දකුණු කොරියාවේ BTS සංගීත කණ්ඩායමේ ආර්එම් (RM) රසික රසිකාවියන් අතර ඉතාම ජනප්‍රිය ගායන ශිල්පියකු බව රහසක් නොවෙයි. කිම් නාම්-ජූන් තමයි ඔහුගේ සැබෑ නම. BTS කණ්ඩායමේ නායකයා ද වන ආර්එම් ගැන මේ දිනවල මාධ්‍ය තුළ විශේෂ අවධානයක් යොමු වෙනවා. එයට හේතුව ඔහු පිළිබඳ වාර්තා චිත්‍රපටයක් ළඟදී නිකුත් වීමට නියමිතව තිබීමයි. මෙම චිත්‍රපටයේ නම RM: Right People, Wrong Place. ලබන දෙසැම්බර් 5 වැනි දින මේ වාර්තා චිත්‍රපටය ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීමට නියමිත යි.
Right People, Wrong Place යනුවෙන් ආර්එම් මෙයට මාස කිහිපයකට පෙර ගීත ඇල්බමයක් නිකුත් කළා. එය නිකුත් කෙරුණේ පසුගිය මැයි මාසයේ යි. ඉහත කී චිත්‍රපටයෙන් කියැවෙන්නේ මෙම ගීත ඇල්බමය නිර්මාණය කළ කාලයේ ආර්එම් ගේ ජීවිතය ගෙවුණු ආකාරය පිළිබඳව බවයි පැවසෙන්නේ. සංගීත කටයුතුවලින් පිටත කිම් නාම්-ජූන් ලෙස ඔහු ගත කරන පෞද්ගලික ජීවිතයේ අභියෝග ගැන මෙන්ම කලා කටයුතුවලට ඔහු දක්වන කැපවීම සහ ඒ වෙත දක්වන ආදරය ගැන මෙම වාර්තා චිත්‍රපටයෙන් නිරූපණය වන බව පැවසෙනවා. ආර්එම් ගේ ජීවිතයේ, සාමාන්‍යයෙන් රසික රසිකාවියන්ට දැක ගන්නට නොලැබෙන පැතිකඩක් මෙම චිත්‍රපටය තුළින් දැක ගන්නට ලැබෙනු ඇති බවයි සඳහන් වන්නේ.
RM: Right People, Wrong Place චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටයක් මෙයට ටික දිනකට පෙර නිකුත් වුණා. එය ද BTS රසික රසිකාවියන් අතර අතිශයින් ජනප්‍රිය වී තිබුණා. දෙසැම්බර් 5 වැනි දින නිකුත් වන චිත්‍රපටය ලෝකයේ රටවල් 90ක තිරගත කෙරෙනු ඇති බවත් පැවසෙනවා. එහි මංගල දර්ශනය පැවැත්වෙනු ඇත්තේ දකුණු කොරියාවේ සෝල් අගනුවර යි. නොවැම්බර් 20 වැනි දින පටන් ප්‍රවේශපත්‍ර මිල දී ගැනීමට හැකි වනු ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙයට පෙර එක් අවස්ථාවක බූසාන් ජාත්‍යන්තර සිනමා උලෙළේ දී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කර තිබුණා.
ආර්එම් මේ වනවිට හමුදා සේවයේ නිරතවයි සිටින්නේ. BTS කණ්ඩායමේ සාමාජිකයන් සත් දෙනාම මෙයට ටික කලකට පෙර හමුදා සේවයට එක් වුණා. වයස අවුරුදු 18 ට වැඩි දකුණු කොරියානු පිරිමින් යම් කාලයක් එරට හමුදාවේ සේවය කළ යුතුයි. BTS කට්ටියත් හමුදාවට එක් වුණේ මේ නිසා යි. කෙසේ නමුත් ජින් සහ ජේ-හෝප් දෙදෙනා මේ වනවිට හමුදා සේවය අවසන් කර සිටිනවා. ඔවුන් වසර එකහමාරක පමණ කාලයක් එහි සේවය කළා. ඉතිරි පස් දෙනාත් ඉදිරි කාලයේ හමුදා සේවය අවසන් කර සාමාන්‍ය සිවිල් ජීවිතයට එක් වනු ඇති.
ආර්එම් හමුදා සේවය අවසන් කිරීමට නියමිතව සිටින්නේ 2025 ජූනි මාසයේ යි. මේ සත් දෙනා හමුදාවට එක් වුණේ එකම දවසක නොවෙයි. ඒ නිසා ඔවුන් හමුදාවෙන් ඉවත් වන්නේත් වෙන වෙනමයි. 2025 ජූනි වනවිට සාමාජිකයන් සත් දෙනාගේම හමුදා සේවය අවසන් වෙනවා. ඔවුන් නැවත කණ්ඩායමක් හැටියට සංගීත කටයුතුවලට යොමු වන්නේ එයින් පසුව යි.
මේ වනවිට 30 වැනි වියෙහි පසුවන ආර්එම් ගේ ජීවිත කතාවේ බොහෝ අපූරු කාරණා තිබෙනවා. ආර්එම් ගේ පවුලේ ඔහුට සිටින්නේ තවත් එක් බාල සොහොයුරියක පමණයි. ඇයගේ නම කිම් ක්යුංග් මින්. 27 වැනි වියෙහි පසුවන ඇය මේ ළඟදී සෝල් නුවර අවන්හලක් විවෘත කර තිබුණා. එය බොහෝ දෙනා අතර ජනප්‍රිය අවන්හලක් බවට පත්ව ඇති බව වාර්තා වෙනවා.
කුඩා වියේ දී ආර්එම් ඉංග්‍රිසි ඉගෙන ගැනීමට යොමු වී තිබුණේ Friends නමැති ජනප්‍රිය රූපවාහිනි මාලා නාටකය නැරඹීමෙනුයි. ඔහුගේ මවත් Friends නැරඹීමට මහත් කැමැත්තක් දැක් වූ බව සඳහන්.
පාසල් කාලයේ ආර්එම් කවි ලිවීමට ලොකු කැමැත්තක් දක්වා තිබූ අතර ලේඛකයකු වීමට ආසාවෙන් සිටි බවකුත් සඳහන් වෙනවා. නමුත් පසුව ඔහු එම අදහස අත්හැර දමා තිබුණා. සංගීතය වෙත ඔහුගේ සිත නැඹුරු වී තිබුණේ 11 වැනි වියේ දී පමණ බව පැවසෙනවා.
මේ කාලයේ ඔහු අධ්‍යාපන කටයුතුවලටත් විශාල දක්ෂතාවක් දැක් වූ නිසා ආර්එම් ගේ මවුපියන් ඔහු සංගීතය පැත්තට යොමු වෙනවාට කැමැත්තක් දක්වා තිබුණේ නැහැ. නමුත් පසුව ඔහු කෙසේ හෝ සිය මව ඒ සඳහා කැමති කරවා ගැනීමට සමත්ව තිබුණා. ‘අම්මට වුවමනා නොම්මර එකේ රැපර් කෙනෙක් ද, නැත්නම් 5,000 වැනි තැන ඉන්න ශිෂ්‍යයෙක් ද?’ කියා ඔහු වරක් මවගෙන් විමසූ බවට කතාවක් තිබෙනවා.
කසුන් අරවින්ද