Home » මැතිවරණයෙන් පරදින ජනමාධ්‍යායතන

මැතිවරණයෙන් පරදින ජනමාධ්‍යායතන

by sachintha
November 16, 2024 12:30 am 0 comment

අප අත්විඳි පසුගිය ජනාධිපතිවරණය, අපේ රටේ ජනාධිපතිවරණ ඉතිහාසයට අලුත් අත්දැකීමක් එක් කළේය. ඒ දෙවන මනාප ගණන් කිරීමට සිදුවීම නිසාය. මේ නිසා පසුදා වන විට අවසන් ප්‍රතිඵලය පිළිබඳව කුකුසක් ඇති වී තිබිණ. නමුත් ප්‍රතිඵල නිකුත් කිරීම ඇරැඹී, අලුයම් යාමය උදාවන විටම අවසන් ප්‍රතිඵලය පිළිබඳ නිශ්චිත හැඟීමක් ජනතාව තුළ ඇතිකරවීමට සමාජ මාධ්‍ය සමත් විය. සාම්ප්‍රදායික මාධ්‍යවලට සිදු වූයේ තම ග්‍රාහකයන් දන්නා දේ තහවුරු කරවීමට පමණි.


කවරාකාර හෝ මැතිවරණයකට පසුව එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම ද එක්තරා ආකාරයක අසිරිමත් ක්‍රියාදාමයකි.

ජනතා ඡන්දයෙන් පාලකයන් තේරීමේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව පස්වැනි ශතවර්ෂය තෙක් විහිදෙයි. පුරාණ රෝමයේ ඇති නියානුවන් ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයක් භාවිත කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි. පුරාණ ඉන්දියාවේ ද ඇතැම් ප්‍රාන්තවල මෙම ප්‍රජාතන්ත්‍රවාදී මූලික ලක්ෂණ ක්‍රියාත්මක වී තිබේ.

නූතන සම්ප්‍රදායේ මැතිවරණවල ආරම්භය, ක්‍රිස්තු වර්ෂ 1265 දී සිදු වූ බව විශ්වාස කෙරේ. ඒ මොන්ටිෆෝට්ගේ නායකත්වයෙන් යුත් නියෝජිතයන් තෝරා ගැනීමට එක්සත් ජනපදයේ පැවැත්වුණු මැතිවරණයයි. කෙසේ වෙතත් ජනමාධ්‍යයේ නැඟීමත් සමඟ මෙම මැතිවරණවල ප්‍රතිඵලය ඉක්මනින් මහජනතාවට දැනුම් දීමේ අවශ්‍යතාව පළ විය. එතැනදී මුල් තැන ගෙන තිබුණේ පුවත්පතයි. එය සවිස්තර වාර්තාකරණයකි.

මැතිවරණයක ප්‍රතිඵලය වඩාත් ඉක්මනින් ජනතාවට දැනුම් දීමට ආරම්භ කළ ක්‍රමවේදය, සන්නිවේදන තාක්ෂණයේ දියුණුව විදහාපාන ආකර්ෂණීය පිළිබිඹුවකි. මේ වන විට අපේ රටේ වේගවත්ම ප්‍රතිඵල විකාශන මාධ්‍යය වී ඇත්තේ සමාජ මාධ්‍ය වේදිකාවයි. එහෙත් විශ්වසනීයත්වය සම්බන්ධයෙන් මේ වනවිටත් සම්ප්‍රදායික විදත් මාධ්‍ය ජාලය ඉදිරියෙන් සිටී.

දශක කිහිපයකට ඉහත වේගවත්ම ප්‍රතිඵල වාහකයා වූ රේඩියෝව මේ වනවිට දෙවන පෙළට වැටී තිබේ. මේ තත්ත්වය ගෝලීය සන්නිවේදන ක්‍රියාදාමය තුළ දැකිය හැකි පොදු ලක්ෂණයකි.

ප්‍රතිඵල ප්‍රචාරයේ දී, මුද්‍රිත මාධ්‍යය අතික්‍රමණය කරමින් විදත් මාධ්‍යය ඉදිරියට ආවේ 1920 දශකයේ පමණ සිටය. ‘මුල්ම සජීවී මැතිවරණ ප්‍රතිඵල විකාශය’ ලෙස සැලකෙන්නේ, පිට්ස්බර්ග් හි KDKA ගුවන් විදුලි ආයතනය, අමෙරිකාවේ ජනාධිපතිවරණයකට ලබා දුන් ආවරණයයි.

