Home » කටුක අත්දැකීම පාඩමක් කරගෙන දැන් මං තනිකඩව ඉන්නවා

කටුක අත්දැකීම පාඩමක් කරගෙන දැන් මං තනිකඩව ඉන්නවා

මියෝනා ද සිල්වා

by thanushika
November 16, 2024 12:30 am 0 comment
නාමලී ගමගේ

හිරිපොද වැස්ස කියන්නෙ මේ දවස්වල හිරිමල් යෞවනයට වහින ආදර වැස්සක්. වයස් භේදයකින් තොර ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වී ඇති හිරිපොද වැස්සේ ආත්මි අක්කාට පණ පොවන ඇය මියෝනා ද සිල්වා. නම හුරුපුරුදු නැතත් මේ දිනවල ඇය කාගේත් ආත්මි අක්කා බවට පත්වී අවසන්. ඇය හා කළ සොඳුරු කතාබහයි මේ.

මෝස්තර නිරූපණය ඔස්සේ ක්ෂේත්‍රයට පිවිසි ඇය CJ අවුරුදු කුමරිය වීම හරහා ලැබුණු ආරාධනයෙන් ආත්මි අක්කා ලෙස තම කුලුඳුල් ටෙලි අත්දැකීම ලැබුවාය.

“මට ඕන කළේ සිනමාව හරහා ක්ෂේත්‍රයට පිවිසෙන්න. ඒ ආසාව ඉටු කරමින් මුලින්ම වසන්ත කුමාරපේළි සර්ගේ සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණත් අතරමඟ එය නතර වුණා. ගිය අවුරුද්දේ තමයි ආයෙමත් ඉතිරි වැඩ ටික ඉවර කරන්න පුළුවන් වුණේ. ඉදිරියේදී සිනමා ප්‍රේක්ෂකයන්ට එය නරඹන්න පුළුවන් වේවි.

හිරිපොද වැස්ස ටෙලි නිර්මාණයට ආරාධනා ලැබෙන්නේ නිෂ්පාදක ප්‍රභාත් රෝෂන්, අධ්‍යක්ෂ ඉන්දික ධර්මතිලක සහ තිර පිටපත් රචක තිමිර උඩලමත්තගෙන්. ස්ක්‍රිප්ට් එක දැක්ක ගමන් මටත් ආසා හිතුණා. මේ චරිතය ඔයාගෙ ජීවිතේ ලොකු පෙරළියක් කරාවි කියන එක ඔවුන් මට කිව්වා. කිව්වත් වගේ එපිසෝඩ් දෙක තුන යද්දිම ආත්මි අක්කට පුදුමාකාර විදිහට ප්‍රතිචාර ලැබෙන්න ගත්තා. ටික් ටොක් වයිරල් වුණා. ලංකාවම පිස්සු වැට්ටුවා කියලත් කමෙන්ට් ලැබුණා. මාව සම්බන්ධ කරගැනීම ගැන ඔවුන්ට ස්තුතිය පළ කරන්නත් මං මේක අවස්ථාවක් කර ගන්නවා. ලවන් ඇතුළු සහෝදර ශිල්පීන්ගෙනුත් ලොකු සහායක් ලැබුණා. මට සිංහල උච්චාරණය කරන්න ටිකක් අමාරුයි. ඩයලොග් ඩිලිවර් කරද්දි ඔවුන් මට ගොඩක් උදවු කළා. අලුත් කෙනෙක් වගේ දැනෙන්නෙ නෑ ඔයා හොඳට රඟපානවා කියල හැමෝම කියනවා.

ව‍ර්තමානයේ දුලබ නොවන අක්කා මල්ලී ප්‍රේමය කතා සංකල්පය බවට පත්කර ගනිමින් නිර්මාණය වී ඇති හිරිපොද වැස්ස යෞවනයට මල් වැස්සක් යැයි කීමට කරුණු කාරණා ඕනෑ තරම්ය.

