කරදිය දූපත්වල සැරිසැරීමට සිතාගෙන පුත්තලම – කොළඹ මාර්ගයේ මුහුදු කලපු අතර පිහිටි බිම් තීරු සොයා ගමන් ආරම්භ කළෙමි. මගේ දියණිය ද මා සමඟ ඒ ගමනට එක් වූවාය. කඩොලාන ශාක ගැන වාර්තාවක් සැකසීම සඳහා අධ්‍යයන චාරිකාවක අවශ්‍යතාව තිබුණේ ඇයටය. ඇය සිය වාර්තා වැඩසටහනට තෝරා ගෙන තිබුණේ කඩොලාන සංරක්ෂණය හා එහි විනාශය වළක්වා ගත හැකි ආකාරය සොයා බලා ඒ ඇසුරෙන් වාර්තාවක් සැකසීමය.
පුත්තලම කල්පිටියේ සිට මීගමුව මුහුදු තීරයේ කලපු ආශ්‍රිතව විවිධ කඩොලාන ශාක විශේෂයෙන් ව්‍යාප්ත වී තිබේ. ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෙත් බිම් කලපුව හලාවත – පුත්තලම ප්‍රධාන මාර්ගයේ සිට කිලෝ මීටර් 3ක් පමණ වෙරළ දෙසට වන්නට රැම්සා තෙක් බිම් සංරක්ෂිත ප්‍රදේශයකි. අක්කර දහස් ගණනක් පුරා පුංචි පුංචි ශාකවල සිට විශාල වෘක්ෂ දක්වා වගුරු බිම්වල ඉහත අලංකාරවත් වියනක් සේ මෙම ශාක වැඩී තිබිණි. කඩොලාන ශාකවල මුල් ස්පර්ශ කරන්නේ නම් මෙම වගුරු බිමට බැස කැලෑ පීරා ගෙන යා යුතුය. මෙම දුෂ්කරතාව නිසාම මිනිස් පහස නිරන්තරයෙන් නොලද මෙම වෘක්ෂයෝ කුඩා ශාක සහ විශේෂ පඳුරු සේ සශ්‍රිකව වැවී තිබිණි. මිනිස් ක්‍රියාකාරකම් තිබුණේ මාළු ඇල්ලීම, දඩයම, ශාක ආහාරයට ගැනීම සහ සුළු දැව කඳන් ලබා ගැනීම ආදිය වෙනුවෙනි. භූමියේ බාධා කිරීම් පමණක් නොව නීතිමය බාධා හා රැකරණය ලබා දීම සඳහා සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කොට තිබීම නිසා යම් පමණකට මෙම භූමිය ආරක්ෂා වී ඇත.
සංචාරක කුරුලු පාරාදීසයක්
විදේශීය කුරුලු විශේෂ රාශියක් සැතපුම් සිය ගණනක් ගෙවා ගෙන ඉන්දියාව හරහා රුසියාව දෙසින් මෙම නිසල වාසස්ථානය කරා පැමිණෙන්නේ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරු මෙම භූමියට පය ගැසූ සැණින් අවබෝධ විය. ඉතාම නිසංසල රමණීය වූ ඈත ක්ෂිතිජය පෙනෙන මානය තෙක් මිනිස් පහසක් නොලද තද නිල් පැහැයෙන් යුතු කරදිය ජල මාර්ග ගලා බසින කලපුව දෙබෑ කරමින් සුන්දර දසුන් හා නිදහස් බව ආරක්ෂිත බව මෙම සතුන් මෙම භූමියට කොතරම් දුරට ආකර්ෂණය කරගෙන ඇත්ද යන්න නිරීක්ෂණයේදී අවබෝධ විය. පක්ෂීන්ගේ රජ දහනක් වන මෙම රැම්සා තෙත් බිම කුරුල්ලන් සිය ගණනක් පමණ කූඩු තනා ගෙන නිසොල්මනේ අසිරිය විඳිමින් ආරක්ෂිතව පැටවුන් බිහි කර නැවත වතාවක් පැටවුන් ද සමඟ ඉන්දියාව හරහා හිමාලයට ඉහළින් යුරෝපයට හා රුසියාවට සතුටින් පියාඹා යෑම ආශ්චර්යජනකය.
