සිනමාව, පුංචි තිරය මෙන්ම වේදිකාවට සම රංගනයක් දුන් ඔහු කලාවට පිවිසෙන්නේ 1974 වර්ෂයේ දී. එතැන් පටන් ඔහු 2018 දක්වා කලාව රංගනයෙන් පෝෂණය කරනු ලබනවා. 2019 මැයි මස කලාවෙන් පමණක් නොව මතක ඉතිරි කර හැමගෙන් ඔහු සමුගන්නවා. ඒ ආදරණීය චරිතය ගාමිණී චන්ද්‍රකීර්ති හෙට්ටිආරච්චි. නිරන්තරයෙන්ම මුහුණේ රැදී තිබූ ඔහුගේ හිනාව බොහෝ දෙනෙකුට තවමත් මතක ඇති. ඔහුගේ ආදරණීය දියණිය ප්‍රතිභා හෙට්ටිආරච්චි සිය පියා ගැනත් ඇගේ පවුලේ තොරතුරු ගැනත් කතා කරන්න මේ විදිහට රසඳුන කතාබහකට එක්කර ගත්තා.
බොහෝ කලාකරුවන් කලාව වගේම රටත් අත්හැර යනවා. ප්රතිභාත් දැන් ඔබත් ජීවත් වෙන්නේ විදෙස්ගතව නේද ..?
රට වගේම කලාව අත්හැරලා ආව ගමනක් නෙමෙයි. මම ඒ දෙකටම ආදරෙයි. මම සහ මගේ දරුවෝ දෙන්නත් සැමියත් ස්විට්සර්ලන්තයට ආවේ වැඩිදුර අධ්‍යාපනයට. කොරෝනා එක්ක රටේ ඇති වුණු ආර්ථික ප්‍රශ්න එක්ක හිතුවා විදෙස්ගත වුණොත් හොඳයි කියලා. ඒ නිසා ආවා. හදිසියේම මගේ හස්බන්ඩ් ගේ අම්මා නැති වුණා, ඒ නිසා හස්බන්ඩ් හා දරුවෝ දෙන්නා ලංකාවට ගියා. මගේ දෙවැනි මාස්ටර් එක විදිහට මම ව්‍යවහාරික දත්ත විද්‍යාව පිළිබඳ msc සම්පූර්ණ කළා. දෙසැම්බර් මාසේ මගේ උපාධියේ වැඩ අවසන්. ඊට පස්සේ මමත් ලංකාවට යනවා. ටික කාලයක් ලංකාවේ ඉඳලා ආයෙමත් එන්න හිතුණොත් දරුවෝ වෙනුවෙන් එනවා මෙහෙට. දරුවෝ මාත් එක්කම හැදුණු නිසා දරුවෝ එහේ තියලා මට තනියම මෙහේ ජීවත් වෙන්න හරි අමාරුයි.
ඒ කියන්නේ ප්‍රතිභාව නැවත රංගනයෙන් දකින්න ලැබේවී..?
ඔව්, ආසාවෙන් ඉන්නවා හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න. මම අන්තිමට රඟපෑවේ 2019 සාලින්ද රත්නායක අධ්‍යක්ෂණය කළ පෝක් වීදිය ටෙලිනාට්‍යට. මෙහෙට ආවට පස්සේ යූටියුබ් නාට්‍ය සඳහා සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. මම ඒ වගේ අත්දැකීමක් ලබලා නැහැ. නමුත් කැමැත්තක් තියෙනවා සම්බන්ධ වෙන්න. ලංකාවට ඇවිත් ආයෙමත් රඟපාන්න කැමතියි.
වර්ෂ 2018 න් පසුව ඔබව වේදිකාවෙන් දැක්කෙ නැහැ, පියා සිනමාව එක්ක හිටියට ප්‍රතිභාට ඒ අවස්ථාව මඟහැරුණා නේද ..?
මම ඩොක්ටර් සරත්චන්ද්‍ර සර්ගේ කණ්ඩායම් සාමාජිකාවක්. 2018 වෙනකල් මම කදාවළලු වේදිකා නාට්‍යයේ සිටු දියණිය චරිතයට රංගනයෙන් දායක වුණා. සිනමාවට මට ආරාධනා ලැබුණේ මම පුංචිම කාලේ. දුර පළාත්වල ෂූටින් තිබුණු නිසා තාත්තා ඒවට කැමති වුණේ නැහැ. මම සිනමාවට සම්බන්ධ වෙලාම නැහැ. ඒ නිසා හරි ආසයි සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙන්න. ආරාධනා ලැබුණොත් කාලය හදාගෙන සම්බන්ධ වෙනවා.
