තාත්තා. ජීවිත කාලය තුළම කියවා අවසන් කළ නොහැකි පොතකි. මම තවමත් ඉඳහිට ඒ පොතේ පිටු පෙරළමි. එක් පිටුවක ඇත්තේ තාත්තා සමඟ ගෙවූ සොඳුරු දවස්ය. ඒ සොඳුරු දවස් කොතරම් අගේ දැයි සිතෙන්නේ දැන්ය.
“ඔයා පුංචිම කාලේ වඩාගෙනමයි ගියේ. පයින් යන්න හරිම හොරයි. දවසක් අපි ගියා මාමාගේ උපසම්පදා පින්කමට. ඒ ගිහිල්ලා එද්දි අපට හරි මහන්සියි. මමත් ඔයාව වඩාගෙන ආවා අයියලා දෙන්නත් එක්ක මාරුවෙන් මාරුවට. ඔයා පයින් එන්නෙම නෑ. මම අන්තිමට පාරේ තියලා ටිකක් දුර එන්න ආවා. අඩියක්වත් උස්සන්නේ නැතිව ඔයා එතැනම ඉන්නවා. මම තාත්තට ඔයාව පෙන්නුවා. තාත්තා අපි හැමෝටම බැණ බැණ ගිහිල්ලා ඔයාව වඩාගෙන ආවා. ඔයා හිටියේ හිනාවෙවි තාත්තගෙ කර උඩ. “
එදවස අම්මා මේ කතාව හැම විටෙකම සිහිකරයි.
ඉස්සර අපි යනවා කැලණි පෙරහර බලන්න. ඒ ගියාම තාත්තා ඔයාටයි අක්කටයි අත්දෙක පිරෙන්න වළලු අරන් දානවා. ඔයාට හැමදාම මැටි පූසෙක් අරන් දෙනවා. ඒක දවසක් ගිහිල්ලා එද්දි ගෙදරට ඔන්න මෙන්න කියලා තියෙද්දි මැටි පූසා බිම වැටිලා බිඳුණා. ළමයගේ හිත නරක් වෙයි කියලා තාත්තා ආයෙම පාරට ගිහින් ඒ වගේම මැටි පූසෙක් ගෙනාවා. “ ඔයාගේ තාත්තා එහෙමයි.
අම්මා ඒ දිනවල නිතර කියයි.
එකල අපේ නිවෙස මල් යායයකි. විවිධ මල් වර්ග මිදුලේ වවා තිබිණි. “මේවා දුවගෙ“ මා නැති මොහොතක කෙනෙක් ගස් ඉල්ලු විට තාත්තා එසේ කියන්නට පුරුදුව සිටියේය. තාත්තා නැති මොහොතක කෙනෙකු ඇසූ විට “මේ අපේ තාත්තාගේ මල්“ කියන්නට මම හුරුව සිටියෙමි. මල් සේම ගෙදර තිබූ පොත් පත්තර ද පරිස්සම් වුයේ එලෙසිනි.
එදවස තාත්තා හා බැඳුණු සිද්ධි නම් අප්‍රමාණය. තාත්තා නැති ජීවිතයම හිස්ම හිස් යැයි දැනෙන්නට ගත්තේ ඔහුගේ මිය යාමත් සමඟය. ඒ හිස්කම අද ද ජීවිතය තුළ ඇත.
ඔබට ද ඔබේ මව පියා සමඟ බැඳුණ මතකයන් ඇතිවාට සැකයක් නැත. මේ මතකයන් යළි අලුත් වූයේ බිම්සිලු විජේකෝන් ළමා ශිල්පියා ගයන ගීතය නිතර නිතර ඇසීමත් සමඟය. ගීතයේ තනු නිර්මාණය ද බිම්සිලූගේය. සංගීත අධ්‍යක්ෂණය තරිඳ ජයතිලකගේය. ගීතයේ පද රචනය මදාරා සරසිද සිල්වාගේය.
පිය ගුණ ගැන නිතැතින්ම හිතට දැනෙන මෙවන් නිර්මාණයක් කිරිමට හැකි වීම ගැන මදාරා පවසන්නේ මෙවන් කතාවකි.
“හන්තාන විතරක් මගේ තනියට එදා ළඟ හිටියා ‘ නම් වූ ඒ ගීතය ඇසූ මගේ ළබැඳි පාසල් මිතුරියක් වන යමුණා මගෙන් ඉල්ලීමක් කර සිටියා, ඇයගේ නැගණිය ගේ පුතුට ගීතයක් ලියා දෙන ලෙස. ඒ පුතණුවන්, බිම්සිලු විජේකෝන්. ඔහු මෙවර සාමාන්‍ය පෙළ ලියන පාසල් දරුවෙක්. බිම්සිලු ඒ වන විටත් මවු ගුණ ගීතයක් ගායනය කරලා තිබුණා. ඒනිසා මගේ මිතුරිය යමුණා ගේ විශේෂ ඉල්ලීම වුණේ පිය ගුණ ගීතයක් ලියා දෙන්න කියලා. ඒ අනුවයි මේ වසරේ මුල් කාලයේදී මා අතින් මේ ගීතය ලියැවෙන්නෙ.