ආරච්චිකට්ටුව වන ජීවී හා වන සංරක්ෂිත භූමියක් ලෙස නම් කොට ඇති පුවරුව පසු කොට ගෙන කිලෝමීටර් 3 – 4 ක් වෙරළ දෙසට යන විට රිළවුන් කුඩා කුඩා සත්ත්වයන් පාර දෙපස තම ආහාර හා විවේකය භුක්ති විඳින ආකාරය දැක ගත හැකිය. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් ගණනාවක් පුරා කලපුව විහිදී ඇත. විශාල ගංගාවක් සේ ඈතට ඈතට දිවෙන නීල වර්ණ ජලයට දෙපසින් සුදෝසුදු තද කොළ පාටින් වැවී ඇති කඩොලාන ශාකයන්ගේ තේජස මනරම් දසුන් දෑස් අබියසට කැඳවයි.
මීමින්නා, ඉත්තෑවා, තලගොයා, රිළවා, කබරයා, ආදී සතුන් මෙන්ම කොකා, දියකාවා, හොටදිග කොක් රාළ, පිළිහුඩුවා මෙම ආනවිලුන්දාව තෙත් භූමියේ පදිංචිකරුවන්ය. මිනිසුන්ගේ දඩයම්මය අවශ්‍යතාවලට බාධාවක් ලෙස භූමියේ දුෂ්කරතාව හා විශාල ඝන පඳුරු සහිත කඩොලාන ශාකයන්ගේ ව්‍යාප්තිය දැකිය හැකිය.
කලපු ඉස්සන් බිත්තර දමන්නේ කඩොල් මුල් ආශ්‍රිත කරදියේය. ගලා නොයන වගුරු බිම් සහිත භූමියේ පඳුරු තුළින් හිරු එළිය සහිත බිම් කඩවල් තුළ කලපු ඉස්සන්ගේ ගෘහ මාලිගා පිහිටා ඇත. එම බිත්තර දහස් ගණනක් අතරින් සිය ගණනක් පැටවුන් බිහි වී කලපු දියඹට එක් වේ. මෙයින් යම් ප්‍රමාණයක් ධීවර දැල් හරහා ඉස්සන් වෙළෙඳපොලට පැමිණි විට ධීවරයන්ගේ පවුල් රැකේ.
සොබාදහම සහ මිනිසා අතර අන්‍යෝන්‍ය ගනුදෙනුවට ඇති බාධා
මෙම අන්‍යෝන්‍ය ගනුදෙනුවටත් සුහදතාවට හා ළැදියාවටත් බාධාවක් වන්නේ ඉස්සන් බෝවීම හෝ කඩොලාන ව්‍යාප්තිය නොවේ. කෑදර මිනිසාගේ නොසන්සිඳෙන මූල්‍ය අවශ්‍යතාවයි. ඉවක් බවක් නොමැතිව වගුරු බිම් තෙත් භූමි සිසාරා තහනම් ආම්පන්න යොදා අක්‍රමවත් ලෙස මසුන් ඇල්ලීම සේම ඉස්සන් කොටුවලින් මහා පරිමාණයෙන් ඉවතලන රසායන ද්‍රව්‍ය කලපුවට මුදා හැරීමෙන් කොළ පාට දිය සෙවෙල තට්ටුවක් කලපුව පුරා දක්නට ලැබේ. වඩදිය බාදිය ක්‍රියාවලියේදී මෙම දිලීර තට්ටුව කඩොලාන මුල් හරහා ගොඩබිමට පැමිණ තැන්පත් වේ.
ඉස්සන් වගාව සඳහා කඩොලාන සහිත භූමිය එළිපෙෙහළි කිරීම, ඇළ මාර්ග අවහිර කිරීම, අපද්‍රව්‍ය කලපුවට මුදා හැරීම, රසායනික ද්‍රව්‍ය අපහරණය වැනි ක්‍රියා නීතිමය ආකාරයෙන් වළක්වා ගත නොහැකි අතර, පරිසර පද්ධතියේ සමතුලිත බවට ආදරය කිරීම තුළින්ම පරිසර ළැදි ව්‍යාපාරිකයන් බිහිවීමෙන් වළක්වා ගත හැකිය.
