මෙරට සිදුවන කොල්ලකෑම්වලින් බොහෝමයක් සංවිධානාත්මක කල්ලි විසින් සිදුකරනු ලබන අතර, ඇතැම් ඒවා විදේශයන්හි සිට මෙහෙයවනු ලබන අවස්ථා ද ඇත. එහෙත් එකම පවුලේ අයියා සහ මල්ලි එක්ව සංවිධානාත්මක ලෙස සොරකම් කොල්ලකෑම් සිදුකරන අවස්ථා පිළිබඳ අසා ඇත්නම් එය අතළොස්සක් පමණි. එවන් අපූරු සිදුවීමක් පසුගියදා වාර්තා වූයේ හක්මන ප්‍රදේශයෙනි. පොලිස් විමර්ශනවලට අනුව එම සිදුවීම මෙසේය.
විමල්, හක්මන පොලිස් වසමේ ඕවිටිගමුව ප්‍රදේශයේ දර එකතුකොට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙක් විය. ඔහු මෝටර් රථයක් මිලදී ගත්තේ කලක සිට හිතේ තිබුණු ආශාවක් හැබෑ කරගනිමිනි.
කල්බදු සමාගමකින් වාරික ගෙවීමේ පදනම මත ලබාගත් මෝටර් රථය ආසාවෙන් ධාවනය කළ ද එහි වාරික නිසි ලෙස ගෙවා දැමීම දර විකිණීමෙන් පමණක් සිදුකර ගන්නට නොහැකි වීම හේතුවෙන් ඔහු මුදල් උපයා ගැනීමට වෙනත් මං කල්පනා කරමින් සිටියදී මෝටර් බයිසිකලයක් මිලදී ගැනීමට සිහින මවමින් සිටි තම එක කුස උපන් මල්ලි සිහියට නැඟුණේ ඔහු ද එකතු කරගෙන කූට උපායක් ක්‍රියාත්මක කිරීම තුළින් ලොකු මුදලක් උපයාගන්නට අදහසක් ඇතිවූ බැවිනි.
එලෙස මුදල් උපයා ගැනීම සඳහා සිදු කරන ක්‍රියාවන් පිළිබඳ සහෝදරයා දැනුම්වත් කළ විමල් එය ඉදිරි දිනකදී සිදු කරන්නට එකඟතා මලයා සමඟ ඇති කරගත්තේ කල්යල් බලා ඒ සඳහා හොඳ දිනක් ද යොදා ගනිමිනි. එම සාකච්ඡාවෙන් පසු දාහත් හැවිරිදි (17) මල්ලි විසින් ඔහුගේම වයසේ පසුවන තවත් මිතුරකු ‘මේ වැඩේට’ කතා කර ගත් අතර, ඔහු ද මෝටර් බයිසිකලයක් මිලදී ගැනීමේ ආසාවෙන් සිටීම නිසා වඩාත් පහසු විය.
තම සූක්ෂ්ම උපාය ක්‍රියාත්මක කිරීම සඳහා දින ගණනක සිට ඔත්තු බැලූ විමල් හක්මණ, ගංගොඩගම සුදර්ශනාරාම විහාරස්ථානයට නුදුරින් පිහිටා ඇති සණස සංවර්ධන බැංකුවට රාත්‍රියේ හොරෙන් ඇතුළු වී එහි සේප්පුව කඩා මුදල් පැහැර ගැනීමට සැලසුම් කෙළේ පියවරෙන් පියවරය.
සියල්ල එලෙස සැලසුම් කරගත් විමල් ඉකුත් නොවැම්බර් 08 වැනිදා දහවල් තම සහෝදරයා සහ ඔහුගේ මිතුරා සමඟ එක්ව සැලසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කරමින් එදින රාත්‍රියේ නිශ්චිත ලෙසටම සොරකම සිදුකිරීමට පිරිස කතිකා කර ගත්හ.
රාත්‍රිය එළඹීමත් සමඟ විමල්, ඔහුගේ සහෝදරයා සහ ඔහුගේ මිතුරා මෝටර් බයිසිකල් දෙකක නැඟී අවශ්‍ය ආම්පන්නද රැගෙන බැංකුව පිහිටි ප්‍රදේශයට ගමන් කළ අතර, බැංකු ගොඩනැඟිල්ලට මීටර් 150ක් පමණ දුරින් පන්සල ඉදිරිපිට මාර්ගය යාබද පසෙකට වන්නට මෝටර් බයිසිකල් නතර කරනු ලැබුවේ ඉන් පැමිණි අය පන්සලට යන්නට ඇතැයි අන් අය සිතන සේ සැකයක් ඇති නොවන පරිද්දෙනි.
