Home » මැතිවරණ ඉතිහාසයේ රසකතා

මැතිවරණ ඉතිහාසයේ රසකතා

by sachintha
November 16, 2024 12:30 am 0 comment

2015 මැතිවරණයේ වෙනයම් කිසිම මැතිවරණයක දක්නට නොලැබෙන අවස්ථාවක් දක්නට ලැබුණේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීය. නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් කාන්තාවන් එකළොස් දෙනෙකු නාම යෝජනා දෙනු ලැබුවේ පුරවැසි පෙරමුණේ ‘බසය’ ලකුණෙනි. පුරවැසි පෙරමුණේ ඉතිහාසය සොයාගෙන යන විට එහි ආරම්භකයා පසු කලෙක ජනාධිපති ධුරයපවා හෙබවූ රණසිංහ ප්‍රේමදාස මහතාය. ප්‍රේමදාස වෙනුවෙන් පක්ෂයේ බර කරට ගෙන කටයුතු කළේ සිනමා නළු ගාමිණී ෆොන්සේකාය. මේ පුරවැසි පෙරමුණම පසුකලෙක සිරිසේන කුරේගේ ප්‍රධානත්වයෙන් මහින්ද රාජපක්ෂ යුගයේ ඡන්දයට මුහුණ දුන් නමුත් එයින් වූ සෙතක් නැත.

මෙහි විශේෂත්වය වන්නේ එම කාන්තාවන් දුන් නාම යෝජනා පත්‍ර භාරගත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර තනතුර හෙබවූයේ ද කාන්තාවක වීමය. ඇය නමින් හෙලන් මීගස්මුල්ලය.

මේ නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් නාම යෝජනා භාරදුන් එකොළොස් දෙනා අතර එක් පුරුෂ රත්නයක් හෝ නොසිටීම විශේෂත්වයක් විය. එම නාමයෝජනා ලැයිස්තුව අප මින් පෙර ඇසූවක් ද නොවීය. මෙන්න එදා ප්‍රකාශයට පත්කළ නම් ලැයිස්තුව. බී. වෛජයන්ති, එස්. මේනගා, පී. කනගනායගි, එස්. ජෙයමිනා, එම්. මනෝරංජනී, කේ. විජයකුමාරි, එම්. සීතාලක්ෂ්මි, පී. කමලිනි, එස්. ජෙයචිත්‍රා, කේ. සුබ්‍රමනිගෞරි සහ කේ. නාගලක්ෂ්මි එම අපේක්ෂිකාවන්ය.

මෙරට දේශපාලනය තුළ කාන්තා නියෝජනයේ ආරම්භය ලෙස සැලකෙන්නේ ඇඩ්ලින් මොලමුරේ රුවන්වැල්ල මන්ත්‍රීවරිය ලෙස 1931 දී මැති සබයට පත්වීමෙනි.

ලෝකයේ කාන්තා දේශපාලනය වෙනස් කළ චරිතයක් වූයේ සිරිමාවෝ බණ්ඩාරනායකයි. ඇය ලොව පළමු අගමැතිනිය වූයේ තම ස්වාමියාගේ ඝාතනයත් සමඟය. තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි යන කියමන වදන් පෙළට එක්වූයේ ඉන්පසුවය.

පිලිපීනයේ අකිනෝ බලයට පත්වන්නේත් තම සැමියාගේ ඝාතනයත් සමඟය. මැතිනියගේ දෙවැනි දියණිය වූ චන්ද්‍රිකා ජනාධිපති ධුරයට පත් තෙවැනි කාන්තාව වන්නේ ඊට පෙර දෙදෙනෙකුම ලෝක ඉතිහාසයේ එම තනතුරට පත්වී සිටි නිසාය. අවුරුදු 21ට වැඩි යහපත් මානසික තත්ත්වයක් පවතින ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයටම සර්වජන ඡන්ද බලය යටතේ, ඡන්දය පාවිච්චි කළ හැකි විය.

