Home » කාන්තා ක්‍රිකට් අඹර එළිය කරන නැඟෙනහිර තරු පොඩිති

කාන්තා ක්‍රිකට් අඹර එළිය කරන නැඟෙනහිර තරු පොඩිති

by sachintha
November 16, 2024 12:30 am 0 comment

බාලිකා ක්‍රිකට් යනු ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ තෝතැන්න ය. දස්කම් සපිරි යොවුන් ක්‍රීඩිකාවන් ජාතික තලයට සේන්දු වන කඩඉම ය. රට පුරා විවිධ පළාත්වලින් මේ වන විටත් අවුරුදු 19න් පහළ ජාතික සංචිතයට ඇතුළත් වීමට වරම් ලැබූ ක්‍රීඩිකාවන් මෙන්ම ඉන් ඔබ්බට ගොස් ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරමින් සිටින ක්‍රීඩිකාවෝ ද බොහෝ වෙති. කොළඹ කේන්ද්‍ර කරමින් බස්නාහිර, ගාල්ල කේන්ද්‍ර කරගනිමින් දකුණ හා මහනුවර කේන්ද්‍ර කරගනිමින් මධ්‍යම ඇතුළු වැඩි පහසුකම් ඇති බාලිකා පාසල්වල ක්‍රිකට් ක්‍රීඩිකාවන් අබිබවා දුර ඈත නැඟෙනහිර වැනි දුෂ්කර පළාත්වලින් බිහිවන ක්‍රීඩිකාවන් එමටය. මේ එළැඹී ඇත්තේ එවැනි දුෂ්කර පළාත්වලින් ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් වැඩි වැඩියෙන් බිහිවන යුගයකි. මොනරාගලින් චමුදි ප්‍රබෝධා වැනි ‘බට්ටි‘ලා බිහිවෙද්දී දෙහිඅත්තකණ්ඩියෙන් එරන්දි හංසමාලි වැනි ‘යකඩ කෙල්ලෝ‘ බිහිවන යුගයකි.


ක්‍රිකට් ආයතනයෙන් දිරිගැන්වීම්

පාසලෙන් බිහිවන මෙවැනි ක්‍රීඩිකාවෝ දිස්ත්‍රික් හා පළාත් පුහුණුකරුවන්ගේ අධීක්ෂණය හා රැකවරණය යටතේ තව තවත් දස්කම් මුවහත් කරගනිති. එවැනි ක්‍රීඩිකාවන් රැසක් මේ වන විටත් අවුරුදු 19න් පහළ ජාතික සංචිතයට ඇතුළත් වී සිටිති. ජාතික සංචිතයට ඇතුළත් වන ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සියල්ල සපයනු ලබන්නේ ක්‍රිකට් ආයතනයෙනි. ආහාරපාන, ක්‍රිකට් ආම්පන්න මෙන්ම පුහුණු සැසි අතරතුර නේවාසික පහසුකම් ද, ඊට අමතරව ක්‍රීඩාව වෙනුවෙන් මාසික දීමනාවක් ද ලැබේ. එවැනි දිරිගැන්වීම් සිදු කරමින් සංචිතගත ක්‍රීඩිකාවන් මේ අයුරින් පෙළගස්වනු ලබන්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමටය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ ඔසවා තැබීමටය.

කාලයක් ජාතික කාන්තා පිලේ හිස් තැන් පිරවීමට සමත් ක්‍රීඩිකාවන් සොයාගැනීම දුෂ්කර වූව ද, අද වන විට ඒ සඳහා යොවුන් ක්‍රීඩිකාවන් පෙළගැසී සිටින්නේ තරගයට මෙනි. ජාත්‍යන්තර පිටියේ සෙසු කණ්ඩායමක් අබිබවා යෑමට තරම් පවර් හිටර්ස්ලා ද, ඕතඩොක්ස් පන්දු යවන්නියන් ද ඇතුළු විවිධ ශෛලියේ දස්කම් ඇති එවැනි ක්‍රීඩිකාවෝ පසුගිය වකවානුවේ ජාතික කාන්තා පිලට ලොකු අඩුවක් වී තිබිණි. එහෙත් දැන් තත්ත්වය වෙනස් ය. පසුපෙළ සංචිත පිට සංචිත ගොඩනැඟෙද්දී තව තවත් ක්‍රීඩිකාවන් ගම් නියම්ගම්වලින් බිහිවන්නට පටන් ගෙනය. එවැනි දස්කම්වලින් පොහොසත් ක්‍රීඩිකාවෝ රැසක් මෑත කාලයේදී බිහි වූයේ නැඟෙනහිර පළාතෙනි.

