2024 ජනාධිපතිවරණය ද, මහමැතිවරණය ද දැන් නිමාවට පත්ව තිබේ. ජනතාව විසින් පැතුවා වූ පාලන තන්ත්‍රය ස්ථාපිත වී ඇත. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු වරට නිදහසින් වසර 76 කට පසුව ඊනියා ප්‍රභූ මාෆියා පාලන තන්ත්‍රය වෙනුවට නිර්ප්‍රභූ සමාජ තන්ත්‍රයකට පාලන බලය මාරුවී තිබේ. මෙය සරල හෝ ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. අභියෝගය වන්නේ ලබාගත් බලය පවත්වාගෙන යෑම පමණක් නොව වචනයේ පරිසමාප්ත අර්ථයෙන් සමාජ ප්‍රගමනය උදෙසා වෙනසක් කළ හැකි ද යන්නය.
වෙනස ආරම්භ විය යුත්තේ පහළ සිට ඉහළට ද, ඉහළ සිට පහළට ද යන්න එතරම් වැදගත් නොවේ. ගෙවී ගිය කාලය පුරාවටම පාලකයන් කරනු ලැබුවේ ජනතාවට පටි තද කරගන්නට යයි කියමින් උපදින්නට සිටින දරු පැටවුන් පවා ලෝකයට ණයකරුවන් කරමින් තමන් සියලු සැප සම්පතින් විරාජමාන වීමය. ඒ සියලු බර පැන පවා දරමින්, ඒ වෙනුවෙන් බදු ගෙවමින් හුදී ජනයාට සිදු වූයේ තව තවත් පීඩාවට පත්වීමටය. එහෙත් දැන් තත්ත්වය සපුරා වෙනස්ය. පාලකයන් සිටින්නේ ජනතාව වෙනුවෙන් රටේ උන්නතිය වෙනුවෙන් කැපකිරීම් කරන්නට සූදානමිනි.
ජනතා වගකීම
ගැටලුව ඇත්තේ ජනතාව ඒ සඳහා කෙතරම් සූදානම් ද යන්නය. මන්ද යත් දෘෂ්ටිවාදය යනු හුදු අදහසක් හෝ මතවාදයක් නොව සැබැවින්ම ඉතා දිගු කාලයක් තිස්සේ අභ්‍යාස වූ මතවාදී යන්ත්‍රණයක් සහිත ව්‍යවහාරික පැවැත්මය. එනිසාම කෙනෙකු සොරකමට, වංචාවට, දූෂණයට එරෙහි වන අතරේ සැබෑ ව්‍යවහාරික පැවැත්ම තුළ එකී දූෂණයේ හෝ අක්‍රමිකතාවේ එක් සංඝටකයක් පමණක් බවට පත්වීමට ඉඩ තිබේ. දේශපාලකයන්, ඉහළ පෙළ රාජ්‍ය නිලධාරී තන්ත්‍රය මිලියන ගණනින් දූෂණයේ හෝ අක්‍රමිකතාවන්හි නිරත වන විට රුපියල් 30,000ක පමණ සොච්චම් වැටුපක් මාසිකව ලබා ගන්නා කාර්යාල කාර්ය සහායකයා තම කාර්යාලයේ පවත්නා පෑනක්, පැන්සලක්, හාෆ්ෂීට් කොළ ටිකක් දුවගේ පුතාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ගෙදර ගෙනියනු ඇත. මෙම අන්ත දෙක අතර ඇත්තේ සංඛ්‍යාත්මක වෙනසක් විනා ගුණාත්මක වෙනසක් නොවේ. කාර්යාල කාර්ය සහායකවරයාට ඇත්තේ මහා පරිමාණ වංචාවන් සඳහා ප්‍රවේශ මාර්ගයක් නැතිවීම පමණි. දේශපාලකයාට හෝ ඉහළ පෙළ රාජ්‍ය නිලධාරියාට පවතින අවකාශ ඇහිරී තිබීම පමණකි.
