පාසල් සිසු සිසුවියන් ඉලක්ක කරගෙන මත්ද්‍රවය ජාවාරම් සිදු කරන කල්ලි කණ්ඩායම් මෙන්ම පාසල් සිසුන් ‘ඇමක්’ ලෙස යොදාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන පුද්ගලයන් ගැන ද පසුගිය කාලයේ දිගින් දිගටම අසන්නට ලැබිණි.
‘පවුර’ ලෙස වැඩසටහනක් පොලීසිය පසුගිය දිනවල ක්‍රියාත්මක කළේ ද පාසල් ආශ්‍රිතව සිදුවන සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අලෙවිය වැටලීම සඳහා ය. සමහර පාසල් ආසන්නයේ පවත්වාගෙන යන වෙළෙඳසල්වලින් පාසල් සිසු සිසුවියන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය, මත්කරල්, පෙති, බාබුල්, මත් පුවක් ආදිය අලෙවි කරන බව සොයාගත් පොලීසිය එවැනි ස්ථාන ගණනාවක් වටලා මත්පෙති, මත්කරල් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය වර්ග ගණනාවක් පසුගිය කාලයේ අත්අඩංගුවට ගෙන තිබිණි.
පොලිස් මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක වුවද ජාවාරම්කරුවන් ඉතා සූක්ෂමව පාසල් සිසුන් ඉලක්ක කරගෙන සිය ජාවාරම් සිදුකරගෙන යන අයුරක් දක්නට ලැබිණි. පසුගිය දිනෙක වැලිමඩ පොලීසිය කළ විමර්ශනයකදී පාසල් සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබුණේ ගංජා සමඟය. අන්තර්ජාලයෙන් හඳුනාගත් පුද්ගලයකු බොහෝ දුර බැහැර සිට මේ ළමයින්ට ගංජා එවා තිබුණ අතර ළමුන් තවත් ළමයින්ට ඒවා මුදලට අලෙවි කරද්දී පොලීසියට ලැබුණු තොරතුරු මත අත්අඩංගුවට ගැනිණි.
මේ අතර පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකරගෙන ගිය උසස් පෙළ සිසුවකු සහ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන සිසුවකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධරයන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගියදාය. මේ දෙදෙනා සතුව තිබියදී රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමින් යුත් ‘හැෂ්’ මත්ද්‍රව්‍ය සොයා ගැනිණි.
එලෙස අත්අඩංගුවට ගත් උසස් පෙළ සිසුවා මොරටුවේ අයෙකි. ඔහු උසස් පෙළ විභාගයට සූදානමින් සිටි සිසුවෙකි. වයස අවුරුදු 19කි. සෙසු සිසුවාගේ වයස අවුරුදු 24කි. පදිංචිය ගල්කිස්ස කල්දෙමුල්ල ප්‍රදේශයේය. ඔහු පෞද්ගලික විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්ෂණය හදාරන එහි අවසන් වසරේ සිසුවෙකි. වයස 19 සිසුවා සතුව තිබියදී අත්අඩංගුවට ගන්නා ලද හැෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2790කි.
සිසුන් දෙදෙනෙක් ගල්කිස්සේදී තවත් සිසුන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට පාණදුර, වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධරයන්ට ලැබුණ තොරතුරු මත වැටලීම සිදු කෙරිණි. ගල්කිස්ස පොලිස් වසමේ කල්දෙමුල්ල ධර්මාරාම පාරේදී අත්අඩංගුවට ගන්නා ලද පෞද්ගලික විශ්වවිද්‍යාල ශිෂ්‍යයා සතුව තිබී සොයා ගන්නා ලද හැෂ් මත්ද්‍රව්‍ය ප්‍රමාණය මිලිග්‍රෑම් 32970කි.
මේ දෙදෙනා එක්ව වසරක පමණ කාලයක් මේ ජාවාරම සිදුකරගෙන යන්නට ඇති බව විමර්ශන නිලධරයෝ සැක පහළ කරති. කිසියම් ජාවාරම්කරුවෙක් මේ සිසුන් දෙදෙනාට හැෂ් මත්ද්‍රව්‍ය අලෙවිය පිණිස ලබාදෙන්නට ඇතැයි පොලීසිය සැක කරයි. සිසුන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය සමඟ ගල්කිස්ස පොලීසිය වෙත ඉදිරිපත් කර තිබිණි.
කඳාන පොලීසියේ නිලධාරින් එම පොලිස්බල ප්‍රදේශයට අයත් කොස්පැලෑන ප්‍රදේශයේ නිවෙසක් පසුගියදා වටලන්නේ ද ළමයින් සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ ලැබුණ හෝඩුවාවක් අනුවය.
