විදේශ රටවල සිට ක්‍රියාත්මක වන මෙරට පාතාල කල්ලි නායකයන්, සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරමුන් ඇතුළු අපරාධකරුවන් මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා අපරාධ සිදු කරවන්නේ ඔවුන්ටද හිතේ හැටියට මිල මුදල්වලින් සංග්‍රහ කරමින් බව නොදන්නා කෙනෙක් නැති තරම්ය. මේ අපරාධකරුවන් එලෙසින්ම ක්‍රියාත්මක වෙමින් මෙරට සිටින සිය ගෝලබාලයන් සහ කුලී ඝාතකයන් ලවා සිය විරුද්ධවාදීන් වළපල්ලට යවන්නේ ඉතා සූක්ෂ්මවය.
විදෙස් රටවල සිට එලෙස ක්‍රියාත්මක වන පාතාල නායකයන් මෙරට සිටින ඔවුන්ගේ කුලී ඝාතකයන් ලවා වළපල්ලට යැවූ විරුද්ධවාදීන් සංඛ්‍යාවද සුළුපටු නැත. එසේම එලෙස කුලී ඝාතකයන් ලෙස ක්‍රියාත්මක වූ පුද්ගලයන් ගණනාවක් ද පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබීමද සුවිශේෂීය.
රහස් පොලිසියද මැතකදී එවැනි විමර්ශනයක් ඉතා සාර්ථකව සිදුකර තිබුණ අතර, කුලී ඝාතකයන් සඳහා ටී56 ස්වයංක්‍රිය තුවක්කුවක් ප්‍රවාහනය කිරීමේ නිරතව සිටි හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු එම ටී56 තුවක්කුව සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි විය. පාතාලයේ කුලී ඝාතකයන් විසින් පසුගිය දිනවල සිදු කර තිබුණ ඝාතන කිහිපයකටම අදාළ ටී56 තුවක්කුව ගෙන ගොස් දී තිබුණේ මේ වැඩ තහනමට ලක්ව සිටි පොලිස් පරීක්ෂකවරයාය. ඔහුගේ ගිණුමේ රුපියල් ලක්ෂ 40ක් තිබුණු බව හෙළි වුණ අතර, එම මුදල් සියල්ලම කුලී ඝාතකයන්ට ටී 56 තුවක්කුව ප්‍රවාහනය කිරීමෙන් ඔහුට ලැබුණු බවට සැක කෙරේ.
මේ ආකාරයටම කුලී ඝාතන සිදු කරන ලද තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ දිශා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධරයන් කණ්ඩායමකට හැකියාව ලැබුණේ පසුගියදාය.
එම නිලධාරින් අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කරන ලද දීර්ඝ විමර්ශනය සිදු කළ අයුරු පියවරෙන් පියවර පෙළගැසෙන්නේ මෙසේය.
ඉකුත් සැප්තැම්බර් 18 වැනිදා කොහුවල සරණංකර පාරේ ආපණ ශාලාවකට කඩා වැදුණු පුද්ගලයෙක් එහි හිමිකරුට වෙඩි තබා ඝාතනය කර පලා යන්නේ දෙනෝදාහක් බලා සිටියදීය.
මෙලෙස ඝාතනය කෙරෙන්නේ අදාළ ආපණ ශාලාවේ හිමිකරුවා වන හතළිස් තුන් හැවිරිදි ‘නායගම් විශ්වඥානම්’ නමැති ව්‍යාපාරිකයෙකි. ඔහු දෙහිවල, නැදිමාල, කඩවත පාරේ පදිංචිකරුවෙකි.