ආර්ථික වශයෙන් බංකොලොත්වී සිටින රටක වුවද, අල්ලස් ගන්නා, මෙම දූෂිත නිලධාරී පැළැන්තිය අලුත් නායකයකු හෝ ආණ්ඩුවක් පත්වූ පසු රට ගොඩනැඟීම වෙනුවෙන් තමන්ගේ දූෂිත භාවය මුළුමනින්ම තුරන් කර වෙනස් වෙනු ඇති ද? උපයන විට ගෙවන බද්ද, ව්‍යාපාරික බද්ද මෙන්ම බොහෝ වක්‍ර බදුවලින් ද රජයේ වියදමට ගෙවන පුරවැසියකු තමන්ගේ අවශ්‍යතාවකට යම් සේවයක් සලසා ගැනීම සඳහා රජයේ කාර්යාලයකට පැමිණි පසු ඔවුන් ගෞරවනීය ලෙස පිළිගෙන ඔවුන්ගේ අවශ්‍යතාව ඉටුකර දෙන රාජ්‍ය සේවකයන් අපට සිටී ද? ඒ වෙනුවට බොහෝ දෙනෙකු මැසිවිලි නඟන්නේ අත යටින් ගාණක් මිට මෙලවූයේ නැතිනම් තමන්ගේ කටයුත්ත නිසි ලෙස ඉටුකර ගැනීමට හැකියාවක් නොමැති බවයි. ඉතින් මෙවැනි රාජ්‍ය නිලධාරි පැළැන්තියක්, අලුත් නායකයකු පැමිණි විගසින් තමන්ගේ කොමිස් ගැහිලි, පගා ගැහිලි නවතා රටේ දූෂණ, අක්‍රමිකතා මුළුමනින්ම තුරන් කිරීමට තමන් එක සිතින් සහාය දෙනු ලබයි ද?
පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ අප දෛනිකව අත්දකින දේ කෙතරම් ද? බස් රථයට, දුම්රියට, පෝලිමේ සිට අනෙකාට ඉඩ දෙමින් ඉවසීමෙන් ක්‍රියා කිරීමේ පුරුද්දක් අපට ඇත් ද? වැඩිහිටියෙක්, ගර්භණි මවක, දරුවෙකු වඩාගත් මවක, කුඩා දරුවකු සෙනඟ පිරුණු බස් රථයකට හෝ දුම්රියකට ගොඩවූ විට ඔහුට හෝ ඇයට ක්ෂණිකව ආසනයක් පිරිනමන්නට ඉදිරිපත් වීමට කොතරම් මැළිකමක් දක්වන්නේ ද? එහෙව් මිනිසුන් රටට අලුත් නායකයකු හෝ ආණ්ඩුවක් පත්වූ පමණින් පසු දින සිට තමන්ගේ ආකල්ප වෙනස් කරගනිමින් මානුෂීය ලෙස හැසිරෙන්නට කටයුතු කරනු ඇති ද? එසේත් නැතිනම් රටට ගැළපෙන හොඳ නායකයෙක් පැමිණි වහාම ස්ත්‍රීන්ට ඉඩදී, පොඩි අයට ඉඩ දී, වයසක අයට ඉඩදී, අතපය වාරු නැති මිනිසුන්ට සහාය වී, පිළිවෙළකට පෝලිමේ ඇවිත් හෙමිහිට දුම්රියට නඟින්නට කටයුතු කරන්නට ඔවුන් සූදානම් ද? මහා මාර්ගයේ මෝටර් රථයක් ධාවනය කරමින් සිටියදී, විදුලි සංඥා පුවරු අසලදී, කොළ එළිය දැල්වුණු කල අලි එළවන්නට මෙන් මහ හඬට නළාව හඬවමින් ඉදිරියෙන් යන කෙනාට හිසරදයක් වන තරමට හැසිරෙන පිරිස්, මාර්ග සලකුණු, මාර්ග නීති නොතකා අනෙකාට කුමක් වුවද, වගේ වගක් නැතිව තමන්ගේ ගමන යන්නට උත්සාහ කරන පිරිස්, අලුත් ආණ්ඩුවක් පත්වූ විගස තමන්ගේ පුරුද්ද අත්හරින්නට සූදානම් ද? පසුදින විනයකරුක රියදුරකු ලෙස පිළිවෙළකට මාර්ගයේ ගමන් කරන්නට ඔවුන් කටයුතු කරනු ඇති ද?
ආකල්පමය වෙනසක්
රජයේ රෝහලකින් බෙහෙත් ටික ගන්න එන අසරණ රෝගීන්ට නොබණින, නොසැලකිල්ලෙන් රෝගියාගේ වම් කකුල වෙනුවට දකුණු කකුල කපා ඉවත් කරන වර්ගයේ වෛද්‍යවරුන් අලුත් නායකයකු පැමිණි විට දකින්නට නොලැබෙයි ද? ඉන්ජෙක්ෂන් වෙනුවට වතුර ගහපු සෞඛ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරීන් හෙට සිට එසේ නොකරනු ඇති ද? අල්ලපු වත්තෙනුත් කෑල්ලක් හසුවෙන අයුරින් වැට ගහපු, තමන්ගෙම සහෝදරයාගේ ඉඩමටත් හොර ඔප්පු හදාගෙන ලියවා ගත් අය අලුත් නායකයකු බලයට පත්වූ පමණින් සමාජ සාධාරණත්වය ඉටු කරයි ද? පාරේ බැහැල යන ගැහැනු ළමයින්ට උසුළු විසුළු කරන, කොට ඇඳුමක් ඇඳ සිටින ගැහැනු ළමයෙක් දුටු විට නැති පිරිමිකම් ඉස්මතු වී ඒ රූපවලට යටින් කුණුහරුප ලියූ තරුණයන් අලුත් නායකයකු හෝ ආණ්ඩුවක් පත්වූ වහාම කාන්තා අයිතිවාසිකම් සුරකින්නට කටයුතු කරනු ඇති ද?