රංගනයෙන් වැඩිපුර දකින්න ලැබෙන්නේ නවකයින්. ඒත් එක්ක ප්‍රතිභාට ආරාධනා සීමා වෙලාද, තවමත් තෝරාගැනිම් කරනවද..?
ආරාධනා නම් කොහොමත් ලොකුවට නැහැ. මම ඉස්සර ඉඳලම බදාගෙන නාට්‍යවලට සම්බන්ධ වුණේ නැහැ. ලොකු තෝරා ගැණීම් කරන්නෙත් නැහැ . මට චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් නම් මම සම්බන්ධ වෙනවා.
විවාහ වෙලා දරුවන් ලැබෙද්දි වගකීම් වැඩි වෙනවා. ඒත් එක්ක සැමියාගෙන් රංගනයට වාරණ වැටිලා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් කලාව තුළ ඔබව නොදකින නිසා ..?
මගේ සැමියා අනුර වල්පිට. එයා නීතිරීති දාන කෙනෙක් නෙමෙයි. එයා මුලදිම කිව්වේ මට වඩා කලාව ගැන හොඳින් දන්න තුන්දෙනෙක් ගෙදර ඉන්නවා. ඒ අම්මා තාත්තා අයියා. දැන් තාත්තා නැහැ. නමුත් අම්මට වගේම අයියට හොඳ දැනුමක් තියෙනවා නිර්මාණ ගැන. ඔහුත් අධ්යක්ෂවරයෙක් නිසා. ඔයාට ලැබෙන පිටපත එයාලට දීලා හොඳ නරක අහගෙන ඔයා කැමති නම් සම්බන්ධ වෙන්න කියලා තමයි එදත් කිව්වේ අදත් කියන්නේ, දරුවෝ දෙන්නෙක් කියන්නේ ලොකු වගකීමක්. අපේ පුතා ඒතාභි ගෘශේන් වල්පිට. වයස අවුරුදු නමයක්. දුව ස්වාරා ශේලී වල්පිට. එයාගේ වයස හයයි. මේ දෙන්නගේ වැඩ එක්ක තමයි මගේ කලාවේ වැඩ කළමනාකරණය කරගන්නේ. මම පුද්ගලික විශ්වවිද්‍යාලයක බාහිර කථිකාචාර්යවරියක විදිහටත් ලංකාවේ ඉන්න කාලේ වැඩ කළා. ඔය කාරණා නිසා තමයි මම සීමා දාගෙන වැඩ කරන්නේ. එහෙම නැතුව සැමියගේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි.
කලාව ගැන කිසිවක් නොදැන ඔබ නිළියක් බවත් නොදැන තමයි වෙනුර විවාහ යෝජනාවට කැමති වෙන්නේ. ඒ මතකයත් මතක් කරමු..?
ඔව් ඒක ඇත්ත. එයා ඩ්‍රාමා බලන කෙනෙක් නෙමෙයි. විවාහ යෝජනාව එක්ක මාව බලන්න ඇවිත් තමයි එයාගේ මල්ලි එයාට කියලා තියෙන්නේ ඔයා බලන්න ගිය ප්‍රතිභා නිළියක්. එයාගේ තාත්තත් නළුවෙක් කියලා. ඊට පස්සේ එයා මම ඉන්න නිර්මාණ බැලුවා. යෝජනාවට කැමති වුණාට පස්සේ මම රඟපාන නාට්‍යවල ලොකේෂන් කිහිපයකට එක්කගෙන ගියා එයාට අවබෝධයක් ගන්න. එහෙම තමයි එයා මම නිළියක් කියලා දැනගත්තේ.
ගාමිණී හෙට්ටිආරච්චිට හිටපු එකම දියණිය ඔබ. ඔහු මිය ගොස් ටික කලක් ගියත් ඔබට තවම ඔහුගේ අඩුව දැනෙනවා ඇති..?
