සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු ද වන සුජීව සේනසිංහට අයත් බව කියන V8 වර්ගයේ මෝටර් රථය මේ වන විට සමාජයේ දැඩි කථාබහකට ලක්වන මාතෘකාවක් බවට පත් වී හමාරය. ඒ, එම රථය මන්ත්‍රීවරුන්ට ලැබෙන වාහන බලපත්‍රයකින් ලබාගෙන 2022 වසරේ පෙබරවාරි මාසයේදී ලියාපදිංචි කර ඇතැයි කීවත් 2011 වසරේ මාර්තු 30 වැනිදා සෙට්ටිකුලමේදී මාරක රිය අනතුරකට ලක්වූ රථයක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළි කරගෙන ඇති බැවිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින් විසින් හෙළි කරගෙන ඇති අකාරයට මෙකී රථය මෙරටට ආනයනය කර ඇත්තේ 2010 වසරේදීය. 2011 වසරේදී අනතුරට ලක්ව ඇත්තේ සුජීව සේනසිංහට අයත් බව කියන මෙම V8 මෝටර් රථයම නම් එහි මුල් හිමිකරු වන්නේ ශ්‍රී රංගා ය. ඒ, එදා අනතුරට ලක්වූ රථයේ හිමිකරු ලෙස පෙනී සිටියේ ශ්‍රී රංගා වූ බැවිනි. ඒ අනතුර සම්බන්ධයෙන් අතීත තොරතුරු හාරා අවුස්සා බැලීමේදී පෙනී යන්නේ අනතුරට ලක්වූ එකී රථය 2010 වසරේදී මෙරටට ආනයනය කර ඇති එකක් බවය. එදා අනතුර සිදු වන විටත් ලියාපදිංචි කර නොතිබුණු එම රථය ධාවනය කර තිබුණේ ගරාජ් අංකයකිනි.
පොලිස් සැරයන්වරයා වරදකරුවකු කළ පොලිස් ලොක්කෝ
ප්‍රභූ පුතුන් ඇසුරු කරමින් බලවත් මන්ත්‍රීවරයකුව සිටි ශ්‍රී රංගා පැදවූ මෝටර් රථය සෙට්ටිකුලමේදී අනතුරට ලක්වන්නේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවය. අධික වේගයෙන් ධාවනය වී තිබුණු මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මුලින්ම ගැටෙන්නේ සෙට්ටිකුලම තැපැල් කාර්යාලය ඉදිරිපිට ඇති බෝක්කුවේය. ඒ වේගයෙන්ම දෙවැනුව මෝටර් රථය ගැටෙන්නේ සෙට්ටිකුලම රෝහල් තාප්පයේය. අනතුරුව මෝටර් රථය නතර වන්නේ තාප්පය ද බිඳ දමාගෙන ගොස් අසල තිබුණු පළු ගසක ගැටීය. මෙම අනතුරින් ශ්‍රී රංගාගේ ආරක්ෂාවට සිටි ඇමැති ආරක්ෂක අංශයේ සැරයන්වරයකු මිය ගියේය. ශ්‍රී රංගාට ජීවිත අවදානමක් තබා බරපතළ තත්ත්වයේ සීරීම් තුවාලයක්වත් සිදු නොවීය. රියැදුරු අසුනට යාබද ඉදිරි අසුනේ ගමන් කළ පොලිස් සැරයන්වරයා මන්ත්‍රීවරයකුගේ ආරක්ෂාවට ගොස් සිය ජීවිතය පුද කරන විට පොලීසියේ ලොක්කෝ එකතු වී කළේ අනතුර සිදු වන විට මෝටර් රථය පැද වූයේ මියගිය පොලිස් පරීක්ෂකවරයා බවට වූ ප්‍රබන්ධයක් ගොඩනැඟීමය. ඒ, ශ්‍රී රංගා ආරක්ෂාකර ගැනීමේ අපේක්ෂාව ඇතිවය.