මගේ තාත්තට ජීවිතය අහිමි වෙන්නෙ ඉතාම අඩු වයසෙදි. මගේ තාත්තා නැතිවෙන කොට අපි හුඟාක් පුංචියි. ඒ නිසා, පිය සෙනෙහස කියන්නෙ මට ඉතාම අවමව ලැබුණු දෙයක්. ඒත්, මගේ පුතුන් දෙදෙනා ඔවුන්ගේ පියාගෙන් ඒ කියන්නේ මගේ සැමියාගෙන් ලබන පිය සෙනෙහස දිහා බැලුවහම පද ටික පහසුවෙන් ලියැවුණා. පිය සෙනෙහස නම් වූ විසල් සංදර්භය ඇතුළත මේ ගීතයේ ඉසියුම් හරය ලෙස මං මොකක්ද තෝරාගත යුත්තේ කියලා මං කල්පනා කළා. ශ්‍රී ලාංකිකයින් විධියට අපේ පවුල් සංස්කෘතිය දිහා බැලුවහම, අපි දන්නවා සමස්තයක් වශයෙන් දරුවො කැමතියි තම දෙමාපියන් වියපත් වෙනකොට ආගම දහමට නැඹුරු වෙනවට. තම දෙමාපියන් සසර ගමනින් එතෙර කරලීම සඳහා යමක් කළ හැකිනම් ඒ තමයි දරුවකුට තම දෙමාපියන්ට කළ හැකි උතුම්ම උවැටන, කෘතගුණය.
ඒ ඔස්සේ හිතලා තමයි එක් තැනකදි මම මේ විදිහට ලියන්නේ.
“තෙරක් නො පෙනෙන ඈත භව ගමනේ
රහල් පුතු මම සුරත අත නො හැරී
පැතූ බෝධිය සොයා යන්නට
කාලයයි මේ මාගෙ පිය රජුනේ“ යනුවෙන්.
සිය පුතුගේ උපත දැනගත් මොහොතේ සිදුහත් කුමරු “රාහුලයෙක් උපන, බැම්මක් ඇතිවිණ“ කියලනෙ ගිහිගෙය හැරයන්නට සැරසෙන්නේ. ඒ අනුවනේ ‘බැඳීම’ කියන අර්ථයෙන් පුත් කුමරුට රාහුල කියලා නම තිබ්බෙත්. දරුවකුගේ දෘෂ්ටිකෝණයෙන් බලලා “පියාණෙනි, මම නුඹේ පුතු. එහෙත්, ඔබගේ සසර ගමනට බැම්මක් වූ රාහුලයෙක්. මට හිතෙන විදියට මවිසින් ඔබට කරන්නේ වරදක්. මවිසින් ඔබේ සුරත තදින් අල්ලාගෙන සිටිනවා. මට ඇති අපරිමිත සෙනෙහස නිසා, මා කෙරෙහි ඇති බැඳීම වැඩිවී ඔබේ සංසාර ගමන බොහෝ දික්වනවා. අනේ ඒ නිසා පියාණනි, මා කෙරෙහි ඇති දැඩි ආදරය නමැති බැඳීම අඩුකරන්නට, අත්හරින්නට දැන් කාලය එහි ඇතැයි මට සිතෙනවා. මේ සසර ගමනෙන් මිදීම සඳහා සද්ධර්මය කෙරෙහි යොමුවිය යුතු කාලය නේද? මා ද පරාර්ථකාමීව ඔබට ඒ සඳහා සියලු සහයෝගය ලබා දිය යුතුයි නේද? “යන අදහසිනුයි මම ගීතය සමාප්ත කළේ.
මේ පදපෙළ දුටු සැණින්, මගේ මිතුරියත්, බිම්සිලු පුතාත්,ඔහුගේ මවුපියනුත් පද පෙළට බොහොම කැමැති වුණා. ගීතය දුටු සැණින්මයි
බිම්සිලු එහි තනුව හැදුවා. මෙහි සංගීත නිර්මාණය කළේ තරිඳු ජයතිලක නම් තරුණ සංගීතවේදියා. ඇත්තටම මේ ගීතය ඇහුවට පස්සේ මගෙ හිතට පුදුමාකාර සහනයක් ලැබෙනවා.“යැයි මදාරා පවසන්නීය.