එයාට මගේ නොම්මරේ ඕන වුණා. ඒත් ඒ වෙද්දී එයා විවාහ වෙලා හිටියේ. ඉතින් මම නොම්මරේ දුන්නේ නෑ. මම එයාට කිව්වේ මගේ නොම්මරේ දෙන්න බෑ. ඔයාගේ නොම්මරේ මට දෙන්න, මම කෝල් කරන්නම් කියලයි. මොකද මට ඕන වුණේ එයා මට දෙන නොම්මරේ මොකක්ද බලන්නයි. ඒක බිස්නස් නම්බර් එක වුණා නම් මට වැඩක් නෑ. මොකද මම එයා එක්ක බිස්නස් කරන්නේ නෑනේ. එයා මොකක්ද දන්නවද කළේ, එයාගේ හැම නොම්මරේම මට දුන්නා. ඔෆීස් එකේ, ෆ්ලොරිඩාවේ මාර් අලාගෝ මන්දිරයේ, නිව්යෝක් ගෙදර මේ හැම නොම්මරයක්ම එයා මට දුන්නා. “මෙසේ කියන්නේ ඊයේ පෙරේදා අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දෙවැනි වතාවටත් පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සුරූපී බිරිය මෙලනියා ට්‍රම්ප් ය.
ට්‍රම්ප්ගේ සිත පැහැරගත් පළමු හමුවීම
එය සිදු වූයේ 1998 නිව්යෝක් නුවර පැවැති සුප්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පී පාඔලෝ සැම්පොලිගේ නිර්මාණ දැක්මට ගිය මොහොතේදීය. දෙදෙනා මුලින්ම මුණගැසුණු දිනයේදීය. ඒ වනවිටත් කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස අමෙරිකාව හොල්ලමින් සිටි 52 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් මෝස්තර නිරූපණ දැක්මට ගියේ ඔහුගේ දෙවැනි බිරිය වූ හිටපු හොලිවුඩ් නිළි මර්ලා මැප්ලස් සමඟය. 28 හැවිරිදි වියෙහි පසුවූ මෙලනියා එවකට ස්ලෝවේනියානු මෝස්තර නිරූපණ ශිල්පිනියක වූ අතර, කාගෙත් නෙත් සිත් පැහැරගන්නා රූමතියක ද වූවාය. මෙලනියා මේ සිදුවීම සිහිපත් කළේ ඊට වසර 18කට පසු අමෙරිකාවේ හාපර්ස් බසාර් නමැති මෝස්තර සඟරාවක් සමඟ කතාබහ කරමින් සිටියදීය.
ඩොනල්ඩ් ට්‍රම්ප් දුන් දුරකතන අංකයට මෙලනියා කතා කළේ නිව්යෝක් මෝස්තර නිර්මාණ දැක්මෙන් දින කිහිපයකට පසුවය. දෙදෙනාගේ පෙම් පළහිලව්ව ආරම්භ වීමට වැඩි කාලයක් ගත වූයේ ද නැත. දෙදෙනා අතර අවුරුදු 24ක වයස් පරතරය ආදරයට කොහෙත්ම බාධාවක් වූයේ ද නැත. 1999දී සිය දෙවැනි බිරිය සමඟ වූ විවාහය නීත්‍යනුකූලව කුරුටු ගෑ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලනියා සමඟ විවාහ වූයේ 2005දීය.
ඊට පෙර 1977දී චෙක් රාජ්‍යයේ මෝස්තර නිරූපන ශිල්පිනියක වූ ඉවානා සමඟ පළමු වරට විවාහ වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇයගෙන් පුතුන් දෙදෙනකු හා දියණියක ලැබූ අතර, 1990 දී ඇගෙන් දික්කසාද වී 1993දී දෙවැනි වරට විවාහ වූයේ මර්ලා සමඟය. ඔවුන්ගේ එකම දියණිය ටිෆනි උපන්නේ ඒ වසරේදීමය. 2005දී මෙලනියා සමඟ විවාහ වීමෙන් පසු ඔහු 6 වැනි වතාවටත් ‘තාත්තා’ කෙනකු කරමින් මෙලනියාට දාව එකම පුතු බාරොන් උපන්නේ ඊළඟ වසරේදීය.