1920 නොවැම්බර් දෙවැනි දා පැවති මෙම ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පාක්ෂිකයන් වොරන්ට් ජී හාර්ඩින්ග් ජය ගත්තේය. ඩිමොක්‍රටික් පාක්ෂිකයා වූයේ ජේම්ස් කොක්ස් ය. එතැන් සිට, එතෙක් මැතිවරණයක මූලික මූලාශ්‍රය බවට පත්ව තිබූ ‘පුවත්පත’ පසුබෑමකට ලක්විය.

එසේ වුවද, එරට ගුවන්විදුලි මාධ්‍යයට ප්‍රමුඛයා වීමේ ඒකාධිකාරය පවත්වා ගන්නට හැකිවූයේ 1948 පමණ වන තෙක් පමණි. ඒ වන විට රූප මාධ්‍යයේ නැඟීම ආරම්භ වී තිබිණ. අපේ රටේදී නම් මේ තත්ත්වය මීටත් වඩා පමා විය. වසර දෙදහස පමණ වනතුරු ගුවන්විදුලි මාධ්‍යය ඉදිරියෙන් සිටියේය.

ලෝකයේ පැරණිතම ගුවන් විදුලි විකාශනවලින් එකක් වුවත් මැතිවරණ ප්‍රතිඵලය සජීවී විකාශනයක් ලෙස ගෙන ඒමේ දී ශ්‍රී ලංකාව දශක එකහමාරක පමණ පසුබෑමකට ලක්වී තිබේ. ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සජීවී මැතිවරණ ප්‍රතිඵල විකාශනයක් පිළිබඳව අසන්නට ලැබෙන්නේ හැත්තෑව දශකය ආරම්භයේදීය.

මෙරට ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ඇත්තේ 1947 දීය. එම වර්ෂයේ අගෝස්තු 23 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා විටින් විට දින 19ක් තිස්සේ එම මැතිවරණය පවත්වා තිබේ. ශ්‍රී ලංකාවේ මැතිවරණ දෙපාර්තමේන්තුවක් ආරම්භ වී ඇත්තේ 1955 දී ය. කාලයක් ගතවනතුරු ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රමවේදය වර්තමානයට අනුරූප වී නැත. මේ අනුව, 1970 මහ මැතිවරණය දක්වා ප්‍රතිඵල පිළිබඳ වාර්තාකරණයක් මිස සජීව විකාශනයක් පිළිබඳ තොරතුරු සොයා ගත නොහැකිය.

මුල්ම ගුවන් විදුලි මැතිවරණ ප්‍රතිඵල විකාශනය බාහිර සජීවි විකාශයක් ලෙස පවත්වා ගෙන ගොස් තිබේ. එය විකාශය කර ඇත්තේ කොළඹ නගර ශාලාවේ සිටය. ඒ සඳහා වෙනම කුටියක් ඉදි කෙරිණි.

සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුන සඳහාම නිවේදකයන් යොදවා තිබිණ. භාෂා තුනෙන් ම සිදු කෙරෙන ප්‍රතිඵල ප්‍රචාරය සියලු නාළිකාවලට පොදුය.

මේ අනුව ප්‍රතිඵලයක් නිකුත් වූ වහාම භාෂා තුනේම නිවේදකයන් ඒකරාශී වීමත් භාෂා තුනක විකාශන මැදිරි එකට එකතු වීමත් අත්‍යවශ්‍යය. එය හැමවිටම නිවැරදිව සිදුකර ගැනීම දුෂ්කරය. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පෙර ප්‍රචාරය වන තේමා වාදනය නිර්මාණය වී ඇත්තේ මෙම ප්‍රායෝගික දුෂ්කරතාව හේතුවෙනි. එය නිර්මාණය කරන්නට මූලික වූයේ ශ්‍රී ලංකාවේ නාමධාරි ගුවන් විදුලිවේදියකු වූ තේවිස් ගුරුගේ මහතාය. තේමා වාදනය ප්‍රචාරය වන විරාමය තුළ ඒකරාශී වීමට ප්‍රමාණවත් කාලයක් ලැබෙයි.