කොහුවල පොලිසිය, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ එහි බුද්ධි නිලධාරින් සහ පොලිස් බුද්ධි නිලධාරින් මේ ඝාතනය පිළිබඳව සහ ඊට සම්බන්ධ පුද්ගලයන් කවුදැයි ඉතා රහසිගතව සොයා බලද්දී බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධරයන් ද ඒ පිළිබඳව දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
සී.සි.ටී.වී. කැමරා දර්ශනද විමර්ශනයට ලක්කරමින් සහ දුරකතන දත්ත වාර්තාද විශ්ලේෂණය කරමින් මේ ඝාතනය ගැන පැති කිහිපයකින්ම විමර්ශන සිදු කරමින් තිබියදී විශ්වඥානම් ඝාතනය කළ දිනට දින දෙකකට පමණ පසු කළුබෝවිල, කඩවත පාරේ පදිංචිකරුවකු වන හතළිස් හය හැවිරිදි ‘අනුර කොස්තා’ද වෙඩි තබා ඝාතනය කරනු ලැබිණි. ‘අනුර කොස්තා’ නගර සභා සේවකයකු වන අතර, ඔහු ඝාතනය කරනු ලැබුවේ මෝටර් බයිසිකලයක ගමන් කරමින් සිටියදීය.
‘අනුර කොස්තා’ ඝාතනය ගැනත් පෙර සේම පැති ගණනාවකින් විමර්ශන ආරම්භ වෙද්දී මේ ගැන විමර්ශනයක් සිදු කරමින් සිටි බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධරයන් කණ්ඩායමකට වැදගත් තොරතුරක් ලැබිණි. ඒ ඝාතන සැකකරු සම්බන්ධවය.
එම පුද්ගලයා ගැන දීර්ඝ විමර්ශනයක් සිදු කළ පොලිස් කණ්ඩායම ඔහු නිත්‍ය වශයෙන්ම සිටින ස්ථානය සොයා ගන්නේ ඉතාම සූක්ෂ්මවය. ඒ අනුව පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගන්නේ වැලිකඩ බන්ධනාගාරය අසල රැඳී සිටියදීය.
සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ පොලිස් කණ්ඩායම හෙළිකර ගන්නේ මේ පුද්ගලයා ව්‍යාපාරික ‘නායගම් විශ්වඥානම්’ සහ නගර සභා සේවක ‘අනුර කොස්තා’ ඝාතනයට කෙළින්ම සම්බන්ධ බවටය. ඔවුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කරන පොලිස් කණ්ඩායම අනාවරණය කරගත් තොරතුරුවලට අනුව හෝමාගම, බ්‍රාහ්මණගම සැකකරු නැවතී සිටි නිවෙසේ සඟවන ලද ගල්කටස් පිස්තෝලයක් සහ බෝර 12 ජීව උණ්ඩයක් සොයා ගැනිණි. ඝාතන දෙකටම මේ ගල්කටස් පිස්තෝලය යොදා ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
සැකකරු මේ ඝාතන සිදු කර ඇත්තේ දැනට විදේශයක සිටින ‘කොස් මල්ලි’ නමැති අපරාධකරු විසින් දුන් කොන්ත්‍රාත්තුවක් මත බවට සැක කළ හැකි තොරතුරු පොලිසිය මේ වන විට සොයාගෙන ඇත. කොස්මල්ලී ඒ සඳහා රුපියල් ලක්ෂ 30ක් සැකකරුට ගෙවීමට පොරොන්දු වී ඇතත් ඔහුට ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ 11 ක් පමණකි.
මේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදී පුද්ගලයන් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙලෙස අත්අඩංගුවට ගත් කුලී ඝාතක සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී හෙළි වී ඇත්තේ ඔහු මීට පෙර බස් රියැදුරකු ලෙස කටයුතු කර ඇති බවය. තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා ඔහු පසුව රියැදුරු රස්සාවට ආයුබෝවන් කියා බස් කොන්දොස්තරවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී මෙලෙස පාතාල කල්ලි සාමාජිකයන් ඇසුරු කර කුලී ඝාතකයකු ලෙස සම්බන්ධවී ඇති බවද අනාවරණය විය.
සැකකරු උඩවලව කොලඹගේආර තරමිටියාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ වයස අවුරුදු 29 කි.
බස්නාහිර පළාත් දකුණු අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාරගේගේ උපදෙස් මත සැරයන් 70471 තෙන්නකෝන්, කොස්තාපල්වරුන් වන 76495 ක්‍රිෂාන්ත, 82111 කුමාර යන නිලධාරින් වැඩිදුර විමර්ශන පවත්වති.
ඡායාරූප: බණ්ඩාරගම – බිමල් ජයසිංහ
දීපාල් සමරසේකර