මැතිවරණ ප්‍රචාරණ වැඩසටහන් සමඟ ජනප්‍රිය චිත්‍රපට සම්බන්ධ වූ මෑතකාලීන හොඳම නිදසුන වූයේ 2019 ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස විසින් පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමේ යෝජනාවයි.
ඒ සමඟම ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ ආර්.බල්කිගේ ‘පෑඩ්මෑන්’ චිත්‍රපටයේ පැඩ්මෑන්ට සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය තුළ ඔහු හාස්‍යයට ලක්කරමින් බාල ගණයේ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් විය. එහෙත් ලංකාව මෙන්ම පසුගාමී ඉන්දීය ප්‍රාන්තයක පැඩ්මෑන් යනු තමන්ට මුහුණදීමට සිදු වන සියලු පීඩාවන් හා අත්හැර දැමීම් මධ්‍යයේ සමාජයේ ඉදිරි යහපැවැත්ම වෙනුවෙන් තමන්ගේ ඉලක්කය කරා ගමන් කළ මිනිසකුගේ කතාවයි. අනෙක් අතට ස්ත්‍රීන් ප්‍රසිද්ධියේ කතා නොකළද, මාසික ඔසප් ක්‍රියාවේදී තමන් කොතරම් පීඩාවට පත්වන්නේ දැයි දන්නේ ඔවුන්මය. දැරියන් බොහෝ දෙනෙකු තමන්ගේ ඔසප් දිනයේදී පාසල් නොයෑම හෝ කිළිටි රෙදිකඩ ආදිය භාවිත කිරීම නිසා වෙනත් දිලීර, බැක්ටීරියා, වයිරස් හේතුවෙන් යම් යම් අසාත්මිකතා හෝ රෝගවලට ලක්වීමේ අවදානමත් ප්‍රසිද්ධ රහසකි. මේ හේතුව නිසාම එවක සජිත් ප්‍රේමදාසට එරෙහිව භාවිත කළ මඩ ප්‍රචාරණ ව්‍යාපෘතිය ආපසු කැරකී එය ප්‍රචාරණය කළ වුන්ගේම අවාසියට හේතු විය. සජිත් ප්‍රේමදාස ස්ත්‍රී ප්‍රජාව තුළ ඔහු කෙරෙහි යම් ගෞරවනීය හැඟීමක් වර්ධනය විය. මේ නිසාම එකී සමාජ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපෘතිය අදාළ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ ආයතනයෙන් ගලවා රාජපක්ෂ පවුලේ පුත්‍රයකු යටතට පත්කර මෙහෙයවීමට බලධාරීන්ට සිදු විය.
චිත්‍රපට නොබලා කරන විචාර
2024 මහමැතිවරණ සමයේ රාජ්කුමාර් හයිරනිගේ ‘ත්‍රී ඉඩියට්ස්’චිත්‍රපටය ගැන කතාබහක් කරළියට ඒමත් දුරදිග නොබලා තමන්ගේ පාර්ශ්වයේ ඕනෑම කුණු ගොඩක් කර තියාගෙන යෑම දේශපාලනය ලෙස භාරගත් මෝඩ ප්‍රචාරණ මුදලාලිලාගේ මැදිහත් වීමත්, ‘2019‘ සිදුවීමට අතිශයින් සමානය. රනිල් වික්‍රමසිංහ-සාගල රත්නායක යුගළ විසින් වත්මන් ආණ්ඩුවේ සංක්‍රාන්ති කාලය මෙහෙයවන ලද, ‘අනුර-හරිනි-විජිත‘ ඉලක්ක කරගනිමින් ඔවුන් ‘ත්‍රී ඉඩියට්ස්‘ ලා බවට පත්කර තුට්ටු දෙකේ සමාජ මාධ්‍ය ප්‍රචාරණයක් දියත් කරන ලදි. අතීතයෙන් පාඩම් ඉගෙන නොගැනීම ගම්වල ‘මධ්‍ය මහා විද්‍යාලවලට පමණක් නොව කොළඹ ‘රාජකීයන්ටත්‘ මහා පොදු සාධකයක් බැව් තහවුරු කරමින් මෙම අවර ගණයේ ප්‍රචාරණය ද මාලිමාවේම වාසියට හේතු විය. එය සිලින්ඩර් දේශපාලනයට පෙරළා අවාසියම ගෙන දීමට හේතු වූයේ චිත්‍රපට නොබලා චිත්‍රපට විචාරය කිරීමත් විචාර බුද්ධියකින් තොරව තමන්ගේ නායකයන් කියන ඕනෑම මරි මෝඩ කතාවක් ඇදහීම දේශපාලනය යයි විශ්වාස කරන අන්තේවාසිකයනුත් නිසාමය.
