ජාතික ජන බලවේගය ලැබූ අතිවිශිෂ්ට ජය්‍රහණය විශේෂිත හැරවුම් ලක්ෂ්‍යයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේය. පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුව පසුගිය සිකුරාදා පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ බව පෙන්වා දුන් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ සමානුපාතික මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව මෙවන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් පක්ෂයක් විසින් හිමිකරගත් පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වන බවයි.
මෙය එක් පාලන යුගයක් නිමා කරමින් අලුත් යුගයකට දුන් ජනවරමක් බවද ඔහු පෙන්වා දුන්නේය. එසේම මේ ජන වරම තුළ ඇති වගකීම පිළිබඳව විශේෂිත අවබෝධයකින් ජාතික ජන බලවේගය පසුවන බවද ඔහු කීවේය. ආසන 225ක පාර්ලිමේන්තුවේ ආසන 159ක් ජයග්‍රහණය කරන්නට ජාතික ජන බලවේගය සමත් වූ බවත් මඩකලපුව දිස්ත්‍රික්කය හැර සෙසු සියලු මැතිවරණ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරන්නට ජාතික ජන බලවේගය සමත් වූ බවද ඔහු කීවේය.
විශේෂයෙන්ම උතුරේ වන්නි හා යාපනය දිස්ත්‍රික්ක දෙකම ජාතික ජන බලවේගය ජය ගැනීම කැපී පෙනෙන කරුණක් බව ඔහු අවධාරණය කළේය.
එමෙන්ම නැඟෙනහිර ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල දිස්ත්‍රික්ක දෙක මෙන්ම බදුල්ල, නුවරඑළිය, මෙන්ම මහනුවර දිස්ත්‍රික්ක ජයග්‍රහණය කිරීමද විශේෂිත සිදුවීම් බව ඔහු පෙන්වා දුන්නේය.
මේ ජයග්‍රහණය ජාතික ජන බලවේගයට ඡන්දය දුන් අයගේ පමණක් නොව ජාතික ජන බලවේගයට ඡන්දය ලබා නොදුන් අයගේද ජයග්‍රහණයක් බව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම රාජ්‍ය සේවකයන්ගෙන් 80%කට අධික පිරිසක් එසේ මනාපය පළ කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ විශ්වාසය රැකීමට අනිවාර්යෙන්ම කටයුතු කරන බවද ඔහු කීවේය.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර තිබෙන්නේ එක් එක් පක්ෂ සමඟ ඩීල් දමමින් හෝ සන්ධානගත වෙමින් හෝ නොවන බවත් එකම අරමුණකට යන දේශපාලන ගමනකින් යුත් පක්ෂයක් ලෙසින් බවද ඔහු කීවේය.
‘‘ඒ ජයග්‍රහණයට විශාල කැපකිරීම් කරපු අය ඉන්නවා, අසීරුකම් දරාගෙන මේ කාර්යයට උරදුන් සියලු ජනතාවට මෙන්ම මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාටමත් අපගේ කෘතවේදීත්වය පුද කරනවා.
උතුරේ ජනතාව පළමුවරටයි දකුණේ නායකයෙක් මේ අයුරින් තමන්ගේ නායකයෙක් ලෙසින් පිළිගත්තේ. සියලු දෙනා එකට අත්වැල් බැඳගෙන රට ගොඩනැගීමට සහාය දිය යුතුයි. අපට විශ්වාසයි මේ ජනතා වරම මෙන්ම ජනතාව රට ගොඩ නැඟීමටත් සහාය දෙනවා.
ජනාධිපතිවරණයේදී අපට ඡන්දය ලබා දුන් අයට වඩා වැඩි පිරිසක් මෙවර ඡන්දය ලබා දුන්නා. ජනාධිපතිවරණයේදී අපට ඡන්ද ලැබුණේ ලක්ෂ 56කට වැඩි සංඛ්‍යාවක් මෙවර ලක්ෂ 69කට ආසන්න සංඛ්‍යාවක් ලැබුණා. ඒ වගේම සමගි ජන බලවේගයට ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 43කටත් වැඩි සංඛ්‍යාවක් හිමිවුණත් මෙවර ලැබුණේ ඡන්ද ලක්ෂ 20කටත් අඩු ප්‍රමාණයක්. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේදී ලක්ෂ 22ක් පමණ ලබාගත් මනාප වෙනුවට මෙවර ලබාගෙන ඇත්තේ ඡන්ද ලක්ෂ 5ක් වගේ ප්‍රමාණයක්.
මේ දේශපාලකයන්ට මනාප අඩුවෙන්න හේතුව තමයි ඔවුන් විසින් සමාජයට පතුරවන ලද අසත්‍ය තොරතුරු නිසා ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කිරීම.
ජාතික ජන බලවේගය බලයට ආවොත් රට ආර්ථික වශයෙන් අස්ථාවර වෙයි, රට ලේ විලක් වෙයි, ආගමක් අදහන්න බැරිවෙයි, වාහන දෙකක් තියෙනවානම් එකක් ගන්නවා, ගෙවල් දෙකක් තිබුණොත් එකක් ගන්නවා, සහන කපා දමනවා මේ වගේ බිය වැද්දීම් නිසා ජනතාව යම් දෙගිඩියාවකින් පසුවුණා. නමුත් ජනාධිපතිවරණයෙන් පසු ගත වූ මාස එකහමාරක පමණ කාලය තුළදී ඔවුන් තේරුම් ගත්තා මේ දේශපාලකයන් විසින් සමාජගත කරන්නට උත්සහ ගත් බොරුවේ තරම. ඒකට ප්‍රතිචාර ජනතාවගෙන් ලැබුණා.
ජාතික ජන බලවේගයේ රජය යටතේ ජනතාවට උඩින් දේශපාලකයන් සිටීමේ යුගය අවසන් වනවා. ජනතාවට නැති වරප්‍රසාද භුක්ති විදිමින් ජනතාව පාගා දමන යුගය අවසන් වෙනවා. ජනතා හිතවාදී රටක් නිර්මාණය වනවා.”
මේ මාධ්‍ය හමුවේදී ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික ජන බලවේගයේ විධායක සභිකයන් වන සරෝජා සාවිත්‍රි පෝල්රාජ් හා නීතිඥ සුනිල් වටගල මහත්ම මහත්මීහුද කතා කළහ.
ඡායාරූපය – විමල් කරුණාතිලක
තාරක වික්‍රමසේකර