනා ගනිමින් පාලන බලය හෙබවූ අතිශයින් කැපීපෙනෙන කාන්තාවන් දෙදෙනෙකු සුවිශේෂ වෙයි. ඒ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකය. ප්‍රථම අගමැතිනිය වශයෙන් ලෝකයේ අභිමානවත් වාර්තාවක් දිනාගත් සිරිමාවෝ බණ්ඩාරනායක තුන්වන වරටත් අගමැතිනිය බවට පත් වූ අතර දෙවරක් විපක්ෂ නායිකාවක ලෙස කටයුතු කළාය. මෙම කාන්තාවන් දෙදෙනාගේ කාර්ය භාරය වැදගත් වෙයි. මැතිවරණවලින් කාන්තා නියෝජනය අඩු වැඩි වශයෙන් තේරීපත් වුවද ප්‍රධාන ධාරාවේ කාන්තා නියෝජනයන් ලෙස චන්ද්‍රීකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරියගෙන් පසුව පවුල් පසුබිමින් පරිබාහිරව දේශපාලනයට ප්‍රවිෂ්ට වූ ප්‍රබල කාන්තා නියෝජනය වන්නේ ආචාර්ය හරිනි අමරසුරියයි. ඇය මෙරට තෙවන කාන්තා අගමැතිනිය ලෙස තේරී පත් වූවාය.
කෙසේ වුවත් ආසියානු රටවල්වල මේ දක්වා කාන්තා නියෝජිතයන්ගේ අඩුවක් දැකිය හැකිය. තවමත් බහුතර නියෝජනයක් පවතින්නේ පුරුෂ පක්ෂයේය. මේ අනුව කාන්තාවන් දේශපාලන භූමිකාව තුළ කිසියම් ආකාරයකට සිමා වී ඇති බව පැහැදිලිය.
ඉකුත් මැතිවරණවලදී කාන්තාවන්ගේ නියෝජනය ප්‍රමාණවත් ද යන්න විමසා බැළුවහොත් ඒ සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණවලින් හෙළිදරව්වන කරුණු රැසකි. විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ කාන්තාවන්ට නිසි තැනද සම තැනද යන ගැටලුව සම්බන්ධයෙන් පුළුල් කථිකාවක් ගොඩනැඟි ඇත. එසේම දේශපාලනය සම්බන්ධයෙන් ගත් විට ඒ තුළ කාන්තාව නියෝජනයේ අඩුවක් තිබෙයි. නිදහසින් පසු මෙරටේ දේශපාලනික ක්ෂේත්රයේ අද දක්වා ගත් විට බොහෝවිට පුරුෂයන්ට සාපෙක්ෂව කාන්තා නියෝජනය සීමා වී ඇත.
නමුත් බොහෝවිට දේශපාලන වේදිකාව තුළ සාකච්ඡාවට බඳුන්වන කරුණක් නම් කාන්තාවට නිසි තැනද? සමතැනද? යන්න සහ එසේම දේශපාලන භාවිතාව තුළ කාන්තාවට නිසි තැන දිය යුතුයි යන්න ජනප්‍රිය දේශපාලන සංවාදයක් බවට පත්ව තිබේ. කාන්තාවට ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ සමාජිය සහ සංස්කෘතික තලයෙහි ගොඩනඟා ඇති යම් යම් මතවාද මීට මූලික වී ඇත.
සාමාජීය සහ සංස්කෘතික වශයෙන් මිනිසුන් කාන්තාවන් තුළ දකින පොදු රාමුව දේශපාලනික වශයෙන් බොහො විට නිසි භාවිතයක් නොදෙයි. දේශපාලන පක්ෂ ඉතිහාසය දෙස බැලුවිට කාන්තා නියෝජනය සීමාසහිත බවත් පෙන්නුම් කරයි. පළාත් පාලන මැතිවරණ සහ අනෙක් ඡන්දවල සීමාසහිත ප්‍රමාණයක් හැර තේරී පත්වන කාන්තා චරිත දෙස බලනවිට ඒ බොහෝදෙනා දේශපාලනික පවුල් පසුබිමකින් පැමිණි අය වෙයි.
ප්‍රභූ පවුල් දේශපාලනයෙන් නිර්ප්‍රභූ දේශපාලනයට
ආරම්භයේ සිටම කාන්තා නියෝජනය ගත් විට ඇඩ්ලින් මොළමුරේ නැමැති මන්ත්රීවරියද මොළමුරේ පරම්පරාවෙන් පැමිණි අයකුය. කුසුමා ගුණවර්ධන, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග,… ආදී අය පවා ප්‍රභූ පවුල් පසුබිමකින් පැමිණි කාන්තාවෝය. ඒසේ වුවත් සාමාන්‍ය පවුල් පසුබිමකින්යුත් කාන්තාවන් දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීමක් මේවනවිට දැක ගැනීමට ලැබෙන අතර වර්ථමාන අගමැතිනිය හරිනි අමරසූරියගේ දේ්ශපාලන ගමන ඊට කදිම නිදසුනකි. ඇයගේ සම්ප්‍රප්තිය ලාංකේය ස්ත්‍රී දේශපාලනයේ යම් හැරැවුම් ලක්ෂ්‍යයක් ද සනිටුහන් කරයි. එසේ වුවද ඇයට පරම්පාරිකව පවුල් දේශපාලනය කරන කෙනෙකුට එල්ල නොවන ආකාරයේ අභියෝග රාශියකට මුහුණ දීමට සිදුවූවා. ඇතැම් පෞද්ගලික කරුණු පවා මුල්කරගනිමින් ඇයට විවේචනය එල්ල වූවාය.
