මව්පියන්ට තම දූ දරුවන් ඇස් දෙක වාගේ යැයි කීවොත් වැරදි නැත. අම්මා තාත්තාගේ සෙනෙහස එතරම්ය. තමන්ගේ දරුවා හොඳින් අධ්‍යාපනය ලබා සමාජයේ ගුණගරුක අයකු ලෙස ජීවත්වනු දැකීම ඕනෑම මවකගේ පියකුගේ අරමුණයි. එහෙම අම්මලා තාත්තලා සිටියද තමන්ගේ දූ දරුවන් වැඩිපුර වරදට නරකට පොළඹවන දරුවන් විකුණන අම්මලා තාත්තලාද නැත්තේම නැත.
තමන්ගේම දියණියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සලෙළුන්ට විකුණූ මවක් ගැන උතුරු පළාතේ පොලිස් ස්ථානයකින් වාර්තා වූයේ පසුගිය දිනකය. පසුව හෙළි වූයේ මේ තරුණ මවද ගණිකාවක බවයි.
තම ළාබාල පුතු කොළඹ රිජ්වේ ළමා රෝහල ඇතුළට යවා එහි රෝගී ළමයින් බැලීමට පැමිණෙන අයගේ ජංගම දුරකතන සොරකම් කර වූ මවක් බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගියදාය.
මෙලෙස තම දරුවන් සොරකමට, වංචාවට, කොල්ලකෑම්වලට සහ ගණිකා වෘත්තියේ යොදවන ලද මව්වරු පියවරු ගැන පුවත් ගණනාවක් පසුගිය කාලයේදී මාධ්‍ය මඟින් හෙළි කැරිණි.
බණ්ඩාරගම පොලිසියෙන් පසුගියදා වාර්තා වූ මේ කතාවද එවැන්නකි.
ආරක්ෂක අංශයක උසස් නිලයක් හොබවන නිලධරයෙකුගේ තරුණ රියැදුරු පසුගිය දිනෙක එම නිලධරයාගේ නිල රථයට ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණෙන්නේ බණ්ඩාරගම ප්‍රදේශයේ ඉන්ධන හලක් වෙතය.
අදාළ වාහනයට ඉන්ධන ලබාගත් තරුණ රියැදුරු එය ධාවනය කරගෙන ඉන්ධන හලෙන් පිටතට යද්දී ඔහුගේ නෙත ගැටෙන්නේ ඉන්ධන හලට නුදුරින් මහමඟ අයිනේ සිටින ළාබාල යුවතියකි. දෙදෙනාගේ නෙත් ගැටෙද්දී තරුණ රියදුරාට ඇය කෙරෙහි ක්ෂණිකව ඇතිවන්නේ ආදරයකි.
වාහනය නැවතු තරුණ රියැදුරා ළාබාල යුවතිය සමඟ වචනයක් දෙකක් කතා කළත් යුවතිය රියැදුරුට පිළිතුරු දෙන්නේ ලැඡ්ජාවෙනි. කෙසේ වෙතත් ළාබාල යුවතියගේ ජංගම දුරකතන අංකය තමන් සටහන්කර ගැනීමට රියැදුරාට හැකිවන්නේ තවත් ටික වේලාවකිනි.
ළාබාල යුවතියගේ ජංගම දුරකතන අංකයට මේ තරුණ රියැදුරා කෙටි පණිවිඩයක් යොමු කරන්නේ ඉන් දින කිහිපයකට පසුවය. ළාබාල යුවතියද ඊට ප්‍රතිචාර දැක්වූවාය. දෙදෙනා අතර කෙටි පණිවිඩ කිහිපයක් මෙලෙස හුවමාරු විය.
බණ්ඩාරගමදී හමු වූ මේ හුරුබුහුටි යුවතිය නැවත වරක් දැකගැනීමට තරුණ රියැදුරාගේ සිතේ තිබුණේ නොඉවසිල්ලකි. ඒ සඳහා තමන් කුමක් කරම්දැයි කල්පනා කළ රියැදුරා තමන්ගේ අදහස පවසා ළාබාල යුවතියගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් යැව්වාය.
