Home » තමන් මෙරටට සුරක්ෂිතව ගෙන ආ ගුවන් යානයේ නියමුවාට ගෘහ සේවිකාව දුන් ‘තෑග්ග’

තමන් මෙරටට සුරක්ෂිතව ගෙන ආ ගුවන් යානයේ නියමුවාට ගෘහ සේවිකාව දුන් ‘තෑග්ග’

by sachintha
November 23, 2024 12:30 am 0 comment

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තවත් ප්‍රධාන ගුවන්තොටුපොළක් වන අබුඩාබි නුවර සිට ඉකුත් 29 දා දින අලුයම ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ බලා පිටත් වී තිබුණි. මෙම ගුවන් යානයේ සිටි මගීන් වැඩි පිරිසක් එරට ගෘහ සේවයේ නිරත වී සිටි කාන්තාවන් වීම විශේෂත්වයක් විය.

ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ඇතුළු කාර්ය මණ්ඩලය 10 දෙනෙකු සිටි අතර ඔවුන් යුහුසුලුව සිය කාර්යභාරයන් ඉටු කරමින් සිටියහ. යානය ඉකුත් 29 දින උදෑසන 08.38 ට කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බස්සවන ලදි. ඒ අතර එහි පැමිණි ගුවන් මගීන් කඩිනමින් යානයෙන් බැස යමින් සිටියහ.

සියලුම ගුවන් මගීන් බැස ගිය පසුව ගුවන් යානයේ නියමුවා ඇතුළු කාර්ය මණ්ඩලය ද ගුවන් යානයෙන් බැස යාමට පියවර ගෙන තිබුණේ ඔවුන් නවාතැන් ගන්නා හෝටලය වෙත යාමේ අදහසිනි. ගුවන් යානා කාර්ය මණ්ඩලය සිය ගමන්මලු ගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පර්යන්ත ගොඩනැඟිල්ලේ ගමන් මලු පථය වෙත පැමිණියහ. එහිදී ගුවන් නියමුවාගේ හැර අනෙකුත් සියලුම ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ගමන් මලු එම පථය තුළින් සොයා ගැනීමට ඔවුන්ට හැකි විය.

තවත් මඳ වේලාවක් එම ගමන් මලු පථය අසල රැඳී සිටිමින් තම ගමන් මල්ල පිළිබඳ සොයා බැලූ ගුවන් නියමුවා මහත් අසීරුවට පත් වී සිටියේ ඔහුගේ සියලුම ඇඳුම් පැළඳුම් මෙන්ම පසු දිනක ආපසු කටුනායක සිට අබුඩාබි දක්වා ගුවන් ගමනෙහි නිරත වීමට අවශ්‍ය ඇඳුම් පැලඳුම් එම බෑගය තුළ තිබීම නිසාය.

මෙම ගුවන් නියමුවා 40 හැවිරිදි කොළොම්බියානු ජාතිකයෙකි. ඔහුගේ ඇතුළු මෙම ගුවන් යානා කාර්ය මණ්ඩලයෙහි ගමන් මලු මත ඉටිහාඩ් ගුවන් සේවා කාර්ය මණ්ඩලය ලෙස සඳහන් වැකියක් ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කර තිබුණි. මෙම ගමන් මලු සියල්ලම ඉටිහාඩ් ගුවන් සේවය මඟින් මොවුන් වෙත ලබා දී තිබුණි.

අවසාන ගමන් මල්ල ද මෙම ගමන් මලු පථයෙන් රැගෙන ගොස් තිබූ බැවින් තවදුරටත් මෙම ගමන් මලු පථය අසල රැඳී සිටීමෙන් පලක් නොමැති බව ගුවන් නියමුවාට තේරුම් ගියේය. අනතුරුව ගුවන් නියමුවා අනෙකුත් කාර්ය මණ්ඩලය ද දැඩි වෙහෙසකර තත්ත්වයකින් පසු වන නිසා තම ගමන් මල්ල නැති වීම පිළිබඳව කටුනායක ගුවන්තොටුපොළ ඉටිහාඩ් ගුවන් සේවයේ කළමනාකාර රොෂානි මාසකෝරාළ වෙත දැනුම් දීමට පියවර ගත්තේය.