තමන් කැමති අපේක්ෂකයකු පාර්ලිමේන්තුවට හෝ ජනාධිපතිකමට හෝ පළාත් සභාවකට හෝ පළාත් පාලන ආයතනයකට හෝ තෝරා පත් කර ගන්න අපට ඉඩකඩක් ලැබුණේ 1931 දී සර්වජන ඡන්ද බලය හිමිවීම නිසාය. ඡන්ද බලය හිමිවීමෙන් පසුව, මුලින් පත් කර ගන්නා ලද්දේ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවය.

මීට පෙර සර්වජන ඡන්ද බලය හිමිවීමට පෙර, ගමේගොඩේ ජීවත් වූ අකුරු ශාස්ත්‍රය නොදත් දුගී දුප්පතුනට ඡන්ද බලයක් හිමිව තිබුණේ නැත. ඡන්ද බලය හිමි කර ගැනීමට නම් වසරකට රුපියල් 600කට වැඩි ආදායමක් ලබන පුරවැසියකු වීම අත්‍යවශ්‍ය සාධකයක් විය. ඡන්දය පාවිච්චි කිරීමට, එවක ඉඩකඩක් ලැබී තිබුණේ සල්ලිකාර, නම්බුකාර, පදවිතානාන්තර දැරූ ඉහළ පෙලේ ප්‍රභූන්ට පමණි. වරප්‍රසාද ලත් අයට පමණක් හිමිව තිබුණු ඡන්ද බලය සර්වජන ඡන්ද බලය යටතේ අන්තිමේදී සියල්ලන්ටම හිමිවීමත් සමඟ ‘ඡන්දය’ යනු පොදු ජනතාවගේ තීරණාත්මක අවියක් බවට පත් විය.

ලංකාවේ මැතිවරණ ඉතිහාසය පුරා ‘කවිය’ට ඇත්තේ විශේෂ තැනකි. එහෙත් ‘කවිය’ මෙවර ඡන්දයේදී ප්‍රබල සාධකයක් වූයේ නැත. මෙරට මැතිවරණ ඉතිහාසය පුරා දේශපාලන වේදිකාවේ ජනප්‍රිය කවියකු වූයේ කැස්බෑවේ සෝමවීර චන්ද්‍රසිරිය.

1971දී සෝමවීර චන්ද්‍රසිරිගේ අභාවයත් සමඟ එවක ආණ්ඩුව (සමගි පෙරමුණු) අතුරු මැතිවරණ කීපයක් පවත්වන ලදී. සෝමවීරගේ පුත් සුබාෂ් චන්ද්‍රසිරිට නිදහස් පක්ෂයෙන් නාමයෝජනා නොලැබුණ නිසා ඔහු සටන් වැදුනේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසය. ඩික්සන් ජේ. පෙරේරා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ද යූඇන්පීයෙන් ධර්මසේන ආටිගල ද සටන් වැදුණි. අතුල සෙනරත් යාපා මේ ඡන්දය ගැන පිළියන්දල පැවති රැලියකදී ඊ.ඩී.ඇස්. හේන්ගොඩ කවියා සෝමවීර චන්ද්‍රසිරි වෙනුවෙන් සුභාෂ් චන්ද්‍රසිරිට ඡන්දය දීම කැස්බෑව ජනතාවගේ යුතුකමක් බව කවියෙන් මතක් කොට ඇත්තේ මෙසේය.