ඇය වෙතින් දිස් වූ සාම්ප්‍රදායික නොවන ක්‍රමවේදය නිසා පොදු සමාජය තුළ මෙන්ම පුරුෂ මූලික සමාජය තුළ ඇයව යම් රාමුගත කිරීමකට ලක්කරමින් තිබෙනු දැකිය හැකි විය. කාන්තාව සංස්කෘතිය තුළ ආගම තුළ රැදි සිටිය යුතු අතර, ඇය කුටුම්භය වෙනුවෙන් කැපවිය යුතුය යන ආසියාතික රටවල පොදු සමාජ ආකල්පය තුළ ඇය විලංගු ලෑමට ඔවුන් කල්පනා කරයි. එසේම ගැහැනියක් නම් ඇය විවාහ වී දරුදරුවන් වැදිය යුතුය යන සාම්ප්‍රදායික අදහස්වලින් ඇය අපහසුතාවයට පත් කිරීමට උත්සාහ දරන ආකාරයක් ද පෙනෙන්නට තිබේ. මෙවැනි අදහස් නිසා සාමාන්‍ය සිවිල් සමාජය තුළ මෙන්ම පොදු මහජනතාවගේ තුළ ද දේශපාලනික භාවිතය තුළ ඇයට ඇති අවකාශය ඉතාමත් අවමය. එනිසා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී මෙවැනි උදවිය නියෝජනය වීම අනිවාර්යයකි. පුරුෂ මූලික සමාජය තුළ මෙවැනි දේට අවකාශ හිමිවන්නේ කාලානුරූපීවය.
අධ්‍යාපනයෙන් ජය මාවත කරා
මේ ක්‍රමවේදයන් ක්‍රමයෙන් වෙනස් කළ යුතුය. නමුත් එය අබිබවා යෑමට හැකි කාරණාවක් ද ඇත. ඒ අධ්‍යාපනයයි. අධ්‍යාපනය තුළ කාන්තාවන්ගේ දේශපාලනික සාක්ෂරතාවය වැඩි කළ යුතුයි. ඊට හේතුව දේශපාලන සහභාගීත්වය දේශපාලන අධ්‍යාපනය සහ ඒ සඳහා ප්‍රවිෂ්ට වීමට කාන්තාව සවි බල ගැන්වීම යන සාධකය ලබා දෙන්නේ අධ්‍යාපනය තුළිණි. ඒ තුළ මේ එකම රාමුවක රාමුගත වී ඇති ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් දේශපාලනය පිළිබඳව කියවීමක් සහිතව භාවිතයක් සහිතව දේශපාලනයට අවතීර්ණ වීමට කාන්තාවට අවකාශ හිමිවෙයි.
අධ්‍යාපනය තුළ කාන්තවන් සවිබල ගැන්වීම මඟින් ලැබෙන අලුත් කියවීම භාවිතය නිසා රාමුගත නොවී ජනප්‍රිය සම්ප්‍රදායික ව්‍යුහයක් මත නොරැඳී කාන්තාවන්ට කතා කිරීමට ප්‍රශ්න තේරුම් ගැනීමට හැකියාව ලැබේ. ඇත්ත වශයෙන් නොයෙක් හේතු සාධක මත කාන්තාවන් ඉදිරියට ඒමට අවකාශය අඩු බව පෙනෙයි. කෙසේ වුවත් කාන්තාව මේවන විට යළි පිබිඳිම ඇති බව පෙනෙයි. නව ජනාධිපතිවරයා ඇතුළු නව දේශපාලන ප්‍රවාහයත් එය පිළිගැනීමට ලක්කර තිබීම් එකී දිරිගැන්වීමට හේතු වී තිබේ.
පවුලේ විශාල කාර්ය භාර්යයක් පැවරී ඇති කාන්තාවන් මෙලෙස සවිබල ගැන්වීම තුළින් දේශපාලනයේදී පමණක් නොව ඕනෑම අභියෝගයකට නොසැලී මුහුණ දිය හැකි සමාජ පරිසරයක් නිර්මාණය කළ හැකි බව මගේ විශ්වාසයයි.
සුභද්‍රා දේශප්‍රිය