සරම්ප, ඈත අතීතයේ සිට වාර්තා වූ රෝගයක් ලෙස සැලකෙන අතර, ඉකුත් වසර 150 තුළ පමණක් සරම්ප රෝගයෙන් ලොව පුරා පුද්ගලයන් මිලියන 200ක් පමණ මිය ගොස් ඇතැයි වාර්තා වෙයි. වසර 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවෙන් සරම්ප රෝගය තුරන් වූ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර, වසර කිහිපයක් සරම්ප වැලඳීමේ අවදානමෙන් මිදී සැනසිල්ලේ ජීවත්වීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව තිබිණි.
එහෙත් අවාසනාවකට මෙන් 2023 වසරේ මැයි මාසයේ සිට යළි මෙරටින් සරම්ප රෝගය වාර්තා වූ අතර, ඒ අනුව ගතවූ මාස 17 තුළ මෙරටින් සරම්ප රෝගීන් 1100 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කළේය. වසංගත රෝග විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය හසිත තිසේරා සඳහන් කළේ සරම්ප රෝගය එක් රෝගියකුගෙන් තවත් පුද්ගලයන් 10- 18ත් දක්වා සංඛ්‍යාවකට පමණ බෝවීමේ අවදානමක් ඇතැයි හඳුනා ගෙන ඇති බවය.
රෝගයේ ව්‍යාප්තිය
වයිරසයක් මඟින් පහසුවෙන් බෝ වන සරම්ප රෝගය කුඩා දරුවන් අතර වැඩි ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. සරම්ප යනු ශ්වසන රෝගයක් බැවින් ආසාදිතයෙකුගේ කැස්ස සහ කිවිසුම්, සෙම් සොටු දියර මඟින් හා ආසාදිත මතුපිට ස්පර්ශ කිරීමෙන් සහ ජනතාව බහුලව ගැවසෙන ස්ථානවලින් රෝගය පහසුවෙන් බෝ විය හැකිය. ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය හසිත තිසේරා සඳහන් කළේ විශේෂයෙන් මෙරට වයස අවුරුදු 20 සිට 30 දක්වා තරුණ පිරිස් වැඩි වශයෙන් සරම්ප රෝගයට ගොදුරු වෙමින් සිටින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා දරුවන් සහ මාස නවයට අඩු දරුවන් රෝගයට ගොදුරු වීමේ අවදානමක් ද පවතින බවය.
රෝග ලක්ෂණ
පළමුව ශ්වසන පද්ධතියෙන් ඇරඹි සිරුර පුරා පැතිර යාමේ හැකියාව ඇති සරම්ප වයිරසය ශරීරගත වී දින 10-14 කාලයක් තුළ රෝග ලක්ෂණ දැකගත හැකිය. උණ, කැස්ස, සොටු දියර ගැලීම මෙන්ම ශරීරය පුරා කුෂ්ඨයක් පැතිර යෑම දැකිය හැකිය. කුෂ්ඨය මුලින් මුහුණ හා බෙල්ල ආශ්‍රිතවත් පසුව දෑත්, දෙපා දක්වාත් පැතිර යයි. වයිරසය ආසාදනය වූ පුද්ගලයකු තෙහෙට්ටුව, මලානික බව, ආහාර අරුචිය මෙන්ම ෆැරන්හයිට් අංශක 104 ට පමණ තද උණ දැකගත හැකිය. මෙම රෝග ලක්ෂණ ඇත්නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත හෝ ළඟම ඇති රජයේ රෝහලක් වෙත ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
අහිතකර බලපෑම්
සරම්ප රෝගය හේතුවෙන් නිව්මෝනියාව, උග්‍ර පාචන තත්ත්වයන්, බිහිරි භාවය, අන්ධ භාවය, නොමේරූ ළදරු උපත් සහ මළ දරු උපත් පවා සිදුවිය හැකිය. විශේෂයෙන් සරම්ප රෝගය වැලඳුණු වයස අවුරුදු 5ට අඩු ළදරුවන් මරණයට පත් වීම දක්වා බරපතළ විය හැකිය. සරම්ප රෝග කාරක වයිරසය මඟින් සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වන නිසා පසුකාලීනව නිව්මෝනියාව වැලඳීමටත් මොළයට බලපෑම් එල්ල වීමත් සිදු විය හැකිය.