පීඩිත පන්තියේ හිත මිතුරා සෝමේය

අප හැර ගියද කළගුණ සැලකිය යුතුය

කළ හැකි එකම දේ පුතු දිනවන එකය

දූෂිත දෙපිල වළ පල්ලට යා යුතුය

ලංකාවේ ඡන්දවලට ‘අරක්කු’ සමඟ ඇත්තේ පුදුමාකාර සම්බන්ධයකි. ප්‍රේමදාස ජනපතිගේ අභාවයෙන් පසු එලඹුණ මැතිවරණයේදී කොළඹ බාර් එකසිය ගණනක් තිබුන බාර් හිමියකු ඡන්දය ඉල්ලූ අතර ඔහුගෙන් තම පාක්ෂිකයින්ට මදි නොකියන්නට ‘අරක්කු’ ලැබී තිබුණි. වරක් මා ඡන්ද කාලයකදී රාජගිරියේ අතුරු මාවතක ගමන් කරමින් සිටියේ පෞද්ගලික අවශ්‍යතාවයකටය. රාත්‍රියේ පැවති ඡන්ද රැස්වීමකට පැමිණි ජනතාවට රබර් රොටි දාන තැටියක තැබූ ‘අශෝක වීදුරු’වලට දමා ප්ලේන්ටි දීම අදහාගත නොහැකි කටයුත්තක් විය. සමහරු විදුරුවල තිබූ ප්ලේන්ටි දෙක තුන එකවර ඇද බා බීමට තඩි කෙළ පාරක් ගැසීම අදහාගත නොහැක්කක් විය. ටිකක් ළඟට කිට්ටු වී බැලූ විට සුළඟත් සමඟ පැමිණි අරක්කු ගඳෙන්ම ඒවා ප්ලේන්ටි නොව අරක්කු බව පැහැදිලි විය.

කලින් කියූ බාර් හිමියාට හවසට තම ඡන්ද වැඩට උදව් දෙන්නට ‘අරක්කුවලින්’ පදම් වු සපෝටර්ලාවත් ඡන්දය නොදීම නිසා පරාජයට පත්විය. ඡන්දයෙන් පරාද වුණත් බාර් හිමි අපේක්ෂකයාගේ ගෙදර පාක්ෂිකයින්ගෙන් පිරී ඉතිරී හවස් යාමයේ ‘මත්සාද’වලින් අඩුවක් නැති විය. මේ ගැන වරක් මේ පරාජිත දේශපාලකයාගෙන් පුවත්පතකින් කරුණු විමසා තිබුණි. ඔහු මේ ගැන දී ඇත්තේ මෙවන් පිළිතුරකි.

“තව අරක්කු කේස් කීපයක් තියෙනවා. පෝස්ටර් අලවන්න ගෙනාපු පිටිමුට්ට කීපයකුත් තියෙනවා. ඒවවලින් හදපු රොටි බයිට් එකට අරන් තමයි ඔය සාජ්ජ දාන්නේ. අද බඩු ඉවරවෙනවා. එතකොට හෙට ඉඳන් ඔක්කොම නවතියි.”

කැස්බෑව ඡන්ද සටනේ නිදහස් පක්ෂ අපේක්ෂකයා ඩික්සන් ජේ. පෙරේරාගේ පියා ප්‍රසිද්ධ ක්ලබ් හිමියකු විය. යූඇන්පීයේ ප්‍රධාන චෝදනාවක් වූයේ ඩික්සන්ගේ පියා අරක්කු බෙදමින් ඡන්දය ලබා ගැනීමට උත්සහ ගන්නා බවය. යූඇන්පීයේ ප්‍රධාන චෝදනාව වූයේ නිදහස් පක්ෂය ජයගතහොත් මුළු කැස්බෑවම මත්පැනින් නැහැවී යනු ඇති බවය. කැස්බෑව හන්දියේ රැස්වීමකදී ඒ ගැන කවියෙන් අදහස් පළකොට ඇත්තේ එම්. පියසේනය.

දුප්පත් ජනයාගේ පොදු හතුරයි පෙරේරා

බෙද බෙද මත් වතුර සැම රවටයි පෙරේරා

ඡන්දය දිනුවොතින් ලොකු විපතකි පෙරේරා

මත්වී වෙරි වෙන්න කැස්බෑවම පෙරෙයි…රා

එහෙත් මීට පෙර අපි පෙරේරා ලෙස සිළුමිණ පුවත්පතේ කතෘවර ශ්‍රීලාල් හික්කඩුව ලියනගේ පළකළ ශීර්ෂ පාඨය දැක තිබුණේ ඇන්.ඇම්. පෙරේරා රා සම්බන්ධයෙන් රජයේ බදු ප්‍රතිපත්තියක් ලිහිල් කළ විට පළකළ ශීර්ෂ පාඨයකි.