රියැදුරුගේ එම කෙටි පණිවුඩය කියැවූ ළාබාල යුවතිය රියැදුරුගේ එම ‘යෝජනාවට’ කැමති වූවාය. ඇය ඒ බව දන්වා රියැදුරුට කෙටි පණිවුඩයක් යැව්වාය. තරුණ රියැදුරුගේ හිසේ මලක් පිපුණාක් වැනිය. ‘බණ්ඩාරගම ආටිගල මංසන්ධියට එන්න‘ යැයි කියා රියැදුරා යුවතියට කෙටි පණිවුඩයක් යවන්නේ ඒ අනුවය. රියැදුරු එහි යන්නේ ත්‍රිරෝද රථයකිනි. යුවතියද එහි පැමිණ සිටියාය. යුවතියද කැඳවාගෙන හුදකලා ස්ථානයකට ගොස් කතාබහ කිරීම සුදුසු බව සිතාගත් තරුණ රියැදුරු ඇයට ඒ බව පැවසුවේය. යුවතියගේද එකඟතාව ඒ සඳහා පල විය. ත්‍රිරෝද රථය පණ ගැන්විණි. යුවතියද දැන් එය ඇතුළේය. තරුණ රියැදුරා පැදවූ ත්‍රිරෝද රථය ඉන් අනතුරුව ධාවනය වන්නේ කොතලාවල උයන්වත්ත වැව අසබඩටය.
යුවතියද කැටුව වැව අසලට පැමිණි රියැදුරු ඇය සමඟ කතාබහ කරමින් සිටියදී රියැදුරා මුහුණ පාන්නේ ලොකු කරදරයකටය.
වැව අසලට එක්වරම කඩා වදින යුවතියගේ මව සහ තවත් පිරිසක් තරුණ රියැදුරුට හොඳටම පහර දෙන්නේ අනතුරුවය. මේ අයගෙන් ගැලවීමට රියැදුරු උත්සාහ කළත් එය නොහැකි විය. රියැදුරු සතු ජංගම දුරකතනය සහ මුදල් පසුම්බියද පැහැරගත් කණ්ඩායම යුවතියද රැගෙන එතැනින් පලා යන්නේ මිනිත්තු කීපයක් ඇතුළතදීය.
‘වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුණාක්’ මෙන් සිද්ධියට මුහුණපෑ තරුණ රියැදුරු බණ්ඩාරගම පොලිසියට ගොස් පැමිණිලි කරන්නේ ඉන් අනතුරුවය.
පොලිස් පොතේ පැමිණිල්ල සටහන් විය. බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් ජයලාල් ඇතුළු කණ්ඩායමක් මේ ගැන විමර්ශන ආරම්භ කරන්නේ පැමිණිලිකරුගෙන් ද ඒ සඳහා තොරතුරු ලබාගන්නා අතරේදීය.
දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව දින කීපයක් ඇතුළතදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.
මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද්දේ ළාබාල තරුණිය, ඇගේ මව, මවගේ අනියම් පුරුෂයා, කරණවැමියකු සහ විදේශගතව සිට මෑතකදී මෙරටට ආ අයෙකි.
මේ කල්ලියෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී හෙළිවන්නේ ළාබාල යුවතියගේ මව මෙලෙස සිය දියණිය ‘ඇමක්’ ලෙස පාවිච්චි කර පුද්ගලයන් සතු මිල මුදල් කොල්ලකෑම සංවිධානාත්මක ලෙස කාලයක් තිස්සේ සිදු කරගෙන ගොස් ඇති බවය. දියණිය විවිධ පුද්ගලයන් සමඟ ඇසුරට යොමුකර පසුව ඔවුන් බිය ගන්වා ඔවුන් සතු මිල මුදල් ජංගම දුරකතන පැහැර ගැනීමට මේ කත සම්බන්ධ බවට තොරතුරු හෙළි විය.
මේ සැකකාරියගේ වංචනික ක්‍රියාවට හසු වූ සමහරු ලැඡ්ඡාව නිසා පොලිසියට පැමිණිලි කර නැති බවද හෙළි විය.
බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාරද සිල්වාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් ජයලාල් ඇතුළු කණ්ඩායම වැඩිදුර විමර්ශන සිදු කරයි.
දීපාල් සමරසේකර