දස්කම් සහිත ක්‍රීඩිකාවෝ රැසක්

අම්පාර, උහන ජාතික පාසල් කණ්ඩායමේ උපනායිකා වමත් දඟපන්දු යවන්නිය මල්ෂානි සෙව්මිණි රත්නායක එවැනි තවත් ක්‍රීඩිකාවකි. මේ 17 හැවිරිදි වමත් දඟපන්දු යවන්නිය පසුගියදා ආරම්භ වූ 19න් පහළ පළමු කොටසේ බාලිකා ක්‍රිකට් තරගාවලියේ මහනුවර මහමායා විදුහල් පිල සමඟ පැවැති පළමු තරගයේදී ලකුණු 20කට කඩුලු 6ක් දවාලූ අතර, ඔක්කම්පිටිය විජයබා විදුහල් පිලට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 7ක්ම බිඳ දැමුවේ ලකුණු 5කටය. මේ ‘ඕතඩොක්ස්‘ පන්දු යවන්නිය වර්තමානය වන විට අවුරුදු 19න් පහළ සංචිතයට ඇතුළත් නොවූවද, නුදුරේදීම ඇයට එම අවස්ථාව හිමිවනු නිසැකය. දැනටමත් ඇය දිස්ත්‍රික් සහ පළාත් සංචිතයට ඇතුළත් වී සිටී. එවැනිම ආකාරයේ පන්දු යවන්නියක වන ජාතික කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩිකා ඉනෝකා රණවීරගෙන් පසු එම අඩුව පුරවාලීමේ වැඩි අවස්ථාවක් ද ඇය ඉදිරියේ තිබේ.

නැඟෙනහිර පළාතට අයත් අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අතුරින් මල්ෂානි හැරුණු විට මේ වන විට ජාතික තලයට සේන්දුවූ යොවුන් ක්‍රීඩිකාවෝ රැසක් වෙති. ඒ අතුරින් උහන ජාතික පාසලෙන්ම 19න් පහළ සංචිතයට එක්වූ ප්‍රමුදි මෙත්සරා කැපී පෙනේ. තවමත් 15 හැවිරිදි වියෙහි පසුවන දකුණත් පිටදඟ පන්දු යවන්නියක වන ප්‍රමුදිට 19න් පහළ ක්‍රීඩා කිරීමට තවත් වසර 4ක්ම ඉතිරිව තිබේ. ඇය පසුගියදා ඔස්ට්‍රේලියාවේ සංචාරය කළ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට ද ඇතුළත් වූවාය. නැඟෙනහිර පළාත් ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතර උහන ජාතික පාසලට හිමි වන්නේ සුවිශේෂී තැනකි. පසුගිය වසරේ අන්තර් පාසල් 19න් පහළ දෙවැනි කොටසේ තරගාවලිය නියෝජනය කළ උහන ජාතික පාසල මේ වසරේදී පළමු කොටස දක්වා උසස්වීම් ලැබුවේද අවසන් මහා තරගයට පිවිස අනුශූරතාව දිනා ගැනීම හේතුවෙනි. උහන ජාතික පාසල් පිල නියෝජනය කළ වේගපන්දු යවන්නියක වන දුලාංජලී නවෝද්‍යා සහ කඩුලු රකින ගායනා ගුණතිලක ද කැපී පෙනෙන දස්කම් පෑ ක්‍රීඩිකාවෝ වෙති. එම කණ්ඩායමේ සිටින 17 හැවිරිදි සචිනි දෙව්මිණි ද කැපී පෙනෙන ක්‍රීඩිකාවකි.