අද බොහෝ දෙනාට මතක නැතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලාංඡනය ‘අත’ය. කලින් කී කැස්බෑව ඡන්ද සටනේදීම ශ්‍රීලනිපයේ ඩික්සන් පෙරේරාගේ ජයග්‍රහණයට ‘අත’ දිනවිය යුතු වූයේ පක්ෂ ලකුණ නිසාය. මැතිවරණ රැලියක විල්බට් පෙරේරා අත ජයගන්න බව කවියෙන් කියා ඇත්තේ මෙසේය.

දූෂිත ධනපතින් පෙරළන්නට කළ යුද්ද

ඩික්සන් පුතා විරුවෙකි ජයකොඩි බැන්ද

සැකයක් ඇත්තෙ නෑ නොකියා පුළුවන්ද

අත දිනනවා විසිදහකින් වැඩි ඡන්ද

ඊට පසු එළඹෙන්නේ 1977 මැතිවරණ සමයයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිපය රටපුරා පෝස්ටර අලවා ඇත්තේ ‘77ත් අපි අතටයි’ යනුවෙනි. එහි පසෙක බණ්ඩාරනායක මැතිනිය සිටින බව රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි කොට ඇති පෝස්ටරයේ දැකගත හැකි විය. නමුත් එහි අකුරු කීපයක් වෙනස් කොට තවත් අකුරක් එක්කොට ‘77 අපිට අටයි’ යනුවෙන් වෙනස් කොට තිබුණි. කිව්වා වගේම 77 මැතිවරණයේදී ශ්‍රීලනිපයට හිමි වූයේ එම ආසන සංඛ්‍යාව වීම දෛවෝපගත සිදුවීමක් විය.

ලංකාවේ බයිස්කෝප් නොහොත් චිත්‍රපටය සමඟ ඇත්තේ පුදුමාකාර සම්බන්ධයකි. එවක මරදාන හන්දිය ප්‍රසිද්ධියක් ඉසිලුවේ බයිසකෝප්වල ලොකු කටවුට් පින්තූර සවිකොට ඇති ස්ථානයක් ලෙසය. 77 මැතිවරණ රැලියක් බොරැල්ලේ සිට මැදකොළඹට ඇදෙන විට විජය කුමාරතුංගගේ චිත්‍රපටයක දැවැන්ත පින්තූර ද දැකගත හැකි විය. ටික වේලාවක් ගිය විට ‘විජය’ ගේ මුහුණ සහිත කොටස ලණු දමා කඩා ගත් රැලියේ ගිය පිරිස එය ලණුවක ගැටගසා පාර දිගේ ඇදගෙන ගියේ ඔහු සිරිමාවෝගේ දෙවැනි බෑනා වීම නිසාය.

මැතිනියගේ වැඩිමහල් දියණිය සුනේත්‍රාගේ එවක ස්වාමි පුරුෂයා වූයේ කුමාර් රූපසිංහය. එම අවස්ථාවේ මරදානේ තවත් චිත්‍රපටයක කටවුට් චිත්‍ර ප්‍රදර්ශනය කොට තිබුණි. එම චිත්‍රපටයේ නම ‘යළි ඉපදේවා’. රැලිය පටන්ගෙන චිත්‍රපටයේ නමේ ‘ය’ වෙනුවට ‘අ’ යන්න අලුතින් ඇඳ තිබුණි. අන්තිමට යළි ඉපදේ චිත්‍රපටයේ නම වෙනස් කෙට තිබුණේ ‘අලි ඉපදේ’ ලෙසය.

බාර්වලට – හරක්මස් කඩවලට හෝමාගම තිත තැබූ ගාමිණී ජයසූරිය ඡන්දය ඉල්ලන විට හෝමාගම ආසනයේ මෙවැනි පෝස්ටරයක් අලවා තිබී ඇත.

සෝබනේට නැත ඉඩ ගාමිණීට අපි වැඩ 

මෙරට මැතිවරණ ඉතිහාසය තුළ එදා අපහාසය තිබුණේ නැත. තිබුණේ උපහාසයයි. වරක් කෝට්ටේ ආසනයට රොබට් ගුණවර්ධන සමඟ යූඇන්පීයෙන් සටන් වැදුණේ ආනන්ද තිස්ස ද අල්විස්ය. කෝට්ටේ තිබුණ රැස්වීමකදී රොබට් ගුණවර්ධන තම ප්‍රතිවාදියා වූ ආන්නද තිස්සව උපහාසයට ලක්කොට ඇත්තේ මෙසේය.