ඒ සිදුවීම පිටුපස කවුරුන් සිටියත් එකී කොන්ත්‍රාත්තුව භාර ගෙන තිබුණේ එවකට සිටි පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය ය. සෙට්ටිකුලම පොලීසියේ එවකට ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මේ කටයුත්තට නම්මා ගැනීමට නොහැකි වූ තැන විශේෂ රාජකාරියකට යැයි කියා පොලිස්පතිවරයා විසින් වහාම ඔහු කොළඹට කැඳවීමය. සෙට්ටිකුලමේ සිට ඔහු කොළඹට යන අතරතුර වවුනියාවේ පොලිස් ලොක්කෝ ටික එකතු වී ශ්‍රී රංගා මුදා ගැනීමේ මෙහෙයුම දියත්කරනු ලබන්නේ මිය ගිය අහිංසක පොලිස් සැරයන්වරයාගේ පිටින් සියල්ල දමාය. වැඩේ පත්තු වන්නේ එන්.කේ. ඉලංගකෝන් පොලිස්පති ලෙස පත්වීමෙන් අනතුරුවය. ඒ, මියගිය පොලිස් සැරයන්වරයාගේ බිරිය පොලිස් මූලස්ථානයට පැමිණ සිදුව ඇති අවනඩුව කීමත් සමඟිනි. සිය සැමියා ලියාපදිංචි නොකළ වාහනයක් පදවා රිය අනතුරක් සිදු කර ඇති වරදට පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලැබිය යුතු වරප්‍රසාද පවා අහිමි වී ඇති බව ඇය පොලිස්පති ඉලංගකෝන් හමුවේ පැවැසුවාය. ඉලංගකෝන් පොලිස්පතිවරයා මේ අවනඩුව විසඳීමේ භාරදූර කටයුත්ත පවරන්නේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයටය. ඇත්ත නැත්ත කළ ඒ රිය අනතුරේ සැබෑව නිරාවරණය වන්නේ ඒ සමඟය. නීතිය ඕනෑවටත් වඩා නැවීමට ගිය පොලිස් ලොක්කෝ පමණක් නොව, ශ්‍රී රංගාට එරෙහිවත් මේ වන විට වවුනියාව මහාධිකරණයේ නඩු පවරා ඇත්තේ ඒ අනුවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් කියැවෙන්නේ සුජීව සේනසිංහට අයත් බව කියන V8 වර්ගයේ මෝටර් රථය එකී නඩුවට වස්තු බීජය වූ රිය අනතුරට සම්බන්ධ මෝටර් රථය බවය.
මේ අනතුරට ලක්වූ රථයමද?
සුජීව සේනසිංහට අයත් බව කියන ප්‍රශ්නගතව ඇති V8 වර්ගයේ මෝටර් රථය දුටු විට එය එදා සෙට්ටිකුලමේදී අනතුරට ලක්ව චප්ප වූ මෝටර් රථයම දැයි සිතා ගන්නට බැරි තරම්ය. ඒ, එම රථය ආනයන තත්ත්වයේ පැවති ආකාරයටම ඉතා හොඳ තත්ත්වයෙන් ඇති බැවිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින් විසින් හෙළි කරගෙන ඇති තොරතුරුවලට අනුව සුජීව සේනසිංහට මෙම මෝටර් රථය ලැබී ඇත්තේ ශ්‍රී රංගාගෙනි. සුජීව සේනසිංහගේ පාර්ශ්වයෙන් කියැවෙන ආකාරය අනුව නම්, ප්‍රශ්නගත මෙම රථය සුජීව සේනසිංහ මිලදී ගෙන ඇත්තේ ඔහුට අයත් මන්ත්‍රී වාහන බලපත්‍රයකිනි. එම රථය සිය නමින් සුජීව සේනසිංහ විසින් ලියාපදිංචි කර ඇත්තේ 2022 වසරේ පෙබරවාරි මාසයේදීය. රථයේ ලියාපදිංචි තොරතුරු පරීක්ෂා කිරීමේදී නම් බැලූ බැල්මට රථයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් කිසිදු හොර බොරුවක් නම් සොයා ගැනීමට මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට හැකියාවක් ලැබී නැත. ලියාපදිංචි පොත්පත්වල ඇති චැසි අංක සහ එංජින් අංක ද කිසිදු වෙනසක් නැත. ඒ අනුව බැලූ බැල්මට මෙම වාහනය සම්බන්ධයෙන් වරදක් නැති තරම්ය.