ආනවිලුන්දාව, හලාවත, මහවැව,මාරවිල, මීගමුව හරහා දිවෙන වෙරළබඩ කලපු දියේ අසිරිය විඳගැනීමට නම් කඩොලාන ආශ්‍රිතව ගොඩනැඟී ඇති මෙම සුන්දර පරිසර පද්ධතියට හානි කිරීම නොව එය සමඟ ආදරයෙන් බැඳීම අවශ්‍ය වේ. පුංචි පුංචි දූපත් සේ මෙහි ඇති බිම් කඩවල් වටේට කරදිය ජල මාර්ග හරහා ඔරුවලින් ගමන් කළ හැකිය. දෙපස වියනක් සේ තද කොළ පැහැය කඩොලාන වෘක්ෂයන්ගේ අතු රිකිලි, මුල් මැදින් ඔරුව යාත්‍රා කිරීම තුළින් වෙනම ග්‍රහ ලොවක අතරමං වූවා සේ දැනේ. කිසිදු ශබ්දයක් නොඇසෙන ඔරු කඳේ හා ජලයේ වදින හබලේ ශබ්දය, කුරුලු නාදය හැරෙන්නට ගැඹුරු ලෙස හුස්ම ඉහළ පහළ යවන යෝගීන් සේ වෘක්ෂයෝ දෙපස හිටි තැනම භාවනා සුවයෙන් වැඩ වාසය කරන්නා සේය.
පම්බල කඩොලාන සංරක්ෂිත කෞතුකාගාරය
දේශීය හා විදේශීය සංචාරකයන් සුළු වශයෙන් ආනවිලුන්දාවට පැමිණෙන අතර සංචාරක බෝට්ටු මාර්ග දැන් වැසී ගොස් ඇත්තේ සංචාරකයන් මෙම ප්‍රදේශයට පැමිණීම සීමිත නිසා බව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් චන්ද්‍රිකා මංචනායක අප සමඟ පැවසීය. මෙම ගමන සඳහා ඇගේ පැමිණීම අපට ධෛර්යයක් වූ අතර, රාජකාරී ගමන් අතරතුර පැමිණ අවශ්‍ය උපදෙස් හා තොරතුරු සුහදශීලිව බෙදා ගැනීමට ද ඇය නිහතමානී වූවාය. ආනවිලුන්දාව සංරක්ෂිත රැම්සා තෙත් බිම් කලාපයෙන් නික්ම ඇයට ස්තූති කොට අප පැමිණියේ හලාවතින් මුහුද සිප ගන්නා දැදුරු ඔය මාතාවට වන්දනා කොට ඇගේ සෙනෙහස ලැබීමටය.
අප පුත්තලම- කොළඹ මාර්ගයේ දැදුරු ඔය පාලම මතින් හලාවත දෙසට පැමිණ හලාවත නගරය පසුකොට පම්බල කඩොලාන සංරක්ෂිත කෞතුකාගාරයට පැමිණෙන විට හවස් කාලය උදාවෙමින් තිබිණි. ඒ නිසා කටයුතු අවසාන අදියරේ පැවති අතර, රාජකාරී කටයුතු බහුල වුවත් අපගේ අවශ්‍යතාව වටහා ගත් එහි අධ්‍යක්ෂවරයා ඒ සඳහා සිය උපරිම සහාය අනුග්‍රහය ලබා දීමට පොරොන්දු වූයේ පසුදින උදෑසන වන විට පැමිණෙන ලෙස අපෙන් ඉල්ලා සිටිමිනි.
ප්‍රීතිමත් බෝට්ටු සවාරිය
පසුදින උදෑසන 7.00 වන විට අප කෞතුකාගාරයට ගිය අතර, ඊට පිටුපසින් දිස්වන්නේ හලාවත පම්බල කලපුව ඉමක් කොනක් නොපෙනෙන කරදිය සයුරේ තැනින් තැන පිහිටි දූපත් රාශියකි. කලපුවත් කෞතුකාගාරයත් අතර බිම් තීරුවේ කඩොලාන සංරක්ෂණ ප්‍රදේශයකි. එහි අයිතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුය. කඩොලාන ගස්වල ඒවා හඳුනා ගැනීමේ පුවරු සකස් කොට තිබිණි. අධ්‍යක්ෂවරයා පැවසූ පරිදි කඩොලාන වර්ග විසි දෙකක් පමණ ලංකාවේ හඳුනාගත හැකි අතර, වර්ග විසි දෙකම මෙම භූමියේ පිහිටා තිබීම විශේෂත්වයකි. මවු ශාකවලට අමතරව පුංචි පහේ මොටෙයියන් නැත්නම් කඩොලාන බීජ පැළ භූමිය පුරාම පැළවී තිබූ අතර කඩොලාන ශාක අතරෙන් පුංචි මාර්ගයක් කලපුවට වැටෙන්නට සැකසී තිබිණි. කලපුවේ සිට කඩොලාන බිම් හරහා දිවෙන ඇළ මාර්ගයේ කෙළවර සංචාරකයන්, නරඹන්නන් සහ පර්යේෂණ කරන්නන් සඳහා පහසුකම් සැලසීමට ඔරු දෙකක් සහ බෝට්ටු දෙකක් සැදී පැහැදී තිබිණි.