චේතන් භගත් නමැති ඉන්දීය ලේඛකයා විසින් රචිත ‘ත්‍රී ඉඩියට්ස්’ නමැති නවකතාව ඇසුරින් රාජ්කුමාර් හයිරනි තිර පිටපත ලියා අතිශය සාර්ථක, දෙස් විදෙස් සම්මාන ගණනාවකට පාත්‍ර වූ චිත්‍රපටය නිර්මාණය කළේය. නමින් ‘ඉඩියට්ස්’ හෙවත් ‘මෝඩයින්’ වුවද, සැබැවින්ම චිත්‍රපටයේ සිදු වන්නේ රන්චෝ නම් බුද්ධිමත් මිත්‍රයා විසින් තමන්ගේ හොඳම යාළුවන් දෙදෙනා ඔවුන් සිහින දුටු ඔවුන්ගේ යහපත් අනාගතය වෙත කැටුව යන අයුරුය. මේ කතාවේ එන රන්චොගේ එක යාළුවෙකුට ඇත්තේ ඡායාරූප ශිල්පියකු වීමේ පිස්සුවකි. එහෙත් ඔහුගේ ආශාව ඉටුකර ගැනීමට තමාගේ පවුලෙන් හෝ ඔහුට පිටිවහලක් නොලැබේ. ඔහුගේ පියාට අවශ්‍ය වන්නේ තම පුතු ඉංජිනේරුවකු වනු දැකීමය. මේ නිසාම තමන්ගේ ආශාව පසෙකලා පියාගේ හීනය පසුපස දුවයන්නට ඔහුට සිදු වේ. ඒ කෙසේ වුවද, මේ කතාව අවසන් වන්නේ තිදෙනාම තම තමන් කැමැති ක්ෂේත්රවල ඉදිරියට ගොස්, නමක් දිනමින් සතුටින් ජීවත් වන තිදෙනෙකු ලෙස ජීවිතය ජය ගැනීමෙනි. සැබැවින්ම සියලු බාධක, මඩ ප්රචාරණයන්ට සාර්ථකව මුහුණ දෙමින් ජයග්‍රහණය කරා ගිය අනුර-හරිනි-විජිත සුසංයෝගය මෙනි. එහෙත් මෙහි වෙනසක් ද තිබේ. එය නම් ‘ත්‍රී ඉඩියට්ස්’හි තිදෙනා සාර්ථකත්වය අත්පත් කරගන්නේ පෞද්ගලික අභිලාෂයන් මුදුන්පත් කරගැනීමෙනි. එහෙත් මාලිමාවේ නායකත්වයේ තිදෙනා ඉටු කරගන්නේ පෞද්ගලික අභිලාෂයන් නොව වසර 76ක් තිස්සේ මර්දනය කරන ලද පොදුජන අභිලාෂයන්ය. දේශපාලනය පවතින්නේ එතැනය.
රාජකීය ‘ත්‍රී ඉඩියට්ස්’ලා
රනිල්-සාගල යුගළයේ ‘ත්‍රී ඉඩියට්ස්’ කතාව අසන දකින විට පැරණි රාජකීය විද්‍යාලයේ තිදෙනකු ද සිහිපත් වන බැව් කවුදෝ ලියා තිබිණි. ඒ එකම පන්තියේ මිතුරන් වූ රනිල් – අනුර – දිනේෂ් ගැනය. ඒ අනුර යනු එවක රටේ අගමැති බණ්ඩාරනායකගේ පුතාය. එයිටත් වඩා බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයාය. දිනේෂ්ගේ පියා පිලිප් ගුණවර්ධන, බණ්ඩාරනායකගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙකි. රනිල්ගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ, බණ්ඩාරනායකගේත් පිලිප් ගුණවර්ධනගේත් මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවට පහර පිට පහර දෙන ලේක්හවුස් පුවත්පත් සමාගමේ විධායක අධ්යක්ෂ සහ බණ්ඩාරනායකගේත්, පිලිප් ගුණවර්ධනගේත් දේශපාලනයේ පරම හතුරා වූ යූ.ඇන්.පී.යේ උපදේශකයෙකි.