මට වගේම මගේ අම්මට තාත්තගේ නැති වීම දරාගන්න බැරි වුණා. දැන් ටිකක් මම හුරු වෙලා තාත්තා නැතුව ජීවත් වෙන්න. එයා මට තාත්තා හොඳම යාළුවා වගේම මගේ ඩ්‍රයිවත් වුණා. ඒ කාලේ මට වාහනයක් තිබ්බත් තාත්තා මාත් එක්ක යනවා. රෑට තියෙන ප්‍රෝගෑම් වලට සම්බන්ධ වෙන්න තිබ්බොත් තාත්තා අනිවාර්යයෙන්ම එනවා. ඇවිත් වාහනේට වෙලා ඉන්නවා මම එනකල්. මගේ සියලුම දේ කරලා දුන්නේ තාත්තා. මම තාත්තාගෙන් යැපුණු දරුවෙක් නිසා එයාගේ අඩුව හරියට මට දැනෙනවා, මාව හරියට පරිස්සම් කළා. එයා මට ජීවත් වෙන විදිහ කළමනාකරණය ගැන කියලා දුන්නු කෙනෙක්. අදටත් මම මාව කළමනාකරණය කරගනිද්දි තාත්තගේ උපදෙස් මතක් වෙනවා. අම්මා ලියන වැඩ එක්ක කාර්බහුල වෙන්න පුරුදු වුණා. එහෙම වුණේ තාත්ත නැතුව ජීවත් වෙන්න ඕන නිසා. ගුරුවරුන්ට වරුවක් කියලා ග්රන්ථයක් එළිදැක්වුවා. අපි හතර දෙනා පවුලක් විදිහට එකටමයි හිටියේ. ඒ නිසා තාත්තා නැති අඩුව අපිට දැනෙනවා වැඩියි. මගේ දරුවෝ ලංකාවේ නිසා එයාලා එක්ක මේ කාලේ අම්මා කාර්යබහුල නිසා අම්මට තනියක් නැහැ. ඒත් තාත්තා තව ටික කාලයක් හිටියා නම් කියලා අම්මා නොකියන දවසක් නැහැ
පියාගේ මතක ආවර්ජනය කරන රසිකයින් පිරිසක් ඔබට ඇති..?
අදටත් අහ් මේ ගාමිණී හෙට්ටිආරච්චිගේ දුව නේද කියලා අහන ආදරණීය රසිකයින් පිරිසක් ඉන්නවා. මම ෆේස්බුක් එකේ ෆොටෝස් දැම්මොත් කමෙන්ට් එන්නේ තාත්තා ගැනත් මතක් කරලා. මම මගේ අනන්‍යතාවයක් හදාගත්තත් ගාමිණී හෙට්ටිආරච්චිගේ දුව නේද කියලා ඇහෙද්දි මට හැමදාම ආඩම්බර වෙන්න සතුටු වෙන්න පුළුවන්.
බොහෝ ජනප්‍රිය තරු ජනප්‍රියත්වය පවත්වාගෙන යන්න සමාජ මාධ්‍ය භාවිත කරනවා, ප්රතිභාත් එහෙම කෙනෙක් ද..?
සීමාවක් ඇතුව මම සමාජ මාධ්‍ය භාවිත කරනවා. ලොකු භාවිතයක් නැහැ. ඒ පාවිච්චි කරන්නෙත් ජනප්‍රියත්වය තියා ගන්න නෙමෙයි. මට ටික්ටොක් එකවුන්ට් එකක් තිබ්බේ නැහැ. ළඟදි මට යාළුවෙක් කිව්වා ටික්ටොක් එකක් කරන්න කියලා. මම එක වීඩියෝ එකයි දැම්මේ, ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා මට හැඟුණේ යම්කිසි පිරිසක් තවම මාව හඳුනා ගන්නවා කියලයි.
ඔබ කලා පවුලකින් පැවත එන කෙනෙක්. ඒ නිසා කැමැත්තක් නැද්ද පවුලම එක්වෙලා අලුත් වැඩක් කරන්න. ඒ ගැන කියලම කතාබහ අවසන් කරමු..?
මගේ අයියා ශක්ති හෙට්ටිආරච්චි, එයා මගේ අයියා නිසා කියනවා නෙමෙයි. එයා නිර්මාණ කරන්න හරිම දක්ෂ කෙනෙක්. මේ වන විට වෙළෙඳ දැන්වීම් ගොඩක් එයා කරලා තියෙනවා. ජාන වගේම සහජ හැකියාවත් එයාට තියෙනවා. එයා බලාපොරොත්තු වෙනවා ෆිල්ම් එකක් හරි ටෙලිනාට්‍යයක් හරි අධ්‍යක්ෂණය කරන්න. අනිත් පැත්තෙන් ගත්තොත් මමයි අම්මයි බලාපොරොත්තු වෙනවා ළමා වේදිකා නාට්‍යයක් කරන්න. ඒකට අවශ්‍ය දේ සූදානම් කරමින් ඉන්නවා. පිටපතත් ලියලා තියෙන්නේ. ලංකාවට ආවාම ඒ වැඩේ පටන් ගන්නවා.
හර්ෂණී වීරරත්න