කඩොලාන සංරක්ෂණය ළමා සමාජයේ ළමුන් සමඟ අප ද බෝට්ටු සවාරිය සඳහා එක්වීමු. එය බෝට්ටු සවාරියක් පමණක් ම නොවේ. ඕලන්ද ඇළ ගලා බසින්නේ කොළඹ දෙසට, මෙම කලපුවට කෙළවරිනි. එහි ඉවුර මුහුදු ඛාදනයට ලක්වී ඇති කොටසේ අලුතින් කඩොලාන පැළ සිටුවීමේ ස්වේච්ඡා වැඩසටහන සඳහා ඔවුහු ගමන් කළහ. කඩොලාන බීජ පැළ රැගත් ළමුන් ඒ සියල්ල පරිස්සමින් බෝට්ටුවේ තැන්පත් කොට ජලය උදේ ආහාරය ජීවිතාරක්ෂක කබා පැලඳ ගෙන එම ස්වේච්ඡා වැඩසටහනට සහභාගිවීම මෙන්ම ඒ සඳහා ඔවුන් දිරිගන්වන කඩොලාන කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරයාට අප ස්තූති කළ යුතුය.
බෝට්ටුව මනරම් කඩොලාන පිරි දූපත් සහ සුන්දර දසුන් පසු කරමින් ඕලන්ද ඇළ ඉවුරු ඛාදන කලාපයට පැමිණි පිරිස යුහුසුලුව කඩොලාන බීජ රෝපණය ආරම්භ කළ අතර පැය දෙකක් මහන්සියෙන් පසු බීජ පැළ දහසකට අධික ගණනක් සිටුවනු ලැබිණි. තවත් සති දෙකකින් පැමිණ එහි කටයුතු සොයා බැලීමේ කතිකාවකින් පසුව ළමුන් සමඟ පාන් සමඟ සම්බෝල සහිත උදේ ආහාරය අනුභව කොට කහට කොප්පයකින් සැනසී අප නැවත කඩොලාන කෞතුකාගාරයට පැමිණෙන විට පාසල් ළමුන් හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයයෝ විශාල පිරිසක් එහි රැස්වී සිටියහ. ඒ, ඔවුන්ගේ අධ්‍යයන හා තොරතුරු සජීවීව එක්රැස් කර ගැනීමේ අටියෙනි. අධ්‍යක්ෂවරයාට ස්තූති කළ අප හලාවත වෙරළ තීරය හරහා මාරවිල දෙසට වැටී ඇති මාර්ගය ඔස්සේ නිවෙස බලා ගමන් ආරම්භ කළෙමු.
කඩොලාන ගැන පර්යේෂණ කිරීමට, විවිධ වාර්තා සැකසීමට, අධ්‍යයනය කිරීමට මෙන්ම සංචාරය කිරීමට පමණක් නොව ස්වේච්ඡා සංරක්ෂණ කටයුතු සඳහාද ලොව විවිධ ජාතීහු ශ්‍රී ලංකාවේ කඩොලාන ශාක පද්ධතිය සොයා පැමිණෙති. ජපානය, ප්‍රංශය, නෙදර්ලන්තය, ජර්මනිය, අෙමරිකාව ආදී රටවලින් කඩොලාන සංරක්ෂණය හා ව්‍යාප්තිය සඳහා විවිධ වර්ගයේ ආධාර අනුග්‍රහ ලබා දෙන්නේ අපේ රටේ තිබෙන මෙවැනි සම්පත්වල සංචාරක, ජෛවීය හා සමතුලිත වටිනාකම් ගැන අප මීට වඩා සැලකිලිමත් විය යුතු බවය.
චමින්ද කේ. කුමාර