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශය පිළිබඳ ගුවන් විදුලි මාධ්‍ය ඒකාධිකාරය පැවති කාලයේ, ගුවන් විදුලි සංස්ථාව දැඩි ස්වයං විනයකට අනුගත විය. මැතිවරණයේ දී කවර හෝ දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයකුට සෘජුවම හෝ අනියම් ආකාරයකින් ප්‍රචාරයක් ලැබෙන ආකාරයේ කිසිවකට ඉඩක් තැබුණේ නැත. මේ අනුව ඡන්ද ලකුණු, අපේක්ෂකයන්ගේ නම් ප්‍රචාරය කිරීමෙන් වැළකී සිටියේය. ඡන්ද ලකුණු පිළිබඳව කියැවෙන ගීත තිබේ නම් ඒවා ප්‍රචාරයෙන් ඉවත් කෙරිණ. ඒවා ප්‍රචාරයෙන් ඉවත් කිරීම සඳහා වෙනම නිලධාරීහු ද සිටියහ.

පෞද්ගලික ගුවන් විදුලි ආයතන සංඛ්‍යාත්මකව වැඩිවීමත්, ගුවන් විදුලි මාධ්‍ය සතු ප්‍රතිඵල මුලින්ම ප්‍රචාරය කිරීමේ ඒකාධිකාරය බිඳ වැටීමත් නිසා ගීත පිළිබඳ තිබූ මේ හාස්‍යයෝත්පාදක රීතිය දැන් ඉවත් වී ඇති බව පෙනේ.

මැතිවරණයක ප්‍රතිඵලය එසැනින් ප්‍රචාරය කිරීමේ ගුවන් විදුලි මාධ්‍ය සතු ඒකාධිකාරය රූපවාහිනී මාධ්‍ය විසින් සමසේ බෙදා ගැනීම ආරම්භ කළේ 40 දශකයේදීය. නමුත් ශ්‍රී ලංකාවේදී නම් වසර දෙදහස පමණ වනතුරු ගුවන් විදුලි මාධ්‍යය ඉදිරියෙන් සිටියේය.

මෙරට රූපවාහිනී මාධ්‍යය ආරම්භ වූයේ 1979 දී ය. නමුත් වසර දෙදහස ආසන්න වනතෙක්ම මෙම කාර්යයේ දී ගුවන් විදුලි මාධ්‍යය අබිබවන තත්ත්වයකට ළං වීමට රූප මාධ්‍යයට හැකි වූයේ නැත. මැතිවරණ මහලේකම් කාර්යාලය, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක ඒකකය සමඟ පරිගණක ජාලගත සම්බන්ධතා ඇතිකර ගන්නා තෙක් රූප මාධ්‍යයට සිදු වූයේ ගුවන් විදුලි මාධ්‍ය පිටුපසින් සිට ගැනීමටය. නමුත් ‍ග්‍රැෆික් තාක්ෂණ ක්‍රමවේද සමඟ ජාලගත සම්බන්ධතා වැඩිදියුණු වීමත් සමඟ රූප මාධ්‍යය නිවෙස්වල තිබූ බොහෝ ගුවන් විදුලි යන්ත්‍ර වසා දැමුවේය.

මෙම රූප මාධ්‍යය අතික්‍රමණය බටහිර රටවල සිදුවූයේ අපට බොහෝ කලින්ය.

සජීවී මැතිවරණ විකාශන රාත්‍රීන් පිළිබඳ රූප මාධ්‍ය මුල්ම අත්හදා බැලීම් කල කර ඇත්තේ 1940 දශකයේදීය. 1948 නොවැම්බර් මාසයේ පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිබඳ රූප මාධ්‍ය විකාශනයක් පැවැතියේය.

එම විකාශනයේ දී සංඛ්‍යා මෙන්ම පැහැදිලි කිරීම් සඳහා අවශ්‍ය වූ ප්‍රස්තාර ද හුනුකූරකින් පුවරු මත ඇඳ කැමරාවට නිරාවරණය කරන ලද ඒවාය. විකාශනයට එක් වූ විශ්ලේෂකයන් ඇතැම් සංඛ්‍යා මෙන්ම සිතියම් ද සජීවීව පුවරු මත අඳිමින් තම පැහැදිලි කිරීම් සිදු කර තිබේ. CBS සහ NBC ආයතන විසින් මෙම විකාශන විසුරුවා හරිනු ලැබිණි.