මැතිවරණ සටනේ වැඩි බරක් කරපින්නා ගත් සුරූපී බිරිය
මුල් කාලයේ එතරම් කතාබහට ලක් නොවූ මෙලනියා ගැන අමෙරිකානු ජනතාව අතර වැඩිපුර අවධානය යොමු වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට ජනපති ධුරයට පත්වූ 2016 කාලයේදීය. එවර ඔහුගේ මැතිවරණ සටනේ වැඩි බරක් කරපින්නා ගත් මේ සුරූපී කාන්තාව 2020 ජනපති සටනෙන් ට්‍රම්ප් පරාජය වීමෙන් පසු ගතවූ වසර 4ක කාලය ඇතුළත ඔහු මුහුණ දුන් සියලු කරදර බාධක හමුවේ නොසැලී සිටීමට සිය සැමියාට හැම අතින්ම දිරිය සැපයූ බව ප්රකටය.
විවාහයෙන් දශක දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේහිම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන ජීවිතය වෙනුවෙන් ඇය විසින් සිදු කළ දැවැන්ත මෙහෙය ඔහු කවදත් ඉහළින්ම අගය කළේය.
අමෙරිකාවේ පුරවැසිභාවය ලැබූ පළමු ජනපති ආර්යාව
වසර 2017 සිට 2021 දක්වා පළමු වරට ජනපති ආර්යාව ලෙස ධවල මන්දිරයේ පදිංචියට ගිය මෙලනියා අමෙරිකානු දේශපාලන ඉතිහාසයට එක් වූයේ එරට පුරවැසි භාවය ලැබූ පළමු ජනපති ආර්යාව හැටියටය. 1825 සිට 1829 දක්වා අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජෝන් ඇඩම්ස්ගේ බිරිය ලුයිසා ඇඩම්ස්ගෙන් පසු අමෙරිකාවේ ජනාධිපති ආර්යාව බවට පත්වූ විදෙස් රටක උපන් පළමු කාන්තාව ද ඇය වූවාය. ලබන වසරේ ජනවාරියේ 20 වැනිදා ඇය දෙවැනි වතාවටත් අමෙරිකාවේ ජනාධිපති ආර්යාව බවට නිල වශයෙන් පත් වන්නේ අඛණ්ඩ නොවන අවස්ථා දෙකකදී ජනපති ආර්යාව බවට පත්වූ දෙවැනි කාන්තාව හැටියටය. ඊට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 1885 සිට 1889 දක්වාත්, 1893 සිට 1897 දක්වාත් අමෙරිකාවේ ජනපති ධුරයේ කටයුතු කළ ග්‍රොවර් ක්ලෙව්ලන්ඩ්ගේ බිරිය ෆ්‍රැන්සෙස් ක්ලෙව්ලන්ඩ් විසිනි.
පසුගිය ජනාධිපතිවරණය අවසන් වූ දින රාත්‍රියේ මැතිවරණ ප්‍රතිඵල එකින් එක තම වාසියට හැරෙද්දී ඔහු කැලිෆෝනියාවේ වෙස්ට් පාම් බීච් සම්මේලන මධ්‍යස්ථානයට එක්රොක් වූ අතිවිශාල පාක්ෂිකයන් පිරිසක් ඉදිරියට පැමිණියේ සිය බිරිය හා ඇය විසින් ඔහුට තෑගි කළ බාරොන් පුතු සමඟය. ඔහුට දැන් අවුරුදු 18කි.
“මට මුලින්ම ස්තූති කරන්න ඕන මගේ මේ සුන්දර බිරිය මෙලනියාටයි. එයා හරි පුදුම කාන්තාවක්. ඒ වගේම ධෛර්ය සම්පන්න කාන්තාවක්. “ඔහු එසේ කීවේය.
lෆවුස් මොහොමඩ්