අපගේ රටේ දෛනික ජීවිතය, ආර්ථික කටයුතු මේ මොහොතේ පවත්වාගෙන යාමට විදෙස්ගත ශ්‍රමිකයන් පවුල් ප්‍රේෂණ ලෙස රටට එවන මුදල් තීරණාත්මක සාධකයකි. නිසි ලෙස, නීත්‍යනුකූල මාර්ගයන් ඔස්සේ රටට පවුල් ප්‍රේෂණ එවන පිරිස්වලට අප අපගේ ගෞරව පූර්වක ස්තූතිය පළ කළ යුතුමය. එහෙත් උණ්ඩියල් ක්‍රමයට හෝ නොයෙක් අයථා මාර්ගවලින් මුදල් එවන පිරිස් අලුත් නායකයකු හෝ ආණ්ඩුවක් පත්වීමෙන් පසු නීත්‍යනුකූල මාර්ග ඔස්සේ පමණක් රට ගොඩනැඟීමේ උදාර කාර්යයට අතහිත දෙන්නට මුදල් එවන්නට ආරම්භ කරනු ඇති ද?
මාධ්‍යයේ වගකීම
‘සිංහල මවුවරුන් හාර දහසක් වඳකරලා“ යයි පුවත් පළ කරමින් ජාතිවාදය, ආගම්වාදය පතුරවා රටේ ඒ වන විට පැවති ජාතිකවාදී දේශපාලන ප්‍රවණතාවට ගිනි පිඹින ලද මාධ්‍යකරුවන්, එම ව්‍යාපෘතියෙන් අන්ත පීඩාවට පත්වූ විශේෂඥ වෛද්‍ය සාෆි ඉකුත් සතියේ නිදොස් කොට නිදහස් වුවද, අවම වශයෙන් තමන් කළ නිහීන ක්‍රියාවට සමාව ගනු ඇති ද? රටේ ඒ ඒ යුගයේ පවත්නා දෘෂ්ටිවාදය නඩත්තු කරමින් තම බඩගෝස්තරය වඩා ගැනීමට ක්‍රියාකරන මාධ්‍යකරුවන් අලුත් නායකයකු හෝ ආණ්ඩුවක් බලයට පත්වූ විගසින් තම පටු ආකල්ප වෙනස්කර ගනිමින් අලුත් සුබවාදී වෙනසකට අද සිට පෑන මෙහෙයවනු ඇති ද? දැන් අභිනව ජනාධිපතිවරයාට බහුතර බලයක් සහිත රාජ්‍ය බලය ලැබී තිබේ. නීති සම්පාදනයෙන්, ක්‍රියාත්මක කිරීමෙන්, නීතිය උල්ලංඝණය කරන අය අධිකරණයට පමුණුවා දඬුවම් ලබා දීමෙන් පමණක් මෙම වෙනස ක්‍රියාත්මක කළ නොහැකිය.
2010 වනවිට සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයේත්, ජාතිවාදී රණ කාමයේත් උච්චස්ථානය රාජපක්ෂවාදය තුළින් නියෝජනය වී තිබිණි. 2015 මහමැතිවරණයේදී එය පරාජය කරමින් සාපේක්ෂ වශයෙන් යම් ප්‍රගතිශීලි මාවතකට තල්ලු කර ගැනීමට ඊනියා යහපාලන ආණ්ඩුව සමත් විය. එහෙත් පෙර නොවූ විරූ පිම්මකින් 2019දී රාජපක්ෂ වාදය යළි තහවුරු වූයේ ආණ්ඩු මාරු කළ ද, දෘෂ්ටිවාදය වෙනස් කරන්නට තබා එයට ප්‍රති දෘෂ්ටිවාදයක් අභිමුඛ කිරීමට හෝ නොහැකිවූ බැවිනි. 2017දී බලය දී 2021දී ගෙදර යවන ලද අමෙරිකානු දේශපාලනයේ ජාතිකවාදී උන්මත්තකයකු ලෙස සැලකෙන වයස අවුරුදු 78ක් වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට 2024 දී යළි ලොව බලවත්ම රාජ්‍යයක වගකීම පැවරෙන ලදි. දෘෂ්ටිවාදයේ අභියෝගයට ශ්‍රී ලංකාව ද, අමෙරිකාව ද යන්න අදාළ නොවේ. “වෙනසක්“ යනු පද්ධතියේම වෙනසකි.
lප්‍රියාන් ආර්. විජේබණ්ඩාර