හැකියාව, කුසලතාව දේශපාලනය තුළ මූලික අංගයක් ලෙස හඳුන්වා දෙනු ලබයි. එමෙන්ම උගත්කම ද දේශපාලනය තුළ උත්කර්ෂයට නංවනු ලබන කරුණකි. ඒ සියල්ල තිබූ පමණින් දේශපාලනය තුළ හිණිපෙත්තට නැඟිය හැකිද යන්න සලකා බැලිය යුතුය. මෙරට දේශපාලන ඉතිහාසය හාරා අවුස්සද්දී ජාතික නායකත්වය සඳහා පූර්ණ සුදුසුකම් තිබුණ ද කිසිදා නිල වශයෙන් රාජ්‍ය නායකත්වයට හිමිකම් කීමට නොහැකි වූවෝ රැසක් සිටිති. එය ඔවුනගේ අවාසනාව ද රටේ අවාසනාවද යන්න ප්‍රශ්නාර්ථයකි.
1947 මහමැතිවරණයේදී දෙවැනියට වැඩිම ආසන ප්‍රමාණය දිනා ගත්තේ ලංකා සමසමාජ පක්ෂයයි. එහි නායකයා වූයේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාය. එදා එජාපය වැඩි ආසන ප්‍රමාණයක් ජය ගත්ත ද සමසමාජ,කොමියුනිස්ට් සහ විපක්ෂයේ සෙසු කණ්ඩායම් එක් වූයේ නම් වාමාංශික ආණ්ඩුවක් නිර්මාණය වන්නේ 2024 දී නොව 1948දීය. එහෙත් අවාසනාවකට එදා වමේ කණ්ඩායමට බලය නොගිය ද විපක්ෂ නායකත්වය සඳහා පත්වූයේ ඇන්.ඇම් ය. යළිත් ඇන්.ඇම් 1956දී ද විපක්ෂ නායකත්වය සඳහා පත් වුවද ඔහුට ජීවිතාන්තය තෙක් මුදල් ඇමැතිකමෙන් උඩට ඒමට ඉඩක් නොලැබුණි. එහෙත් ප්රජාතන්ත්රවාදී පිළිගැනීමට අනුව විපක්ෂ නායක යනු ඊළඟ රාජ්‍ය නායකයාය.එහෙත් ඇන්.ඇම්. පෙරේරාට ඒ අවස්ථාව කිසිදා නොලැබුණි. ඔහුට ඒ සඳහා ඕනෑවටත් වඩා සුදුසුකම් තිබුණි එහෙත් වාසනාව නොතිබුණි. ඉන් පසු 1977දී එජාපය දැවැන්ත ජයක් ලබද්දී හිටපු අගමැතිනියට විපක්ෂ බලය ද අහිමි විය.විපක්ෂ නායකත්වය සඳහා පත් වූයේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අමිර්තලිංගම්ය. ව්‍යවස්ථාමය හේතුවක් නිසා ඔහුට විපක්ෂ නායකත්වය අහිමි වූ පසු විපක්ෂ නායකත්වය සඳහා පත් වූයේ බණ්ඩාරනායක කඳවුරේ ඔටුන්න හිමි කුමරුන් ලෙස හඳුන්වනු ලැබූ අනුර බණ්ඩාරනායක මහතාය. ඔහු ද ඉහළ අධ්‍යාපනයක් ලැබූවෙකි. රාජ්‍ය නායකත්වය සඳහා හොඳ පවුල් පසුබිමක් තිබූ අනුරට ලබා ගැනීමට හැකිවූ ඉහළම දේශපාලන තනතුර වූයේ 2000සිට 2001 වසර දක්වා වූ පාර්ලිමේන්තු කථානායක ධුරය පමණි. ඊට අමතරව ඩී.බී විජේතුංග ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමැතිකම සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ජාතික උරුමය පිළිබඳ ඇමැතිකම පමණි.
2001 වසරේ කෙටි කාලයක් විපක්ෂ නායකත්වය දැරූ රත්නසිරි වික්‍රමනායක මහතාට අගමැති ධුරය සහ වැඩබලන ජනාධිපති ධුරය ද දැරීමට අවස්ථාව ලැබුණද ඔහුට රාජ්‍ය නායකත්වය දැරීමට හැකියාව නොලැබුණි. 2015ආණ්ඩු පෙරළියෙන් පසු 2015 අගෝස්තු මහමැතිවරණය තෙක් විපක්ෂ නායකත්වය දැරීමට නිමල් සිරිපාල ද සිල්වා මහතාට හැකියාව ලැබුණද ඔහුට අගමැති ධුරය හෝ ජනාධිපති ධුරය දැරීමට හැකියාව නොලැබුණි.
2015 අගෝස්තු මහමැතිවරණයෙන් පසු ආර්.සම්පන්දන් මහතා විපක්ෂ නායකත්වය දැරුවද එම පාර්ලිමේන්තුව අවසානවන තෙක්. හෝ ඔහුට විපක්ෂ නායකත්වය දැරීමට ඔහුට ඉඩ නොලැබුණේ 2018 දින 52 ආණ්ඩු සිදුවීම හේතුවෙන් විපක්ෂ නායකත්වය මහින්ද රාජපක්ෂ වෙත ලැබීම නිසාය. 2015 සිට 2020 දක්වා වූ පාර්ලිමේන්තුවේ තවත් විශේෂත්වයක් වන්නේ මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය සඳහා තිදෙනෙකු පත්වීමය.
2019 ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ ජය ගැනීමෙන් පසු විපක්ෂ නායකත්වය දැරූ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් වූ අතර සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරය සඳහා පත්විය. සජිත් ප්‍රේමදාසට ද විපක්ෂ නායකත්වය අවුරුදු පහකට වඩා වැඩි කාලයක් දැරීමට හැකියාව ලැබුණද රාජ්‍ය නායකත්වය දැරීමට හැකියාවක් නොලැබුණි.
මෙරට වැඩිම කාලයක් විපක්ෂ නායකත්වය දැරූ පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු අහඹු ලෙස ජනාධිපති ධුරයට පත්වුවද, තෙවරක් උත්සාහ කළද මහජන ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් වීමට. ඉඩ නොලැබුණි. බණ්ඩාරනායක මහතාගේ නියෝජ්‍ය නායක ලෙස කටයුතු කළ සී.පී ද සිල්වාට විපක්ෂ නායකත්වය කෙටි කාලයක් දැරීමට වාසනාව තිබුණ ද අගමැති ධුරය ලබා ගැනීමට හැකියාව නොලැබුණි.
අවස්ථා ගණනාවක් වැඩ බලන අගමැති ධුරය හෙබ වූ මෛත්‍රීපාල සේනානායක මහතාට ලබා ගැනීමට වාසනාව ලැබුණු ඉහළම තනතුර වූයේ උතුරුමැද ආණ්ඩුකාර ධුරය පමණි; එහෙත් ඔහුට මැදවච්චිය අපරාජිත මන්ත්‍රී ලෙස අවුරුදු 46ක් කටයුතු කිරීමට අවස්ථාව ලැබුණි.එහෙත් ඔහුට රාජ්‍ය නායකත්වය සඳහා ඉඩක් නොලැබුණි. දේශපාලනය තුළ උගත්කම, ජ්‍යෙෂ්ඨත්වය, පළපුරුද්ද ගැන ඉහළින් කතා කළද වාසනාව නොමැතිනම් දේශපාලනය තුළ ගමනක් නැති බව පැහැදිලි කරුණක් බවට පත්ව තිබේ.
lඋදිත ගුණවර්ධන