Home » හේතු එක්ක ඉදිරියට එන නදීක වික්‍රමසිංහ

හේතු එක්ක ඉදිරියට එන නදීක වික්‍රමසිංහ

by thanushika
November 16, 2024 12:30 am 0 comment
අනුෂා රණසිංහ

මේ දිනවල සමාජ මාධ්‍යය ඔස්සේ අහන්න දකින්න ලැබෙන සින්දුවක් තමයි “හේතු..” මේ ගීතය ගයන්නේ නදීක වික්‍රමසිංහ සමඟින් යොහානි ද සිල්වා. කවුද මේ නදීක කියන්නේ. ඒ ගැන දැන ගන්න ඔබත් කැමති ඇතිනේ. ඒ නිසාම මේ කතා බහ නදීක වික්‍රමසිංහ එක්ක.

හේතු… ඔබේ අලුත්ම සිංදුවට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තෙන්ම හිතුවේවත් නැති තරම් හොඳ ප්‍රතිචාර සහ සුබපැතුම් ලැබෙනවා. මට ඕනේ වුණේ මේ ගීතය තුළින් Organic ප්‍රේක්ෂකයින් ටිකක් හදා ගන්න. කෙටි කාලයක් තුළ ඉතා හොඳ ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් එකතු වුණා. මේ වනවිට මේ ගීතය මගේ යූ ටියුබ් නාළිකාවෙන් සහ අනිකුත් ප්ලැට්ෆෝම්වලින් අහන්න බලන්න පුළුවන්. මේ වෙද්දීත් ගීතය ලක්ෂයකට එහා පිරිසක් නරඹලා තියෙනවා.

යොහානි එක්ක මේ ගීතය නිර්මාණය වුණ හැටි මතක් කරමු

මේ ගීතය මගේ සංගීත ජිවිතේ වෙනස්ම ගීතයක්. ඒ වෙනස දුන්නේ චමත්. හේතු ගීතය සංගීතවත් කළේ චමත් සංගීත්. ගීතය ලිව්වේ අචල සොලමන් සහ දුලාන් ARX. මුල සිටම අපි මේ සඳහා යොහානිව සම්බන්ධ කර ගන්න හිතුවා. යොහානිත් බොහොම ආසාවෙන් මේ සඳහා සම්බන්ධ වුණා. සින්දුව රිලීස් කරන එක සහ එහි ප්‍රමෝෂන් වැඩ වෙන්නේ කොහොමද කියලා කතා කර ගන්න යොහානිත් අපිත් USAවලදී හමුවුණා. මේ වැඩ ටික සාර්ථක කර ගන්න යොහානිගේ මැනේජර් ඩිලංජන් සෙනවිරත්න මට ලොකු සහයෝගයක් දුන්නා. මේ සින්දුව යොහානි එක්ක කරන්න ලැබීම මගේ ජිවිතේ ලැබුණු ලොකු වාසනාවක් විදියට මම දකින්නේ. මගේ කොටස මම USA වලදී කළා. යොහානි එයාගේ කොටස ලංකාවෙදී කළේ. මේ ගීතය අපි කරලා අවුරුදු තුනක් වෙනවා.

ගීතයේ රූප රචනාව සිදු වෙන්නෙත් රටවල් දෙකක දී නේද?

ඔව්. යොහානි සහ ඉෂංකා අබේසේකරගේ රූප රාමු කළේ ලංකාවේ. මගේ රූප රාමු ටික USA වල නිව්යෝර්ක් නගරයේ දී සිදු කළා. සින්දුවේ ප්‍රමෝෂන් වැඩ යොහානි USA ආව වෙලාවේ අපි දෙන්නම එකතු වෙලා කළා.

කොහොමද යොහානි එක්ක වැඩ කරන්න ලැබුණු අත්දැකීම?

ඇය ඉතාම හොඳ සහයෝගයක් මට ලබා දුන්නා. ඉතාම දක්ෂ ඒ වගේම නිහතමානී සරල චරිතයක් විදියට තමයි මම යොහානිව දැක්කේ. මම ඇයටත් සුබ පතනවා ඇයගේ ඉදිරි නිර්මාණ සියල්ල සාර්ථක වෙන්න කියලා. ඒ එක්කම මේ ගීතයට සහයෝගය දුන් අයවත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා.

ඒ වගේම මගේ ඊළඟ ගීතය ජනවාරි මාසයේ රිලීස් කරනවා. අලුත් ගීතයේ විෂුවල් එක මේ දින කිහිපයේ සැලසුම් කරගෙන යනවා.

එන්න තියෙන නිර්මාණ මොනවද?

මම ඊළඟට කරන්න යන්නේ යසස් මැදගෙදරගේ ගීතයක්. මේ වෙද්දී යසස් මැදගෙදර එක්ක ගීත තුනක් නිර්මාණය කරලා තියෙනවා. තව නිමේෂ් කුලසිංහ එක්ක ගීත දෙකක් කරන්න තියෙනවා. තව Classical නිර්මාණ මගේ යූ ටියුබ් නාළිකාවෙන් රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා.

පවුලේ විස්තර මොනවද?

මගේ සීයා සංගීත නිර්මාණකරුවෙක්. ඔහු මුවන් පැලැස්ස, මඩොල් දූව වැනි නිර්මාණ වලට සංගීතයෙන් දායක වෙලා තියෙනවා. මම හිතන්නේ මට මේ ආභාෂය එන්නේ අපේ පවුලෙන්. මගේ තාත්තා හොඳ ව්‍යාපාරිකයෙක්. මගේ අම්මට සහ තාත්තට මගේ ගැන හීන දෙකක් තිබ්බා. ඒ තමයි ක්‍රිකටර් කෙනෙක් සහ හොඳ කලාකරුවෙක් කරන්න. මම පාසල් ගියේ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට. වයස අවුරුදු 21 වෙනකම් මම ක්‍රිකට් ක්‍රීඩාව කළා. පසුව කලාවට වැඩි නැඹුරුවක් වුණා. මට ඉන්නේ මල්ලි කෙනෙක්. එයා අද වෙනකොට ඔස්ට්‍ර්ලියාවේ ක්‍රිකට් ක්‍රීඩා කරනවා. මගේ එකම බලාපොරොත්තුව සහ අම්මාගේ සහ තාත්තගේ බලාපොරොත්තුව මම ලංකාවේ පුංචිම හරි කලාකාරයෙක් වෙන එක. මම විශ්වාස කරනවා අපි හිත හොඳින් මේ ගමන ගියොත් මේ විශ්වයේ උදව් අපට ලැබෙන බව.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division