කඳාන පොලීසියේ උප පොලිස් පරීක්ෂක සුදේශ් ප්‍රියන්තට ලැබුණ තොරතුරක් මත මේ වැටලීම සිදු කෙරිණි. කොස්පැලෑනේ අදාළ නිවෙසේදී මත්ද්‍රව්‍ය පානය කර මත්වී සිටි ගැහැනු ළමයින් දෙදෙනෙකු සහ පිරිමි ළමයින් තිදෙනෙකු පොලීසිය සොයා ගන්නේ ඒ අනුවය. එහි කාමරයක් ඇතුළේ මේ ළමයින් මත්ද්‍රව්‍ය පානය කරමින් සිට ඇති බවද හෙළි විය. මේ බාල වයස්කරුවන් පස්දෙනාම අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බව විමර්ශනවලදී හෙළි විය.
මේ ළමයින් අතර සිටි 16 හැවිරිදි සිසුවිය අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියාය. ඇය උතුරු බටගම නිවෙසක සිය ආච්චි සමඟ ජීවත්වන්නීය. මේ සිසුවිය මීට පෙර ද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලබා පුනරුත්ථාපනය වී සිටියාය. කොස්පැලෑන නිවෙසේදී අත්අඩංගුවට ගන්නා ලද 17 හැවිරිදි සිසුවිය කිරිබත්ගොඩ, මාකොළ ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය ද අයිස් මත්ද්‍රව්‍ය පානයට තදින්ම ඇබ්බැහිවී සිටින්නීය. ඇගේ මව්පියන් විදේශගතව සිටින බවද හෙළි විය.
කොස්පැලෑන නිවෙසේදී අත්අඩංගුවට ගැනුණු බාල වයස්කාර පිරිමි ළමයින් තිදෙනා රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෝය. එම තිදෙනා ද මීට පෙර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ අය බවද හෙළි විය. මේ ළමයින්ගේ ඥාතීන් භාරකරුවන් සහ මව්පියන් පොලීසියෙන් ඉල්ලා ඇත්තේ තම දරුවන් මත්ද්‍රව්‍යවලින් ගලවා දෙන ලෙසය. අදාළ ළමුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් භාරයට පත්කර ඇත.
මේ අතර පාණදුර ප්‍රදේශයේ පාසලකට මත්ද්‍රව්‍ය ගෙනැවිත් ඒවා අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කළ බවට සැක කරන 16 හැවිරිදි සිසුවකු එහි ශිෂ්‍ය නායකයන්ගේ මැදිහත් වීම නිසා අත්අඩංගුවට ගැනීමට පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධරයන්ට හැකිවූයේ ද පසුගියදාය. අනතුරුව සිදු කරන ලද විමර්ශනයේදී මේ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය. අත්අඩංගුවට ගනු ලැබූ සිසුවා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් සහ රුපියල් 8,000ක් සොයා ගැනිණි.
අදාළ විදුහලේ විදුහල්පතිවරයාගේ නියෝගය පරිදි විදුහලට ඇතුළු වන සියලු සිසුන්ගේ පොත් බෑග් පරික්ෂා කෙරෙන්නේ එම විදුහලේ ශිෂ්‍ය නායකයන් විසිනි. එලෙස සිදු කළ පරික්ෂාවේදී මේ 16 හැවිරිදි සිසුවාගේ පොත් බෑගයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුව සහ රුපියල් 8000 හමුවී තිබිණි.
ශිෂ්‍ය නායකයෝ ඒ සම්බන්ධයෙන් විදුහල්පතිතුමා දැනුම්වත් කළහ. ඉන් අනතුරුව ඒ පිළිබඳ පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායකට පැමිණිලි කෙරිණි. විමර්ශන සිදු කෙළේ පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟිනි.
කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් මේ සිසුවාගෙන් ප්‍රශ්න කළේ සිසුවාට මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය ගැනයි. එහිදී සිසුවා හෙළි කරන්නේ හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු තමාට අයිස් මත්ද්‍රව්‍ය ලබාදෙන බවයි. ඒ අනුව සැකකාර 24 හැවිරිදි ජාවාරම්කරු හොරණ වවුළුගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණි.
එහිදී හෙළි වන්නේ මේ ජාවාරම්කරු අදාළ පාසල් සිසුවා මුලින්ම අයිස් මත්ද්‍රව්‍ය සඳහා යොමුකර ඔහු මාර්ගයෙන් ඒවා විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීමට ලබා දීමයි. ඊට කුලිය වශයෙන් මේ ජාවාරම්කරු සිසුවාට මත්ද්‍රව්‍ය පැකට් ලබා දී ඇති බවද හෙළි විය. එලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර සිසුවා තවත් සිසුන් මත්ද්‍රව්‍ය සඳහා හුරු කර ඇද්ද යන්න සෙවීම පිණිස විමර්ශන පැවැත්වෙයි.
දීපාල් සමරසේකර