මනුරංග විජේසේකර, මේ නම රූපය දශක දෙකකට කිට්ටු වෙන්න බොහෝ දෙනෙකුට හුරුපුරුදු යි. ඔහු අතින් සාර්ථකව ලියවෙන බොහෝ ගීත ඒ නිසාම සමාජගත වෙනවා. ජනප්‍රිය පද රචකයින් සුළුතරය අතර ඉන්න මනුරංග ගැනයි මේ කතාබහ.
මනුරංග නිවේදකයෙක් හැටියට දැන් වැඩිපුර කටයුතු කරමින් විදෙස් සංචාර සඳහා සම්බන්ධ වෙනවා, මුලින්ම ඒ ගැන කියමු..?
පද රචකයෙක්, නිවේදක කියන භූමිකා දෙකටම මම සම්බන්ධ වෙමින් රසිකයා පිනවනවා. ඒ දෙකම ජීවිතේට බද්ධයි. නාදගම ප්‍රසංගයත් එක්ක පසුගියදා ඩුබායි සංචාරයකට සම්බන්ධ වුණා. මේ වෙද්දී මම රටවල් 25කට පමණ සම්බන්ධ වෙලා තියෙනවා, එක රටකට ගිය වාර ගාණ නම් කියන්න බැරි තරම්. සමහර රටවලට හැම අවුරුද්දකටම යනවා. ඒ වගේම ඩිලන්ත මාලගමුව එක්ක මම ලෝකෙ වටේ ගියා රේසිං ලයිව් විත් ඩිලන්ත මාලගමුව කියන වැඩසටහන එක්ක. ඒක අධ්‍යක්ෂණය කළෙත් මමමයි.
ඇතැම් පද රචකයින්ට තනු ඕන ලියන්න, එහෙම නැත්නම් දීර්ඝ කාලයක් ඕන නිර්මාණ කරන්න ඔබට කොහොමද ..?
මම ෆීල්ඩ් එකට ඇවිත් අවුරුදු 15ක් විතර වෙනවා. මේ ගමන මම ප්ලේ කරන්නේ ටෙස්ට් මැච් එකක් වගේ හෙමින්. ඒ නිසාම වෘත්තීය ස්ථාවරත්වයත් හදාගන්න පුළුවන් වෙලා නිවේදකයා හා පද රචකයා කියන භූමිකා දෙකෙන්ම. ගීතයක් ලියන්න මට ලොකු කාලයක් යන්නේ නැහැ , පොඩි වේලාවකින් ලියලා ඉවර කරනවා. අත්දැකීම් හෝ අත්විඳීම් තියෙන්න ඕන ඒවා එක්ක ලියන්නෙ කියලා එහෙම දෙයක් නැහැ , භාවාත්මක ප්‍රකාශන උපකල්පනය කරලා මගේ අත්දැකීම් කරගෙන මම ගීත නිර්මාණය කරනවා. මෑතකදී මම උමාරියාට dear god කියලා සින්දුවක් කළා. ඒ වගේම දිනේෂ් ගමගේට මා කවුරුන්දෝ කියලා ගීතයක් කළා. ඒවටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
කලාකරුවෝ කාර්යබහුලම කොටසක් කියලයි බොහෝදෙනෙක් හිතන්නේ. ඔය කියන කාර්යබහුලකම එක්ක පවුල රකින්නේ කොහොමද ..?
රැකියාවයි පවුලයි මම බද්ධ කරගෙන තියෙන්නේ. මම විදෙස් සංචාරයක් ගියත් පුළුවන් හැම එකකටම බිරියත් දරුවත් එක්කගෙන යනවා. ලංකාවේ ප්‍රසංගයක් තිබ්බත් එහෙමයි. මම වැඩිපුර පවුල එක්ක ගැවසෙන කෙනෙක්. ඒ නිසා එයාලටත් මගේ කාර්යබහුලකම දැනෙන්නේ නැහැ කියලා හිතනවා. මගේ දුව කෛකෂී. එයාගේ වයස අවුරුදු හතරක්. ආදරණීය බිරිය දිල්තරා ශලනි ජයලත්.