ඒ යැයි කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩේ අතහැර දැමුවේ නැත. ඊට හේතුව බැලූ බැල්මට හැම ලියවිල්ලක්ම නිවැරදිව තිබුණත් එදා සෙට්ටිකුලමේදී සිදුවූ අනතුරින් සුනුවිසුනු වූ මෙම වාහනය මෙතරම් ලස්සනට ඇත්තේ කොටස් එකලස්කර සකස් කිරීම හේතුවෙන් යැයි සැක කළ හැකි තොරතුරු රැසක් විමර්ශන ඔස්සේ ලැබෙන්නට වූ නිසාය.
සුජීව සේනසිංහගේ මෙම වාහනය පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලුහුබැඳීමට පෙර ඒ ගැන සොයා බැලුවේ පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ය. ඒ සුජීව සේනසිංහගේ නිවසේ එල්.ටී.ටී.ඊ.යේ කැලෑ ඇඳුම්වලට සමාන ඇඳුම් සමඟ නීති විරෝධි ලෙස කොටස් එකලස් කර සකස් කර ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් ඇති බවට තොරතුරු ලැබීමත් සමඟය.
දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ වැටලීම්වලට තිත
මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ක්‍රියාත්මක වන්නේ පොලිස්පතිවරයාගේ සෘජු අධික්ෂණය යටතේය. දේශපාලන අතපෙවීම්වලින් තොරව කටයුතු කරන ආයතනයක් බවට ඉතිහාසය පුරාම සාක්ෂි දරන මෙම බළකාය අවස්ථා දෙක තුනකදීම අකර්මර්ණය කරනු ලැබුවේ පොලීසියේ සිටින දේශපාලන බත්බැලයන්ගේ වුවමනා එපාකම් මතය. 2002 වසරේදී මෙම බළකායට කැලණි පාලමෙන් එපිටට ගොස් සිදු කරන වැටලීම්වලට නැවතීමේ තිත තැබෙන්නේ එවකට දේශපාලන බලවතකුගේ ඡන්ද වැඩට උපකාර කළ නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ජාවාරම්කරුවන් පිරිසක් සතුටු කරවන්නටය. එම තහනම ඉවත් කර බළකායට නැවත ජීවයක් ලැබෙන්නේ 2004 වසරේදී සිදු වූ දේශපාලන වෙනස සමඟිනි. නැවතත් මෙම බලකාය අකර්මනණ්ය වන්නේ ඌවේ දේශපාලන බලවතකුගේ සමීපතමයකුට අයත් හම්බේගමුවේ පිහිටි ගංජා හේනක් වැටලීමට ගොසිනි. ඒ, 2009 වසරින් පසු වකවානුවේදීය.
නැවතත් වලානේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට හොඳ කලක් උදා වන්නේ එන්.කේ. ඉලංගකෝන් පොලිස්පති ධුරයට පත්වීමත් සමඟිනි. ඉලංගකෝන් පොලිස්පතිවරයාගෙන් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායට නව පණක් ලැබීමත් සමඟ සුපුරුදු දස්කම් පෑ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරින් එවර අවධානය යොමු කළේ විශාල බදු ආදායමක් අහිමි කරමින් නීති විරෝධීව මෙරටට ගෙන්වන වාහන හා කොටස් එකලස්කර සකස් කරන වාහන ජාවාරම් ගැනය. ඒ අනුව ගෙවී ගිය කාලය තුළ පමණක් එවැනි වාහන 50කට වැඩි ප්‍රමාණයක් සොයා ගන්නා මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය ඉකුත් වසරේදී අනාවරණය කරගනු ලබන්නේ එසේ හොරට ගෙන්වා ඇති වාහන 430ක තොරතුරුය. ඒ, එම වාහන මේ වන විට මාර්ගවල ධාවනය කෙරෙන අංක ද සමඟිනි. එම වාහනවලින් බොහොමයක්ම දේශපාලනඥයන්ට සම්බන්ධකම් ඇති ඒවා බව හෙළි කර ගන්නා බළකායේ නිලධාරින් 430 ලැයිස්තුවේ ඇති වාහන එකින් එක අල්ලන්නට ගන්නේ දේශපාලන බලපුළුවන්කාරයන්ට අයත් වාහනවලට මුල් තැන දෙමිනි. ඒ සමඟම එවකට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ නම් ද දිග හැරෙන්නට ගැනීමත් සමඟ වාහන ඇල්ලීමේ කටයුත්ත වලානේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායෙන් ගලවා භාර කෙරෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. නීති විරෝධි ලෙස කෑලි පූට්ටු කර සකස් කර හොර පාරෙන් ලියාපදිංචි කර ඇතැයි කියැවෙන වාහන 430ක ලැයිස්තුව ද සමඟ එතෙක් විමර්ශනයට ලක්වූ වාහනවලට අදාළ ලිපි ගොනු පිටින් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත්තද ඊට සිදු වූයේ කුමක් දැයි අදටත් කියන්නට කිසිවකු ඉදිරිපත් වන්නේ නැත.
