Home » මම කැමතියි ඕනෑම අභියෝගයක් භාර ගන්න

මම කැමතියි ඕනෑම අභියෝගයක් භාර ගන්න

ඩිලුක්ෂි කාවින්ද්‍යා

by thanushika
November 16, 2024 12:30 am 0 comment

මේ දිනවල විකාශය වන නාට්‍යය නිර්මාණ කිහිපයකම එකිනෙකට වෙනස් වූ චරිත තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන්න දක්ෂ යොවුන් රංගන ශිල්පිනියක් වන ඩිලුක්ෂි කාවින්ද්‍යා බෆලෝ ට්‍රැවල්ස් චිත්‍රපටය තුළින් රිදී තිරයෙන් ප්‍රේක්ෂකයින් අතරට ඇවිත් තියෙනවා. ඒ ගැන වගේම කලා ලොවේ ඉදිරි නිර්මාණ ගැන කළ සොඳුරු කතාබහයි මේ.

රිදී තිරයෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ තමයි මාව රිදී තිරයෙන් දකින ප්‍රථම අවස්ථාව. මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර හොඳයි. බන්දු සමරසිංහ මහත්තයා අවුරුදු 7කට පස්සේ එන ෆිල්ම් එක. මම හරි ආසාවෙන් බලාගෙන හිටියේ ෆිල්ම් එක එනකම්. ඉන්න පිරිස හරිම දක්ෂයි. මම 2017 දී මේ ෆිල්ම් එක කළේ. අවුරුදු හත අටකට පස්සේ මගේ ෆිල්ම් එකක් රිලීස් වෙන්නේ. ඒ නිසා ලැබෙන ආදරණිය ප්‍රතිචාර ගැන සතුටුයි. මම ගොඩක් කාලයක් බලන් හිටියා කවදද මේ ෆිල්ම්ස් එන්නේ කියලා. හැබැයි මම හිතනවා හොඳම කාලේ තමයි මේ ෆිල්ම් එක රිලීස් වුණේ කියලා.

මුල්ම චිත්‍රපටය මොකක් ද?

2016 දී මම ගෝත්‍රා කියන ෆිල්ම් එකක් කළා. 2017 දී තමයි මම බෆලෝ ට්‍රැවල්ස් චිත්‍රපටය කරන්නේ. හැබැයි මගේ චිත්‍රපටයක් රිදී තිරයෙන් මුලින්ම දකින්න ලැබෙන නිර්මාණය බෆලෝ ට්‍රැවල්ස්.

කොහොමද බෆලෝ ට්‍රැවල්ස් චිත්‍රපටයට අවස්ථාව ලැබෙන්නේ

මට මේ චිත්‍රපටයට අවස්ථාව ලැබෙන්නේ රාජ් රණසිංහ මහතා හරහා දමිත් ෆොන්සේකා මහතාව මුණගැහිලා. රාජ් රණසිංහ මහතාට සහ දමිත් ෆොන්සේකා මහතාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ දක්ෂ පිරිසක් එක්ක මගේ මුල්ම කාලයේ නිර්මාණයක වැඩ කරන්න ලබාදීම ගැන. එදා ඒ අවස්ථාවන් නොලැබුණා නම් මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුණා.

ලැබුණු අත්දැකීම ගැන කතා කළොත්?

ඒ වගේ අත්දැකීමක් මම හිතන්නේ නැහැ මට ආයේ ලැබෙයි කියලා. සුන්දර මතක එක්ක නිමා වුණු ලස්සන චිත්‍රපටයක්. අපි හැමෝම එක්ක ආදරණීය එකට හිටිය නිර්මාණයක්. මගේ මුල් කාලේ කරපු නිර්මාණයක් නිසා මම බයෙන් හිටියේ. හැබැයි මට කිසි වෙනසක් නොකර අපි එක පවුලක් වගේ සින්දු කියලා සතුටින් හිටියේ. ඒ ලැබුණු අත්දැකීම හැම අතින්ම සුන්දරයි. මාව පොඩි ළමයෙක් විදියට හරි ආදරෙන් අනෙක් අය බලා ගත්තා.

බන්දු සමරසිංහ එක්ක රඟපාන්න තියෙන්නේ කියලා දැන ගත්තම මොකද හිතුණේ?

බන්දු අන්කල් එක්ක රඟපාන්න තියෙනවා කිව්වම මම හරියට සතුටු වුණා. ඒ වෙනකම් මම ඔහු දැකලා තිබුණේ රූප තිරෙන් පමණයි. හැබැහින් මුණ ගැහුණම වෙනස් චරිතයක්. ඔහු හරිම ආදරණීය චරිතයක්. මට දරුවෙක්ට වගේ සැලකුවේ. රංගනයට වගේම ජීවිතේට උපදෙස් ලබා දුන්නා. ලංකාවේ සිනමාවේ වැඩ්ඩො එක්ක කරපු වැඩක් වුණත් ඒ අය ගාව මම දැක්කේ පුදුම සරල බවක්.

අමතක නොවන මතක ඇති?

අපි ෂූටින් ඉවර වෙලා රෑට බන්දු අන්කල් එක්ක සින්දු කියනවා. ඒ වෙලාවට මමයි විණා ආන්ටියි නටනවා. එක දවසක් අපි හිටිය හොටෙල් එකේ ඉස්සරහට වෙලා සෑහෙන්න නැටුවා. අපි හැමෝම පොඩි පැදුරු සාජ්ජයක් දාලා වගේ හරිම සුන්දරව කාලය ගත කළා.

මේ කාලේ පුංචි තිරයේ වැඩ කොහොමද?

මේ දවස් වල ITN නාලිකාවේ විසේකාරි නාට්‍යයේ මාෂි ලෙස මම ඉන්නවා. දෙරණ නාලිකාවේ බේකරි ගෙදර නාට්‍යයේ සේපාලිකාගේ චරිතය. ඒ එක්කම ප්‍රාර්ථනා නාට්‍යයේ ඉන්නවා.

ඕනෙම චරිතයක් කරන්න කැමති ද?

ඔව්. මම කැමතියි ඕනෙම අභියෝගයක් භාර ගන්න. මම ආසයි චරිතාංග නිළියක් වෙන්න.

ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නේ?

ඒකට තමයි ආදරේ කියන්නේ. මම පවතින්නේ ඒ ලැබෙන ප්‍රේක්ෂක ආදරේ නිසා. කොච්චර අවුල් සහගත වෙලාවක වුණත් ලැබෙන එක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ඇති මට ජිවත් වෙන්න. මම ඒ වෙලාවට මට මේ තරම් ආදරයක් ලබාදෙන විශ්වයට පවා ස්තුතිවන්ත වෙනවා.

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division