Home » අඹුසැමියන්ට මරු කැඳවූ කුණු රෙදි ටෙන්ඩරය

අඹුසැමියන්ට මරු කැඳවූ කුණු රෙදි ටෙන්ඩරය

by thanushika
November 16, 2024 12:30 am 0 comment

“පේදුරුතුඩුව ඉස්පිරිතාලේ රෙදි හෝදන ටෙන්ඩරේ ගන්න මම වාර කීපයක්ම උත්සහ කළා. ඒත් ඒ හැම වෙලාවෙම ඒක ලැබුණේ සුබ්‍රමනියම්ටයි. මම මේ අවුරුද්දේ ටෙන්ඩර් කරන ලොක්කන්ට කිව්වා මටත් සුබ්‍රමනියම්ටත් ඒ ටෙන්ඩර් එක දෙකට බෙදලා දෙන්න කියලා. මොකද මම ජීවත්වෙන්නෙත් රෙදි හෝදන ‘ඩෝබි රස්සාව’ කරලා. සුබ්‍රමනියම් ජීවත්වෙන්නෙත් ඒ රස්සාවෙන්මයි. ඒත් මට වඩා එයාගේ ආදායම වැඩියි. ඒ වෙලාවේ ටෙන්ඩර් මණ්ඩලෙන් කිව්වේ ඒක අපිට කරන්න බැහැ. සුබ්‍රමනියම් කැමතිනම් එයාගෙන් භාගයක් ඉල්ල ගන්න පුළුවන් කියලයි. මම එයත් එක්ක වාර කීපයක්ම මේ ගැන කතා කළා. ඒත් එයාවත් එයාගේ නෝනාවත් ඒකට කැමති වුණේ නෑ. ඉතින් මට ලබන අවුරුද්දෙවත් මේ ටෙන්ඩරේ ගන්න ඕනේ හන්දා තමයි මම යාළුවොත් එක්ක එකතු වෙලා මේ දේ කළේ.”

යාපනයේ කාර්කෝවලම් පුනිතනගර් ප්‍රදේශයේ පුද්ගලයෙකු පේදුරුතුඩුව පොලිසියට පාපෝච්චාරණයක් කරමින් එසේ ප්‍රකාශ කළත් අඹුසැමි යුවළක් ඝාතනය සම්බන්ධයෙන් වූ පොලිස් පරීක්ෂණ තවමත් හමාර වී නොමැත.

යාපනය පේදුරුතුඩුව පොලිස් වසමේ කාර්කෝවලම් පුනිතනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි මානික්කම් සුබ්‍රමනියම් පේදුරුතුඩුව රෝහලේ මෙන්ම තවත් ස්ථාන කීපයක කිළිටි රෙදි සේදීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන සිටින අයෙකි. ඔහුගේ බිරිය වන 51 හැවිරිදි මේරී රීටාගෙන් මේ කාර්යට ලැබුණු සහාය කිසි විටකත් සුළුපටු නොවූ නිසා සුබ්‍රමනියම්ගේ ‘රෙදි සේදීමේ කලාව’ අමුතුම ආකාරයක එකක් විය. වැඩේ “නීට්” එකටම සිදු කිරීමට දෙදෙනාම ගත් උත්සාහය නිසා ඔවුන්ට සේදීම පිණිස ලැබෙන රෙදි තොග දිනෙන් දිනම වැඩි විය.

මිනිසුන්ගේ ඊර්ෂ්‍යාව මහමෙරටත් වඩා කීවා සේ එම ගම්මානයේම තවත් රෙදි සෝදන පුද්ගලයෙකු සුබ්‍රමනියම්ගේ මේ ව්‍යාපාරය තමා සතු කරගැනීමට මාන බැලීය. කෙසේවත් ඊට ඉඩක් නැති තැන ඔහු සිය මිතුරන් දෙදෙනෙකු සමඟ මත්පැන් පානය කළ අවස්ථාවක ඔවුන්ට මේ කතාව කියා සිටියේ ඔවුන්ගෙන් හොඳ උපදෙසක් ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.

‘පාප මිතුරන්ගේ’ එකම උපදෙස වූයේ සුබ්‍රමනියම්ව මරා ඒ ව්‍යාපාරය ඔහු සතු කරගන්නා ලෙසයි. ඊට මිතුරන් දෙදෙනාගේ උදව්වද නොමසුරුව ලැබෙන බව ප්‍රකාශ වීම නිසා සැකකරුට ඒ සම්බන්ධයෙන් වූ චකිතය ඉබේටම පහව ගියේය.