හොර වාහන පස්සේ පැන්නීමට වැට බැඳුණු පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායට එවැනි වැටලීමකට අවස්ථාවක් උදා වන්නේ නැවතත් රට තුළ සිදු වූ දේශපාලන පෙරළියත් සමඟිනි. දේශපාලන අනුහස් ඇතිව නීතියට ද වංගු ගසමින් පරිහරණය කළ හොර වාහන රට වටෙන්ම එක දෙක එළියට එන විට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායට තොරතුරක් ලැබෙන්නේ සුජීව සේනසිංහට අයත් බව කියන v8 වර්ගයේ රථයත් කොටස් එකලස් කර සකස් කර ඇති එකක් බවටය. එම තොරතුරේම සඳහන්ව ඇත්තේ සුජීව සේනසිංහගේ කොළඹ කොල්ලිපිටියේ පිහිටි නිවසේ එල්.ටී.ටී.ඊ. කැලෑ ඇඳුම් ද ඇති බවය.
සුජීව සේනසිංහගේ v8 මෝටර් රථය
නීතීඥවරයකු වන සුජීව සේනසිංහ සමාජයේ වැදගත් පුද්ගලයෙකි. එසේම දේශපාලන පක්ෂයක වැදගත් තනතුරක් ද දරන්නෙකි. වාහන රැසක ද හිමිකරුවකු වන ඔහුට කිසි දිනක මෙවන් චෝදනාවක් ඊට පෙර එල්ල වී තිබුණේ ද නැත. මේ නිසාම මෙම තොරතුර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වැඩි අවධානයකින් සහ වැඩි පරිස්සමකින් කටයුතු කිරීමට බළකායේ නිලධාරිහු කල්පනා කළහ. ඒ ඉහළ පොලිස් බලධාරීන්ගෙන් ද උපදෙස් පතමිනි. ඒ අනුව එල්.ටී.ටී.ඊ.යේ කැලෑ ඇඳුම් සහ කොටස් එකලස් කර ඇතැයි කී වාහනය සොයා වලානේ දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරින් සුජීව සේනසිංහගේ කොල්ලුපිටියේ පිහිටි නිවෙසට ගොඩවන්නේ පසුගිය 02 වැනිදාය. ඒ, අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් ද ඇතිවය. එදා පොලීසිය නිවෙස සෝදිසි කිරීමට යන විට සුජීව සේනසිංහ නිවෙසේ රැඳී සිටියේ නැත. කොටස් එකලස් කළ වාහනයක් තබා එල්.ටී.ටී.ඊ.යේ කැලෑ ඇඳුමක කොටසක්වත් එම නිවෙසින් සොයා ගන්නට නොවීය. එබැවින් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ට සිදු වන්නේ හිස් අතින් නැවතත් පානදුර බලා යන්නටය.
මේ අතර සුජීව සේනසිංහ කුරුඳුවත්ත පොලිසියට ගොස් පැමිණිල්ලක් කරන්නේ තමාගේ නිවෙසට පැමිණි පිරිස සැබෑ ලෙසම පොලිස් නිලධාරින් දැයි කියාය. සුජීව සේනසිංහ කුරුඳුවත්ත පොලිස් ස්ථානයට ගොස් එම පැමිණිල්ල කළද පරීක්ෂාවට ලක්වූ නිවෙස පිහිටා ඇත්තේ කොල්ලුපිටිය පොලිස් බලප්‍රදේශයේ වූ බැවින් එකී පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු සොයා බලන්නේ කොල්ලුපිටිය පොලිසියේ නිලධාරින් විසිනි.
මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරින් සුජීව සේනසිංහගේ නිවෙස සෝදිසි කිරීමට එන්නේ හොරා පොලිස් සෙල්ලමකට නොව, අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ද රැගෙන නීත්‍යනුකූල පිළිවෙළකටය.