සාමාන්‍යයෙන් මේ ආකාරයට ගුවන් නියමුවෙකුගේ ගමන් මල්ලක් අස්ථානගත වීම ලෝකයේ කිසිම ගුවන්තොටුපොළක ලෙහෙසියෙන් සිදුවන දෙයක් නොවේ. ගුවන් යානා කාර්ය මණ්ඩලය සතු ගමන් මලු අනෙකුත් ගුවන් මගීන්ගේ ගමන් මලු වෙතින් පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වීම එයට ප්‍රධාන හේතුවකි.

මෙම සිදුවීම දැනගත් සැණින් ගුවන්තොටුපොළ කළමනාකාරවරිය වහාම ඒ පිළිබඳ ගුවන්තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් දැනුම්වත් කළාය. ඔවුන් මේ පිළිබඳ ගුවන්තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීම සඳහා ද පියවර ගත්හ.

ඒ අනුව ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන්තොටුපොළ කළමනාකාරවරිය සමඟ ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් ගුවන් තොටුපොළ කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීම ආරම්භ කෙරිණි. එහිදී පළමුවෙන්ම මෙම ගුවන් යානයෙන් බැස ගන්නා ගෘහ සේවිකාවක ලෙස හඳුනාගත හැකි කාන්තාවක් එම ගමන් බෑගය ගමන් පථයෙන් රැගෙන යන ආකාරය නිරීක්ෂණය කිරීමට හැකි විය.

එම කාන්තාව ගුවන්තොටුපොළ පර්යන්ත ගොඩනැඟිල්ලේ මඳ දුරක් ගොස් එම ගමන් මල්ල ඇගේ ගමන් මලු අතර තබා තල්ලුකර ගෙන යන ට්‍රොලි කරත්තයෙහි වූ අනෙකුත් ගමන් මලු අතර සූක්ෂ්ම ලෙස සඟවා ගන්නා ආකාරයද ඉන් අනතුරුව ඇය වහා ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණ ත්‍රිරෝද රථයකට නැඟී යන ආකාරයත් ගුවන්තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතියෙහි සටහන් වී තිබුණි.

එම දර්ශන නිරීක්ෂණය කළ ඉටිහාඩ් ගුවන් සේවයේ කළමනාකාරවරිය වහාම මේ තොරතුරු කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය වෙත ලබා දීමට පියවර ගත්තාය.

ඒ අනුව සැණෙකින් ක්‍රියාත්මක වූ කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේප් ඇතුළු නිලධාරීන් පිරිස ගුවන්තොටුපොළ ඉදිරිපිට ඇති ත්‍රිරෝද රථ ගාල වෙත පැමිණ අදාළ ත්‍රිරෝද රථය සොයා ගැනීමට සමත් වී තිබුණි. එහි රියැදුරුගෙන් ලබාගත් තොරතුරු ඇසුරෙන්, පොලිස් නිලධරයෝ වත්තල, හුණුපිටිය ප්‍රදේශය බලා පිටත්වන්නේ විනාඩි කීපයක් ඇතුළතදීය.

එහිදී අදාළ නිවෙසේ පදිංචි වී සිටි 45 හැවිරිදි ගෘහ සේවිකාවක ඇය සොරා ගත් ගමන් මල්ලත් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. එසේ අත්අඩංගුවට ගත් ගෘහ සේවිකාව කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය වෙත රැගෙන ආ අතර ගුවන් නියමුවා විසින් තම ගමන් මල්ල හඳුනාගන්නා ලදි. ඔහු අසීමිත ලෙස සතුටට පත් වී සිටියේය.

මේ සියලුම කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය ගත කර තිබුණේ පැය තුනකට අඩු කාලයක් වීම විශේෂත්වයකි.

ඉන් පසුව මෙම ගෘහ සේවිකාව ඇය විසින් සොරාගත් ගමන් මල්ල ද සමඟ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය පියවර ගෙන තිබුණි. එහිදී ඇය රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.

මේ ආකාරයට බොහෝ දිනවල මැදපෙරදිග සිට ගෘහ සේවය නිමවා පැමිණෙන කාන්තාවන්ගේ ‘සේසතම’ ඇතුළත් ගමන්මලු සොරා ගැනීම දැන් දැන් කටුනායක ගුවන්තොටුපොළ තුළ සුලබව සිදුවන සිදුවීමක් බවට පත් වෙමින් තිබෙන බව කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය මෙන්ම ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් ද පවසා සිටියහ.

කටුනායක ටී. කේ. ජී. කපිල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division