Home » සමාජ මාධ්‍ය ජාලයේ මේ දිනවල දිදුලන ස්නේහා හා දිනිඳු

සමාජ මාධ්‍ය ජාලයේ මේ දිනවල දිදුලන ස්නේහා හා දිනිඳු

by thanushika
November 16, 2024 12:30 am 0 comment
විශ්මි ප්‍රනාන්දු

කාලෙන් කාලෙට ප්‍රසංග වේදිකාවන් හෙල්ලූ තරු යුගලයන් ගැන ආයෙමත් හුස්මක් ගෙන මතක් කරන පුංචි කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගැන මෑතකදී සමාජ මාධ්‍ය තුළ හරි හරියට කතා වුණා. කවර් ගීතයක් කර දින දෙකක් තුළ මුළු රටම කතා කරන තරමට වෛරල් වූ මේ තරු කැට කලා ලොවට පිවිසෙන විටම තම දක්ෂතාවලින් ප්‍රේක්ෂකයන් මංමත් කර හමාරයි. ඒ නිසාම රසඳුන අප ස්නේහා ධනංජලී හා දිනිඳු ලක්ෂාන් කතා බහට එක්කර ගත්තා.

මේ දවස්වල කොහොමද ඔයාලගේ වගතුග..?

මේ දවස්වල අපි අලුත් සින්දුවක් කරගෙන යනවා. ඒ ගීතය ලිව්වේ දිනිඳු අයියා. එහි තනු නිර්මාණය මමයි දිනිඳු අයියයි දෙදෙනාම සිදුකළා. එය ජනවාරිවල රිලීස් කරන්න බලාපොරොත්තු වනවා.

“ඩුවර්ස් ස්ටාර්ස්“ තරගාවලියටත් ඔබ දෙපළ සම්බන්ධ වුණා නේද..?

ඔව්, ස්වර්ණවාහිනියේ විකාශනය වන “ඩුවර්ස් ස්ටාර්ස්” තරගාවලියට අප සහභාගි වී අවසන් සිය දෙනාට තේරී පත්වී හමාරයි. එහි පුහුණුවීම් කටයුතුත් මේ දිනවල කරගෙන යනවා.

ඔය දෙන්නා තවම පාසල් යනවද… නැත්නම් වැඩිදුර අධ්‍යාපනය ලබනවද… කොහොමද ඒ විස්තර…?

මට අවුරුදු විස්සයි. මම ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයෙන් උසස් පෙළ කලා අංශයෙන් සමත් වී සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරී පත්වී සිටිනවා. නංගිට තවම අවුරුදු 14යි. ඇය කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය ලබනවා. ඊට අමතරව අප දෙදෙනාම විශාරද විභාගයට පෙනී සිටිනවා.

ඒ කියන්නේ ඔය දෙන්නා අයියයි නංගී නෙමෙයිද?

නැහැ අපි දෙන්නා නෑදෑයෝ. අයිය ඉන්නේ ඇඹිලිපිටියේ. මම ඉන්නේ කඩවත.

කවර්ස් සමාජ මාධ්‍යයට මුදාහරින්න මුල්ම වෙඩිමුරේ තිබ්බේ කොහොමද?

අපි මුලින්ම කවර්ස් කරන්න පෙලඹුණේ “ඩුවර්ස් ස්ටාර්ස්” තරගාවලියට ආවට පස්සෙයි. පළමු කවර් එකම වෛරල් වුණ නිසා විවිධ සමාජ ජාලාවන් ඔස්සේ අපේ ගීත ප්‍රචලිත කළා. මේ වන විට විශාල ප්‍රේක්ෂක පිරිසක් අප වටා එක් රොක් වී සිටිනවා. ඇත්තටම ඒ ගැන අප නිහතමානීව සතුටු වෙනවා.

“ඩුවර්ස් ස්ටාර්ස්” යන්න කලින් දෙන්න එකට සිංදු කියලා තිබ්බෙම නැද්ද?

නැහැ….ඊට කලින් දෙන්නම එකට සින්දු කියලා තිබ්බේ නැහැ.

ඔය දෙන්නගෙ කටහඬ එකට ගැළපෙනවා කියලා කොහොමද එතකොට තීරණය කළේ?

නංගිගේ අම්මා තමයි ඩුවර්ස් ස්ටාර්ස් තරගයට අපි දෙන්නව යවන්න තීරණය කළේ. එයට පුහුණුවීම් කරන කොට ඇයගේ තීරණය ගොඩක් නිවැරදියි කියලා අපිටත් හිතුණා.

දෙන්නගෙම කටහඬට ගැළපෙන සින්දු තෝරාගැනීමේදී ගැටලු මතු වුණේ නැද්ද?

අපි දෙන්නම වැඩිපුර කැමති හින්දි ගීතවලට. මම කොච්චර කැමති ගීතයක් වුණත් නංගි ඒකට කැමති නැත්නම් මම ඒක අතඇරලා දානවා. නංගිත් එහෙමයි. දෙන්නම කැමති ගීත විතරක් ගායනා කරන නිසා ගැටලු මතු වෙන්නේ නැහැ.

ස්නේහාට පාසලෙන් ලැබෙන ප්‍රතිචාර හා සහයෝගය කොහොමද?

ඉස්කෝලෙන් ලැබෙන සහයෝගය හා ප්‍රතිචාර ගොඩක් හොඳයි. විදුහල්පතිවරුන් ගුරුවරුන් වගේම පාසලේ යහළුවන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඔවුන් මට උදව් කරන නිසා සංගීත වැඩ කටයුතු හා අධ්‍යාපන වැඩකටයුතු සමබරව කරගෙන යන්න පහසුයි.

ඔබ දෙපළට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කෙබඳුද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගමේ මිනිස්සු , යහළුවෝ ගොඩක් දෙනෙක් කමෙන්ට් කරනවා. ඊට අමතරව පාරෙ දකිනකොට එයාලා මාව අඳුරගෙන සෙල්ෆි ගන්නවා වගේම සුබ පතනවා. ඒ ආදරේට අපි ගොඩක් ගරු කරනවා වගේම සතුටු වෙනවා.

එක්කෙනෙක් ඇඹිලිපිටියේ.අනිත් එක්කෙනා කඩවත. කොහොමද දෙපැත්තක ඉඳන් පුරුදු පුහුණුවීම් කරන්නේ?

අපි ෆෝන් එකෙන් පුරුදු පුහුණුවීම් කරනවා. මේ දිනවල අලුත් ගීතයේ වැඩ කටයුතු නිසා අයියත් ඉන්නේ අපේ ගෙදර.

ඔබ දෙපළගේ අනාගත බලාපොරොත්තු මොනවාද..?

අපි දෙන්නම කැමතියි සංගීතයෙන් ඉදිරියෙන් ඉදිරියටම යන්න.

ඔයාලගේ කවර්ස් දැකලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

අපිට ගොඩක් හොඳ ප්‍රතිකාර ලැබුණා. චාමර වීරසිංහ, සනුක, උමාරියා, භාතිය හා සන්තූශ්, මංජුල පුෂ්පකුමාර, මලිත් පෙරේරා වැනි ප්‍රවීණ ගායක ගායිකාවන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. එයාලා අපේ කවර්ස්වලට කමෙන්ට් කර තිබෙනවා වගේම ශෙයාර් කර තිබෙනවා අපි දැක්කා.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division