ඔබේ ආදරණීය බිරිය මීට ටික කලකට පෙර පිළිකා රෝගයෙන් පෙළුණු කෙනෙක්. එවන් මොහොතක ඔබ මානසිකව වැටෙන්න ඇති..?
එයාට හැදුණේ තයිරොයිඩ් ආශ්රිත පිළිකාවක්. අපි දෙන්නටම තිබුණු ප්රශ්නය තමයි අපේ දුව බලාගන්නේ කොහොමද කියන කාරණය. එයාට එතකොට වයස අවුරුදු දෙකහාමාරක්. දරුවට කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ නේ. දිල්තරා රෝගය ගැන කිසිම විටෙක මම තරම් වත් මානසිකව වැටුණේ නැහැ. එයා මාර විදිහට ශක්තිමත් ගැහැනියක් විදිහට මම දැක්කේ. හරියට ප්‍රතිකාර කරලා ඇය දැන් සුවෙන් ඉන්නවා. එයා කොතරම් ශක්තිමත්ද කිව්වොත් බෙල්ල ඔපරේෂන් කරලා සති දෙකෙන් මාත් එක්ක ඔස්ට්‍රේලියා සංචාරයකට සම්බන්ධ වුණා. ඩොක්ටර්ගෙන් ඇහුවා යන එක ගැටලුවක් නැද්ද කියලා. කැන්සර් එකක් හැදිලා තියෙද්දි කොහොමද යන්නේ කියලා ඩොක්ටර් පුදුම වෙලා ඇහුවා. දිල්තරා කිව්වා ඒක එයාට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒවගේ දරාගැනීමක් එයාට තිබ්බ එකම තමයි මට තිබ්බ එකම අස්වැසිල්ල.
එතරම් ශක්තිමත් කාන්තාව කොහොමද ජීවිතේට එක්කර ගත්තේ?
ඇයව මුණගැහෙන්නෙත් සමාජ මාධ්‍ය ඔස්සේ තමයි. එයාට ලස්සනට චිත්‍ර අඳින්න දන්නවා. ඒවා රසවිඳපු එයාගේ රසිකයෙක් මම. එයාව මම ෆලෝ කරා. පස්සේ අපි කතාබහ කරලා ආදරේ කරලා විවාහ වුණා. ගීත රචකයෙක් කියන්නේ වෙනම ආකෘතියක් නිසා එයාට මගේ රැකියාව ගැන බලපෑමක් පීඩනයක් තිබ්බෙ නැහැ , ඒ නිසා ආදරණීය යෝජනාව ඇය හිමින් සැරේ පිළිඅරගෙන විවාහ වුණා. අපි දෙන්නා හරි ගැළපීමක් ඇති දෙන්නෙක්. හරි ලස්සනට ජීවත් වෙනවා. දුක සැප බෙදාගෙන.
ඔබ ලියන කියන දේ වලට ඇගෙන් ඇති බලපෑම් කොහොමද ..?
නිවේදනයේදි නම් මගේ අඩුපාඩු කියනවා, මෙහෙම කියන්න තිබ්බා. මීට වඩා කතා කරන්න තිබ්බා. වගේ දේවල්. ඒත් මම පද රචනයේදී හරි හිතුවක්කාරයෙක්. මට ඕන දේ විතරයි කරන්නේ. ඒක එයා දන්න නිසා අත දාන්නෙ නැහැ. බලකිරීමකින් මගේ වචන වෙනස් කරන්න බැහැ.
විදෙස්ගත වෙලා වැඩිදුර අධ්‍යාපනය ලැබුව එකෙන් මෑතකදී තමයි ප්‍රයෝජනය ගත්තේ කියලා ආරංචියි ..?
ඔව්. මම හෝටල් කළමනාකරණය ගැන විදෙස් අධ්‍යාපනය ලැබූ කෙනෙක් , ඉන් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා හිතලා කොහුවල කයිකෝන් කියලා කැෆේ එකක් පටන් ගත්තා. වෙනම තීම් එකක කැෆේ එකක්. මට වඩා ඒක රන් කරන්න මහන්සි වෙන්නේ ඇත්තටම මගේ බිරිය කිව්වොත් හරි.
හර්ෂණි වීරරත්න