වැඩි අවදානම කාටද?
කුඩා කාලයේදී සරම්ප මාත්‍රා දෙකම ලබා නොගත් පුද්ගලයන්ට සහ එන්නත් මාත්‍රා එකක් පමණක් ලබා ගත් පුද්ගලයන්ට රෝගය වැලඳීමේ වැඩි අවදානමක් ඇත. ඊට අමතරව සරම්ප එන්නත පළමුවරට ලබා දෙන්නේ මාස 9 දී බිලිඳුන්ට බැවින් මාස 9 සම්පූර්ණ වීමට පෙර කාලයේදී එම බිලිඳුන්ට රෝගය වැලඳීමේ අවදානමක් ද පවතී.
එන්නත්කරණයේ වැදගත්කම
සරම්ප රෝගය සඳහා ඇති හොඳම ප්‍රතිකාරය එන්නත්කරණය බව ලෝකයම පිළිගෙන තිබේ. සරම්ප රෝගය යනු වසර දෙකක් තුනක් තුළ වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි රෝගයක් වුවත්, එන්නත්කරණය මඟින් මෙය සාර්ථකව පාලනය කළ රටවල් අතරට ලංකාවට ද එක්වී තිබිණි. වසර 1963 සිට රෝගය සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් භාවිතයට ගැනෙන අතර, දරුවකු ඉපදී මාස 09 න් හා අවුරුදු 03දී සරම්ප රෝගය ආසාදනය වීම වැළැක්වීමේ එන්නත ලබා දේ. මෙම එන්නත මඟින් සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා යන රෝග ත්‍රිත්වයම පාලනය සඳහා සිරුරට ප්‍රතිශක්තිකරණය ඇති කරයි. කුඩා දරුවන්ට සරම්ප පළමු මාත්‍රාව මාස 09දීත් දෙවැනි මාත්‍රාව අවුරුදු 03දීත් ලබා දෙයි. සරම්ප රෝගය වළක්වා ගැනීම සඳහා මෙම එන්නත් මාත්‍රා දෙකම අනිවාර්යෙන්ම ලබාගත යුත්තේ රෝගය වැලඳුණහොත් ඒ වෙනුවෙන් විශේෂිත ප්‍රතිකාර නොමැති නිසාය.
අවදානමට සූදානම් වන්න
වසර කිහිපයකට පෙර මෙරටින් තුරන් කළ සරම්ප රෝගය දැන් නැවත පැතිරීම හේතුවෙන් ඒ සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් විවෘත කර ඇති අතර, ඒ හරහා ජනතාවට සරම්ප, රුබෙල්ලා ඇතුළු වසංගත රෝග පිළිබඳ තොරතුරු දැනගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු සලසා ඇත. සතියේ දින පහේම පෙරවරු 7.00 සිට පස්වරු 06.00 දක්වා ක්‍රියාත්මක 0117446513, 0117682722, 0117682872 හෝ 0117682662 දුරකථන අංක ඔස්සේ ඒ පිළිබඳ තොරතුරු දැනගත හැකිය.
විශේෂයෙන් වයස අවුරුදු 20-30 අතර ඔබට කුඩා කාලයේදී සරම්ප එන්නත් මාත්‍රා දෙකම හෝ එකක් හෝ ලබා ගැනීමට අතපසු වූවා නම් සරම්ප සහ රුබෙල්ලා වැනි බෝවන රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ඇත. වසංගත රෝග විද්‍යා අංශය පසුගිය 04-09 දක්වා කාලය තුළ විශේෂ එන්නත් වැඩසටහනක් ක්‍රියාත්මක කළේ ඔබ සරම්ප රෝගයෙන් ආරක්ෂා කර ගැනීමටය. එම එන්නත්කරණ වැඩසටහනට සහභාගි වීමට නොහැකි වූ පුද්ගලයන් වෙනුවෙන් මෙම මාසය ඇතුළත තෝරාගත් සෙනසුරාදා ඇතුළු දිනවලදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් එන්නත ලබාගත හැකිය. ඒ පිළිබඳ වැඩි විස්තර නොපමාව ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් විමසා දැනගන්න.