එබැවින් සැඟවීමට දෙයක් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායට නොවීය. එතෙක් මාධ්‍යයට පවා රහසක්ව පැවති සුජීව සේනසිංහගේ නිවෙස පරීක්ෂා කිරීම ගැන මුළු රටම දැනගන්නේ ඒ සමඟිනි. ඒ තමාගේ නිවෙස පරීක්ෂා කිරීම ගැන සුජීව සේනසිංහ මාධ්‍ය හමුවේ කරුණු ගෙනහැර පාමින් පොලීසියට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කියන්නට වූ බැවිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන
ඒ සමඟම වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය තීරණය කරනු ලබන්නේ සුජීව සේනසිංහට අයත් v8 රථය සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්නටය. ප්‍රශ්නගත V8 රථයේ පැටිකිරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයන්නට ගන්නේ ඒ සමඟය. සෙට්ටිකුලමේදී අනතුරට ලක්වූ ශ්‍රී රංගාගේ වාහනය හා සුජීව සේනසිංහගේ ප්‍රශ්නගත V8 රථය දෙකක් නොව, එකක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් පැවසුවේ අනතුරට ලක්වූ මෝටර් රථයේ චැසි අංක, එන්ජින් අංක පමණක් ගළපා නොව, එම රථයේ මවු සමාගමේ මෙරට නියෝජිතයාගෙන් පවා තොරතුරු ලබා ගනිමිනි. අනතුරට ලක්වූ රථය මෙරටට 2010 වසරේදී සිය සමාගම මඟින් ආනයනය කළ බව මෙන්ම අනතුරින් පසුව රථයේ අලුත්වැඩියාවක් එකී සමාගමෙන් සිදු කරගෙන නොමැති බව පවා හෙළි කරගන්නේ ඒ ඔස්සේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන එතැනින් හමාර වන්නේ නැත. සෙට්ටිකුලමේදී කුඩු පට්ටම් වූ ශ්‍රී රංගාගේ වාහනය අලුත්වැඩියා කළ කැලණියේ පිහිටි ගරාජය පවා සොයාගත්තේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලබන්නේ සෙට්ටිකුලමේ සිදු වූ අනතුරින් පසු මෙම රථය සුජීව සේනසිංහ අතට පත්ව ඇති බවය.
කැලණියේ ගරාජයෙන් මෙම රථය අලුත්වැඩියා කරගෙන ඇතැයි පැවසෙන්නේ ඉන් අනතුරුවය. දින තුනක් තිස්සේ ගරාජයේ තිබුණු රථයට අලුතින් එක් කළ කොටස්වල ලැයිස්තුවක් පවා දැන් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අතය. ගරාජයෙන් එළියට ගත් එතෙක් ලියාපදිංචි කර නොතිබුණු එම වාහනය ලියාපදිංචි කිරීමට 2022 වසරේ පෙබරවාරි මාසයේදී වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාල පරිශ්‍රයට රැගෙන ගිය ගරාජ් අංකය මෙන්ම එම අංකය ඉල්ලා ගත් වාහන ආනයන සමාගමේ තොරතුරු හැම එකක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් සොයාගෙන හමාරය.
2010 වසරේ මෙරටට ආනයනය කර ඇති මෙම මෝටර් රථය වසර 12ක් තිස්සේම තිබී ඇත්තේ ලියාපදිංචියෙන් තොරවය. මෙම වාහනය 2011 වසරේදී සෙට්ටිකුලමේදී සිදු වුන අනතුරින් කුඩුපට්ටම් වූ වාහනයම දැයි බැලූ බැල්මට කියන්නට බැරි තරම්ය. තවමත් වාහනය ඇත්තේ ආනයන තත්ත්වයේ අලුත්ම එකක් ලෙසිනි.
රිය අනතුරින් පසු මෙම වාහනයේ එන්ජිම, චැසිය හෝ වාහනයේ බඳ නීති විරෝධි ලෙස වෙනස් කර එකලස් කර තිබේ දැයි මෙතෙක් තවමත් තහවුරු වී නැත. ඒ සියල්ල තීරණය වන්නේ සුජීව සේනසිංහට අයත් ප්‍රශ්නගත මෙම V8 වාහනය පරීක්ෂා කළ රජයේ රස පරීක්ෂකවරයා විසින් ඉදිරි දිනයකදී ලබා දෙන වාර්තාවට අනුවය.
ගයාන් කුමාර වීරසිංහ