“මේ සැරේ කෝට්ටේ මට ෆයිට් එකක් දෙන්න දාලා තියෙන්නේ එක්කෙනෙක් ද? නැත්නම් තුන්දෙනෙක් ද? මිනිහා අනන්ද ද, තිස්ස ද අල්විස් ද?”

ආර් ප්‍රේමදාස, සිරිමාවෝ බණ්ඩාරනායක සමඟ සටන් වැදුණ ජනාධිපතිවරණයේදී සිරිමාවෝ මැතිනියගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණ සේවකයින් බණ්ඩාරනායක මැතිනියගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් එවකට නවක ගායිකාවක ගැයු ගීතයක් සූදානම් කොට තබාගෙන තිබුණි. එම ගීතයේ මුල් ගායනය ලතා මංගේෂ්කාර්ගේය. ගීතය ශ්‍රී ලංකා නම් ගීතයයි. එහෙත් මෙම ගීතය ජනාධිපතිවරණ ප්‍රතිඵල අතර ප්‍රචාරය වීම නිසා ආර්. ප්‍රේමදාස ජනාධිපතිවීමෙන් පසු ඒ ගැන විනය පරීක්ෂණයක් පවා පවත්වන ලදි. එම විනය පරීක්ෂණයේදී තහවුරු වී ඇති තවත් කරුණක් නම් සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය නැවත ලබාදීමට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පියවර ගත් අවස්ථාවේ රූපවාහිනි ප්‍රවෘත්තිවල එම ප්‍රවෘත්තිය පළකිරීමට සිරිමාවෝ බණ්ඩාරනායකගේ ඡායාරූපයක් නොතිබුණ බැවින් එම සතියේ ප්‍රවෘත්ති පත්‍රයක පළකළ සිරිමාවෝ මැතිනියගේ ඡායාරූපයක් කපා බ්‍රිස්ටල් බෝඩ් කෑල්ලක අලවා එම ඡායාරූපය සමඟ ප්‍රවෘත්ති ප්‍රකාශයට පත්කොට ඇති බවය.

ඉතිහාසයේ සඳහන් පරිදි 1947 අගෝස්තු 23 වැනිදා ප්‍රථම මහමැතිවරණය ආරම්භ වූ අතර අවසන් වූයේ සැප්තැම්බර් 20 වැනිදාය. එවකට සිටි ඉංගිරිසි ආණ්ඩුකාරයා ඉදිරියේ 1947 සැප්තැම්බර් 26 වැනිදා දිවුරුම් දුන් ප්‍රථම කැබිනට් මණ්ඩලයට ඇතුළත් වූ සාමාජිකයන් මෙසේය.

අගමැති සහ ආරක්ෂක හා විදේශ කටයුතු ඇමැති ඩී. ඇස්. සේනානායක, පාර්ලිමේන්තු සභා නායක සහ පළාත් පාලන හා සෞඛ්‍ය ඇමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, මුදල් ඇමැති ජේ.ආර්. ජයවර්ධන, කෘෂිකර්ම හා ඉඩම් ඇමැති ඩඩ්ලි සේනානායක, අධ්‍යාපන ඇමැති ඊ.ඒ. නුගවෙල, ප්‍රවාහන හා රජයේ වැඩ ඇමැති සර් ජෝන් කොතලාවල, ආහාර හා සමූපකාර ඇමැති ඒ. රත්නායක, කම්කරු හා සමාජ සේවා ඇමැති ටී.බී. ජයා, ධීවර ඇමැති ජෝර්ජ් ඊ. ද සිල්වා, තැපැල් හා විදුලි සංදේශ ඇමැති සී. සිත්තම්පලම්, ස්වදේශ කටයුතු හා ග්‍රාම සංවර්ධන ඇමැති ඔලිවර් ගුණතිලක, අධිකරණ ඇමැති ලලිත් රාජපක්ෂ, වෙළෙඳ හා වාණිජ ඇමැති සී. සුන්දරලිංගම්, කාර්ය නියමයක් නොමැති ඇමැති ආර්.ඇස්.ඇස්. ගුණවර්ධන ලෙස දිවුරුම් දී ඇත.