ත්‍රිකුණාමලය ද එවැනිම කැපී පෙනෙන ක්‍රීඩිකාවන් ජාතික තලයට බිහි වන දිස්ත්‍රික්කයකි. අවුරුදු 19න් පහළ ඔස්ට්‍රේලියානු සංචාරයට එක්වූ විමෝක්ෂා බාලසූරිය සංචිතයට එක්වූයේ ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලයෙන් බිහිවූ ක්‍රීඩිකාවකි. තවමත් 15 හැවිරිදි වියෙහි පසුවන මේ පිතිකාරිනියට අවුරුදු 19න් පහළ ක්‍රීඩා කිරීමට තවත් වසර 4ක්ම ඉතිරිව ඇත. ඒ අතර කන්තලේ රජඇල මහා විද්‍යාලයේ 17 හැවිරිදි මිතාලි අයෝධ්‍යාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. පාසලේ හෙල්ල වීසි කිරීමේ උපන් හපන්කම් ඇති ක්‍රීඩිකාවක වන මිතාලි දකුණත් වේගපන්දු යවන්නියක වන අතර, ඇගේ පන්දු යැවීමේ ඉරියව්ව හැම අතින්ම ලසිත් මාලිංගට සමානය. දැනට එවැනි පන්දු යැවීමේ ඉරියව් සහිත එකම ක්‍රීඩිකාව ද මිතාලි ය. අවුරුදු 19න් පහළ ජාතික සංචිතයේ ද සාමාජිකාවක වන මිතාලි ජාතික තලයට සේන්දු වූයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැවැති ප්‍රවර්ධන වැඩසටහනකිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගමට ක්‍රිකට් ව්‍යාපෘතිය යටතේ එවැනි වැඩසටහන් රැසක් දීපව්‍යාප්තව සිදු කළ අතර, එහි පුරෝගාමීව කටයුතු කරනු ලැබුවේ කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිණිය ලෙස කටයුතු කළ අප්සාරි තිලකරත්න මහත්මිය විසිනි. ඈත දුෂ්කර පළාත්වලින් ජාතික තලයට යොවුන් ක්‍රීඩිකාවන් සොයා ගිය අප්සාරි තිලකරත්න මහත්මියගේ මෙහෙයුමෙන් සොයාගත් එවැනි ක්‍රීඩිකවෝ රැසක් අද වන විට ජාතික කණ්ඩායමටත්, අවුරුදු 19න් පහළ කණ්ඩායමටත් ඇතුළත් වී සිටිති. ජාතික තලයට සේන්දු වීමේ උපන් හපන්කම් ඇති තවත් යොවුන් ක්‍රීඩිකාවෝ දෙදෙනකු ත්‍රිකුණාමලයේ සිටිති. රජඇල මහා විද්‍යාලයේ 13 හැවිරිදි දකුණත් වේගපන්දු යවන්නියක වන රන්සි සිතුමිණි ඉදිරියේදී අවුරුදු 19න් පහළ සංචිතයට ඇතුළත්වීමේ හැකියාව ඇති ක්‍රීඩිකාවකි. ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලයේ වමත් දඟපන්දු යවන්නියක වන යූ.ජී. සෝපිකා තවත් කැපී පෙනෙන ක්‍රීඩිකාවකි. 15 හැවිරිදි සෝපිකා ද මේ වන විට 19න් පහළ පළමු කොටසේ බාලිකා ක්‍රිකට් තරග බිමේ දස්කම් දක්වන උහන ජාතික පාසලේ මල්ෂානි මෙන්ම ඕතඩොක්ස් පන්දු යවන්නියකි.

පාසල්වලිනුත් උපරිම සහය

මේ සියලු පාසල්වල විදුහල්පතිවරු මෙන්ම ආචාර්ය මණ්ඩලත්, මාපියනුත් එම ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සියලු පහසුකම් උපරිම අයුරින් ලබාදීමට දැඩි වෙහෙසක් ගන්නා අතර, එවකට හිටපු පළාත් පුහුණුකරු නිලන්ත විමලවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර හිටපු දිස්ත්‍රික් පුහුණුකරු දිල්ක පනාගොඩ, පාසල් පුහුණුකරුවන් වන ඒ. ඩී. එන්. රත්නවීර, රජිත ළහිරු මධුසංඛ, සුපුන් දිසානායක මහත්වරු ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පුහුණුකරු ආර්. ඒ. ප්‍රගීත් චානක, පාසල් පුහුණුකරුවන් වන එන්. චතුරංග සහ ටී. එම්. දිසානායක මහත්වරු ද, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්වල ප්‍රධානීන් ද ජාතික කාන්තා ක්‍රිකට් කරළියට නැඟෙනහිරෙන් තරු බිහි කිරීමට ලබා දුන් දායකත්වයට ගෞරවය හිමිවිය යුතුමය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division