පරිගණක තාක්ෂණයේ ආගමනයත් සමඟ මේ තත්ත්වය තවදුරටත් වැඩිදියුණු විය. පරිගණක ජාලගත සම්බන්ධතා, මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය සඳහා මුල්වරට යොදා ගත්තේ 1960 දීය. රිචඩ් නික්සන් සහ හෙන්රි ෆෝඩ් තරග කළ අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල විකාශනය කිරීම සඳහා ඇමෙරිකානු CBS ආයතනය IBM පරිගණක ආයතනය සමග සම්බන්ධතා ඇති කරගෙන තිබිණ.

නවීන ග්‍රැෆික් සහ වර්ණ කේත මෙන්ම සිතියම් මතින් මැතිවරණ ප්‍රතිඵලය වඩාත් විචිත්‍ර වීම සහ පහසුවෙන් ග්‍රහණය කර ගත හැකිවීම මත රූප මාධ්‍යය ජයග්‍රහණය කළේය. නමුත් ඒ සමගම ජංගම දුරකතනය වටා ගොඩනැඟුණු සමාජ මාධ්‍ය ජාලය විසින් නැවත වතාවක් රූප මාධ්‍යය ද අතික්‍රමණය කරනු ලැබිණ.

මේ අනුව මේ වන විට වේගය අතින් ඉදිරියෙන් සිටින්නේ සමාජ මාධ්‍යයයි. ශතවර්ෂයකට අඩු කාලයක් තුළ මුද්‍රිත මාධ්‍ය ඒකාධිකාරයේ සිට සමාජ මාධ්‍ය දක්වා ඒකාධිකාරය හුවමාරු වීම නූතන සන්නිවේදන තාක්ෂණ පරිණාමයේ පිළිබිඹුවක් සේ සැලකීමේ වරදක් නැත.

දිනෙන් දින වර්ධනය වන තාක්ෂණික මෙවලම් සහ ක්‍රමවේද වසර 2010න් පසු වඩාත් සංකීර්ණ අභියෝගයක් බවට පත්වෙමින් තිබේ. සමාජ මාධ්‍ය ප්‍රබලත්වය හමුවේ විදත් මාධ්‍ය ක්‍රියාකාරිකයෝ අසරණ වෙමින් සිටිති.

තත්ත්වය මෙසේ වුවද සාම්ප්‍රදායික මාධ්‍ය ආයතනවලට තාක්ෂණය හමුවේ පරදින්නට නොහැකිය.

දීර්ඝ කාලයක් තිස්සේ මැතිවරණ විකාශන ද ක්‍රිකට් තරග විස්තර ප්‍රචාරවලින් වෙනස් වන්නේ නැත. ඒවා ද එම ආයතන වල මුදල් උපයන මාර්ගයි. මේ නිසා විදත් ජනමාධ්‍ය ආයතන විසින් මැතිවරණ රාත්‍රිය ආකර්ෂණීය රාත්‍රියක් කර ගැනීමේ වෑයමක යෙදී සිටිති.

ඒ සඳහා නිල නොවන ප්‍රතිඵල ප්‍රකාශ කොට තවදුරටත් පළමුවැන්නා වීමට නොහැකිය. එය නීති විරෝධී වෙයි. නිල ප්‍රතිඵල එසැනින් ප්‍රකාශ කිරීම සඳහා ද මැතිවරණ කොමිසමට මුදල් ගෙවා සම්බන්ධතාව ලබාගත යුතුය. මෙබඳු අභියෝග ජය ගැනීමට ලෝකයේ ජනප්‍රියතම චිත්‍රපටයකට වුව ද නොහැකි බව අපි අත්දැක ඇත්තෙමු.

තාක්ෂණ අභියෝගයට සාර්ථකව මුහුණ දිය හැකි එකම බලවේගය කුසලතා පූර්ණ නිර්මාණශීලී මිනිස් හැකියාවම බව මේ බොහෝ අවස්ථා නැවත නැවතත් පසක් කර දෙයි.

lචන්දන තිලකරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division