“ගොඩක් අය අහල තිබුණා මටත් ඒ වගේ අත්දැකීම් තියේද කියලා. ඇත්තම කිව්වොත් මට ඒ වගේ අත්දැකීම් තිබිල නෑ. කවදාවත් ඇතිවෙන එකකුත් නෑ. මේ නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් මාත් හිතුවේ අක්කා කෙනෙක් මල්ලි කෙනෙක්ට ආදරය කරන එක මහා වරදක් කියලා. ඒත් මේ නාට්‍යය අත්දැකීමත් එක්ක ඒක ඒ තරම් වරදක් නෙවෙයි කියන එක දැනුණා. අපි මිනිස්සුනේ. මෙහෙම දේවල් ඇතිවෙන්න පුළුවන්. ඒක මහා අපරාධයක් විදිහට දකින්න අපිට අයිතියක් නෑ. මේ කැරැක්ටර් එක කරන්න කලින් ඉඳන්ම මං පොඩි මල්ලිලා පිරිසකගේ ක්‍රෂ් එකක් වෙලා තිබුණා. ඔවුන්ගේ කමෙන්ට්වල ඒක සඳහන් වුණා. ආත්මී අක්කාගේ චරිතයත් එක්ක ඔවුන්ගේ ආදරය තවත් වැඩි වෙලා කියලා ලැබෙන ප්‍රතිචාරවලින් තේරෙනවා. වයස් භේදයකින් තොරව ආත්මි අක්කට ආදරේ කරන විශාල පිරිසක් ඉන්නවා. චරිතයක් හරහා ඒ වගේ ආදරයක් ලැබීම ලොකු සතුටක්. විශේෂයෙන්ම කුලුඳුල් ටෙලි අත්දැකීම නිසා මට ඒක තවත් විශේෂයි. මේ ආදරය මගේ සිනමාපටයටත් උත්තේජකයක් වේවි කියල හිතෙනවා.“ වයසින් බාල විදෙස් ජාතික පිරිමි ළමයෙක් කාලයක් තිස්සේ තම ආදරය අපේක්ෂාවෙන් තමා පසුපස පැමිණි බව පැවසූ මියෝනා එදා එය තමා වරදක් ලෙස දුටු බව ද පැවසුවාය.

“මං දහය වසරෙ වගේ ඉද්දි හය වසරේ විතර විදෙස් ජාතික පිරිමි ළමයෙක් සෑහෙන කාලයක් මගේ පස්සෙන් ආවා. පුංචි කාලෙ මං වැඩි හරියක් හිටියේ මාලදිවයිනේ. මගේ අම්මා, තාත්තා අයියා අදටත් ජිවත් වෙන්නේ මාලදිවයිනේ. මායි නංගියි විතරයි ලංකාවේ ඉන්නේ. මං නිතර එහේ යනවා. ඔවුන් නිතර මෙහේ එනවා. ඔහු මට හමුවුණේ ඉවෙන්ට් එකකදී. මගේ සෝෂල් මීඩියා එකවුන්ට් එක ඉල්ලගෙන දිගින් දිගටම ආදරය ප්‍රකාශ කළා. ඒත් එදා මං ඒක දැක්කේ නොවිය. යුතු දෙයක් විදිහට. මගේ ඔළුවේ මතයක් ගොඩනැගිලා තිබුණා අඩු වයසක කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වන්න හොඳ නෑ කියලා. මෙතනදි මට ඒ අත්දැකීමත් මතක් වුණා.“

ආදරය නිසා ලද කටුක අත්දැකීම් සහ කලකිරීම ඇය තවමත් තනිකඩව තැබීමට හේතු සාධක වී ඇති බව ඇගේ කතාවෙන් පැහැදිලි විය.

“ආදරය නිසා මං ලබපු කටුක අත්දැකීම පාඩමක් කරගෙන දැන් මං තනිකඩව ඉන්නවා. පුංචි කාලෙ ඉඳන්ම මං හැමදේම මව්පියන්ට කිව්වා. මේකත් එයාලටම භාර දීලා මං මගේ ගමන යනවා. කලාව වෙනුවෙන් මං ලොකු කැපකිරීමක් කළා. මං පණ වගේ ආදරෙන් රැකගත්ත මගේ දිග කොණ්ඩය කපන්න වුණේ මගේ පළවෙනි රංගන අත්දැකීම නිසා. ඒක ඇක්ෂන් ෆිල්ම් එකක්. ඒ වෙනුවෙන් මං සටන් පුහුණු වුණා. මට තිබුණේ ගොඩක් දිග කොණ්ඩයක්. කාටහරි ගහන්න හැරිලා ආපිට බලද්දි මගේ කොණ්ඩෙම මගේ මූණෙ වදිනවා. මුලින්ම මම ටිකක් කපාගෙන ඉතිරි ටික සැලෝන් එකකින් කැපුවා. දැන් තියෙන්නේ සාමාන්‍ය කොණ්ඩයක්. ඉදිරියේ දී මිස් වර්ල්ඩ් පැජන්ට් එකට සහභාගි වීමේ බලාපොරොත්තුවක් තියෙන නිසා අයෙම වවන්නත් අදහසක් තියෙනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division