මේ කැබිනට් මණ්ඩලයේ විශේෂත්වය වන්නේ ප්‍රථම අගමැති ඩී.ඇස් හැර එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල පසුකලෙක අගමැතිවරු බවට පත් වීමය. මේ අතරින් ඩී.ඇස්.ගේ පුත් ඩඩ්ලි තෙවරක්ම මෙරට අග්‍රාමාත්‍යවරයා බවට පත් විය. එමෙන්ම අගමැති ධුරය මෙන්ම ඊට පසු ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස ඔටුනු පලඳන්නට සමත් වුයේ ලංකාවේ පළමු අමාත්‍ය මණ්ඩලයේ සිටි ජේ.ආර්. ජයවර්ධනය.

දින 19ක් පුරා පැවැති මේ මැතිවරණයෙන් පසු එක් දවසේ මැතිවරණයක් පැවැත්වීමේ ගෞරවය හිමි වන්නේ විජයානන්ද දහනායක අගමැතිවරයාටය. දහනායක ඊටත් වඩා ඉතිහාසගත වන්නේ ප්‍රථම වතාවට රේඩියෝ සිලෝන් එකෙන් ඡන්ද දායකයින්ට ඇමතීමට අවස්ථාව ලබාදීමෙනි.

දහනායක ඇමැති ධුරයට පත්වන්නේ බණ්ඩාරනායක අගමැතිගේ ඝාතනයත් සමඟය. ඡන්දයට දහනායක අලුත් පක්ෂයක් පිහිටවූයේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නමිනි. එයට දහනායක විරෝධීන් නමක් පටබැන්දේ ‘ලංකා පිස්තෝල පක්ෂය’ ලෙසය. ආසන 99ක් තරග වැදුණ දහනායකගේ අපේක්ෂකයන් 88කට ඇප රාජසන්තක වී දහනායක ගාලු අසුනින් පරාජයට පත්විය.

අද දේශපාලනයෙන් කෝටි ගණන් හම්බ කළත් දහනායක අරලියගහ මන්දිරයට ආවේ තම සියලු දේපළ එක සූට්කේසයක දමාගෙනය.

පරාජිත අගමැති දහනායකට ගාල්ලට යන්න පෞද්ගලික වාහනයක් නොවීය. එවකට අග්‍රාමාත්‍ය ලේකම් වූයේ බැඩ්මන් වීරකෝන්ය. බ්‍රැඩ්මන් වීරකෝන් මේ ගැන සටහනක් තබා ඇත්තේ මෙසේය.

“බ්‍රැඩ්මන් මට ගාල්ලට යන්න කාරෙකක් ඉල්ල ගන්න පුළුවන්ද?” පරාජිත අගමැති දහනායක ඇසීය.

“මොකද නැතුව සර්? සර්ට කාරෙකින් යන්න සම්පූර්ණ අයිතිය තියෙනවා.”

“නෑ නෑ බ්‍රැඩ්මන් මම දැන් අගමැති නොවෙයි. අඩුගාණේ මන්ත්‍රී කෙනෙක්වත් නොවෙයි.”

බ්‍රැඩ්මන් වහාම කාරෙකක් හිටපු අගමැති දහනායකට සූදානම් කර දෙන ලදි. ඔහු ගෙනගියේ අරලියගහ මැදුරට එනවිට ගෙනා සූට්කේසය පමණි. වෙනසකට තිබුණේ දහනායක ටිකක් වයසට ගොස් සිටීමත් සූට්කේසය මාස කීපයක් පරණ වී තිබීමත්ය.

එදා මෙදාතුර දේශපාලනයේත් වත්මනෙහි දක්නට ලැබෙන ගසා කන කොන්ත්‍රාත් කොමිස් ගහන දේශපාලනයේත් වෙනස එයයි!

lවජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division