අනුර-රනිල් සහ දිනේෂ් අතිජාත මිත්‍රයන් වුවද, 1956 සිට 1959 තෙක් අනුර සහ දිනේෂ් අතර සමීප ඇසුරක් තිබුණ ද, රනිල් හිටියේ කොන්වී පැත්තකය. 1965දී මේ මිතුරු හවුලේ රනිල් සහ දිනේෂ් එකට එක්විය. 1964 රනිල්ගේ පියා එස්මන්ඩ්, ජේ.ආර්. සහ ඩඩ්ලි සමඟ එක්ව මහජන එක්සත් පෙරමුණු නායක පිලිප්වත් එකතු කරගෙන බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පෙරළනු ලැබිණි. 1977 දී අනුර බණ්ඩාරනායකද, රනිල් වික්‍රමසිංහ ද පාර්ලිමේන්තුවට තේරීපත් විය. ජනාධිපති ජේ.ආර් මාමා නිසාම රනිල්ට ඇමැතිකමක් ද ලැබිණි. දිනේෂ් 1983 අතුරු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. රාජකීය විද්‍යාලයේ ගජමිතුරන් තිදෙනා පාර්ලිමේන්තු ආවේ එහෙමය. 1980 රනිල්, ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් විය. 1983 අනුර බණ්ඩාරනායක විපක්ෂ නායක විය. දිනේෂ් විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස අනුරට එක්විය.
බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරු වූත්, යූ.ඇන්.පී.යේ පරම හතුරා වූත් අනුර බණ්ඩාරනායකගේ දේශපාලනය අවසන් වෙන්නේ යූ.ඇන්.පී යට එක්වීමෙනි. ඒ වනවිට අගමැති ධුරය දරන්නේ රනිල් වික්‍රමසිංහය. බණ්ඩාරනායක යූ.ඇන්.පී.ය අතහැර ශ්රීලනිපය නිර්මාණය කළා සේ අනුර ශ්රීලනිපය හැර යූ.ඇන්.පී.යට එක්විය. ඔහු යූ.ඇන්.පී.යට එක්වන්නේ 1993 දීය. 2001දී ඔහු යළිත් ශ්‍රීලනිපයට එක්වන්නේ තමන්ට යූ.ඇන්.පී.යේ තැනක් නැති බව අවබෝධ කර ගැනීමෙන් පසුවය. 2005 මහින්ද ජනාධිපති වූ පසුව 2007දී අනුර යළි යූ.ඇන්.පී.යට එක්වීමට සාකච්ඡා ආරම්භ කර තිබුණද, එකී සාකච්ඡා ඵල දැරීමට ප්‍රථම හෙතෙම මිය ගියේය.
දිනේෂ් 1983 සිට පෙනී සිටියේ ධනවාදයට එරෙහි බෙදුම්වාදයට, පෞද්ගලීකරණයට එරෙහි වමේ නායකයකු ලෙසය. ඔහු රාජ්‍ය ආයතන විකිණීමට එරෙහිව ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහිව පෙනී සිටි සටන්කාමියෙකි. ඒත් ඔහු අවසානයේ ඔහුගේ ගජමිතුරා වන රනිල් යටතේ 2022දී අගමැති වී රාජ්‍ය ආයතන විකිණීම, ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටවීම ඉහළින්ම පිළිගත්තේය. එපමණක් නොව “මහබැංකු හොරා” යැයි ප්‍රසිද්ධියේ පරිභව කළ පුද්ගලයාගේම සුවච කීකරු ගෝලයා බවට පත්වී මෙවර මහමැතිවරණයට හෝ තරග නොකොට පරාජය භාරගෙන ගෙදර ගියේය. දැන් රනිල් ද ගෙදරය. ‘රාජකීය ත්‍රී ඉඩියට්ස්‘ලා කිසිවකුත් කරළියේ නැත.
තඹුත්තේගම-ගම්පහ-කොළඹ නියෝජනය කරන ත්‍රී ඉඩියට්ස්ලා, පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් පිල් මාරු, තට්ටු මාරු, ප්‍රතිපත්ති මාරු දේශපාලනය කළ ‘රාජකීය ත්‍රී ඉඩියට්ස්ලා‘ වෙනුවට රටක පොදුජන අභිලාෂයන් ඉටු කරනු පිණිස සාර්ථක ගමනක් ආරම්භ කර තිබේ. චිත්‍රපට නොබලා චිත්‍රපට විචාරය කරන රනිල්-සාගල යුගළට තමන්ගෙ තුට්ටු දෙකේ බුමරංගය නිසි පාඩමක් උගන්වා තිබේ. එහෙත් ඒ ඉගෙනීමට කැමැති නම් පමණකි.
lප්‍රියාන් ආර්. විජේබණ්ඩාර