සුබ්‍රමනියම්ව මරා දැමීමට යොදාගත්තේ සිද්ධිය වූ දිනයේ අලුයම් කාලයයි. තුන්දෙනාම නිවසට පැමිණ බලන විට යාන්තම් ඇට වූ දොරෙන් ඔවුන්ට දැකගත හැකි වූයේ සුබ්‍රමනියම් සහ ඔහුගේ බිරිය එක ළඟම වැතිරී තද නින්දේ සිටින බවය. හෙමින් සීරුවේ දොර ඇර ගත් මේ පාපතරයෝ විශාල කොන්ක්‍රීට් ගල් ගෙඩියක් සොයාගෙන එය සුබ්‍රමනියම්ගේ හිස මතට පතිත කළේය. සෙස්සෝ ද එසේම කරද්දී සුබ්‍රමනියම්ගේ විලාපයට බිරිය අවදි වී කෑකෝ ගැසුවාය. ඇය මේ අපරාධකරුවන් ඉතා හොඳින් දන්නා නිසා ඔවුන්ව හඳුනාගනු ඇතැයි යන බිය මත සුබ්‍රමනියම් යැවූ ‘ලෝකයටම’ ඔහුගේ බිරිය ද යවා අපරාධකරුවෝ පලා ගියහ.

උදෑසනින්ම කිලිටි රෙදි රැගෙන යාමට පැමිණෙන සුබ්‍රමනියම් එදා උදෑසන අට නවය පසු වනතුරුත් රෝහලට නොපැමිණීම නිසා රෝහලේ බලධාරීන් ඔහුගේ දුරකතනයටත් බිරියගේ දුරකතනයටත් මාරුවෙන් මාරුවට ඇමතුම් ලබා ගත්හ. නමුත් ඒ එකකටවත් පිළිතුරු නොමැති නිසා රෝහල් සේවකයෙකු සිදුව ඇති දේ විපරම් කොට බැලීමට සුබ්‍රමනියම්ගේ නිවසට පිටත්කොට යැවීය.

රෝහල් සේවකයා නිවසට පැමිණ දුටු දෙයින් දැඩි ලෙස කලබලවී වහාම ඒ බව රෝහලේ වගකිව යුතු නිලධාරීන්ට දැන්වූහ. ඒ නිලධාරීන් වහාම සිද්ධිය ගැන පේදුරුතුඩුව පොලිසියට දැනුම් දී පොලිසිය සමඟ සුබ්‍රමනියම්ගේ නිවසට පැමිණියහ.

පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂණයක් පවත්වා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කරන ලදි.

යාපනය රෝහලට රැගෙන ගිය මළසිරුරු දෙක පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරි සඳහන් කෙළේ මරණයට හේතුව මොට ආයුධයකින් හිසට හා පපුවට තදබල ලෙස පහර එල්ල වීම නිසා අධික ලෙස රුධිරය වහනය වීමෙන් මරණ සිදුව ඇති බවය. අවසානයේ ලියැවුණේ මෙය ද්විත්ව ඝාතනයක් ලෙසිනි.

පේදුරුතුඩුව පොලිසියේ නිලධාරීන් ඉතා සූක්ෂ­්මව එම පළාතේ මීට පෙර සිදු වූ මිනිමැරුම් ගැන ඉතිහාසය විමසූහ. එවිට නිලධාරීන්ට පසක් වූයේ මිනීමැරුමකට වරදකරුවකු වී සිටින හා සිය මව මරා දැමීමට තැත් කිරීම මත යාපනය අධිකරණයේ නඩු දෙකක් විභාග වන පුද්ගලයෙකු පිළිබදවය. ඔහු ද රෙදි සෝදන්නෙකු බව මතක් වීමත් සමඟම සූක්ෂ්ම ලෙස නිලධාරීන් පිරිසක් යොදවා ඔහුගේ හැසිරීම් සහ ඉරියව් පරීක්ෂා කර බලා ඔහු අත්අඩංගුවට ගන්නේ දින කීපයක් ඇතුළතදීය.

ඔහුගෙන් යම් තොරතුරු ලැබෙද්දී ඒ ඔස්සේ ගිය පොලිස් නිලධාරීන්ට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඔහු බොහෝ දේ හෙළි කරද්දී මේ ද්විත්ව ඝාතනයට පුද්ගලයන් තුන්දෙනෙකු හවුල් බවත් අත්අඩංගුවට පත්ව සිටින දෙදෙනාගෙන් එක් අයෙකු මෙම අපරාධයේ ප්‍රධානියා බවත් පොලිසියට වැටහුණි.

පේදුරුතුඩුව පොලිසිය තුන්වැනි සැකකරු අත්අඩංගුවට ගැනීමට ‘දැලක් එලා’ තිබියදීම ඉතිරි සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම ද සිදු කරගෙන යයි.

ද්විත්ව ඝාතනය පිළිබදව ඇසින් දුටු සාක්කි නැතත් විද්‍යාත්මක සාක්කි සහ පාපෝච්චාරණ ඔස්සේ සැකකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරෙනු ඇත.

රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division