මාර්ගයේ කෙටි දුරක් ඉදිරියට ගොස් කුඹුරු යායට බැස ඒ ඔස්සේ ගොස් බැංකු ගොඩනැඟිල්ල ඉදිරිපස ඇති ගේට්ටුවෙන් පැන බැංකුව පිහිටි පරිශ්‍රයට ගිය විමල් ඇතුළු පිරිස ගොඩනැඟිල්ලේ වහලයෙන් බැංකුව තුළට ඇතුළු වූහ. ඒ වන විට රාත්‍රී හතට පමණ විය. එම මොහොතේ පටන්ම අලුයම තුන පසුවන තෙක් පැස්සුම් යන්ත්‍රයක්, විදුලි විදුම් යන්ත්‍රයක්, ග්‍රයින්ඩර් යන්ත්‍රයක්, කටර් අඬු සහ කියත් මෙන්ම අඬු මිටි ද භාවිත කරමින් සේප්පුව කැඩීමට දැඩි වෙහෙසක් දැරූ විමල් ඇතුළු තිදෙනා සේප්පුවේ පිටත යකඩ තහඩුව කපා ඉන්පසු ඇති කොන්ක්‍රීට් තට්ටුව ඉතා අපහසුවෙන් කඩා ඉවත් කර නැවත වරක් ඇතුළතින් පිහිටි යකඩ තහඩුව ද කපා දමා සිදුරක් සකස් කරගෙන එහි තිබූ මුදල් එළියට ගැනීමට ක්‍රියා කළ අතර, එම කටයුතු නිම වන විට අලුයම තුන පසුවී තිබිණි.
මේ අතර රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටි හක්මන පොලිසියේ නිලධාරීන් කණ්ඩායම කිසිවකුත් නැති යතුරුපැදි දෙකක් මාර්ගය යාබද නතර කර තිබෙනු දැක ඒ පිළිබඳ සොයා බලා ඒවායේ ඡායාරූප ගෙන එතැනින් නික්ම ගියේ මෝටර් බයිසිකල්වලින් පැමිණි පිරිස පන්සලට යන්නට ඇතැයි සිතාය.
සැක සහිත ලෙස මාර්ගයේ නවතා ඇති රථවාහන හොඳින් බලා එහි කිසිවකුත් නොසිටියේ නම් ඡායාරූපගත කර තබාගන්නා ලෙසට හක්මණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර සිය පොලිස් ස්ථානයේ නිලධරයන්ට ලබාදී තිබූ උපදෙස් මත පොලිස් කණ්ඩායම මෝටර් බයිසිකල් දෙකේ ඡායාරූප ගත්තද ඉන් පසු ප්‍රයෝජනයක් ලැබෙතැයි ඔවුන් සිතුවේ නැත.
හොරකම සිදුවී දින දෙකකට පසු එනම් ඉකුත් නොවැම්බර් 11 වැනිදා සණස බැංකු කාර්ය මණ්ඩලය බැංකුව විවෘත කිරීමෙන් පසු සිදුකර ඇති මුදල් සොරකම දැක වහා ඒ පිළිබඳ හක්මණ පොලිසියට පැමිණිලි කළේය. ඒ වන විට වේලාව පෙරවරු 8.30 පමණ විය.
බැංකුව කඩා රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුත් මුදල් සහ දේපොළ සොරකම් කර ඇති බවට පැමිණිල්ල ලද සැණින් උප පොලිස් පරීක්ෂක ජයසේන, සැරයන්වරුන් වන 40804 ජයසේකර, 75363 සම්පත්, 72962 කුමාර, කොස්තාපල්වරුන් වන 86387 රත්නප්‍රිය, 89414 සම්පත්, 29338 මධුශංක, 96510 දර්ශන, 97648 ප්‍රනාන්දු, 99147 සූරියආරච්චි, කොස්තාපල් රියැදුරු 15401 සංජය යන නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමත් සමඟ එම ස්ථානයට ගිය හක්මන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර සිද්ධිය වූ තැන ස්ථානීය පරීක්ෂණයක් සිදුකරමින් පවත්වන ලද මූලික විමර්ශනය මත හඳුනාගත් තොරතුරු ඔස්සේ විමර්ශනයක් ආරම්භ කෙරිණි. ඒ අතර රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදුණ පොලිස් නිලධාරින් කැඳවා රාත්‍රී සංචාරයේදී ඔවුන් ලබාගත් ඡායාරූප විමර්ශනයට ලක්කරන ලද්දේ විනාඩි කීපයක් ඇතුළතදීය.
එහිදී සණස බැංකුවට නුදුරින් පිහිටි විහාරස්ථානය අසල නවතා තිබූ යතුරු පැදිවල ඡායාරූප නෙත ගැටීමත් සමඟ ඒ පිළිබඳ සැක කළ සනත් කුමාර වහා එම යතුරුපැදි සොයා විමර්ශනයක් ආරම්භ කළේය. එහි ප්‍රතිඵලය ලෙස පැමිණිල්ල ලැබී හෝරා කිහිපයක් තුළ බැංකු මුදල් සොරකමේ ප්‍රධාන සැකකරු වූ විමල් සිය නිවසේදී අත්අඩංගුවට ගත්තේ සොරකම සිදුකරන්නට යොදාගත් මෝටර් බයිසිකලයක් සහ සොරකම් කරන ලද ලැප්ටොප් පරිගණකයක් ද සමඟය.
අත්අඩංගුවට ගත් විසිහත් හැවිරිදි ප්‍රධාන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ තොරතුරු මත දාහත් හැවිරිදි ඔහුගේ සහෝදරයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි.
සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ බැංකුවෙන් සොරකම් කරන ලද මුදල් යොදවා විමල්ගේ මල්ලි විසින් සිය මෝටර් බයිසිකලයේ වර්ණය වෙනස් කිරීම සඳහා පේන්ට් බඩු මිලදීගෙන ඇති බවත්ය. එක් සැකකරුවෙකු සතුව තිබී රුපියල් 50600 ක් ද පොලිසිය විසින් සොයාගන්නා ලද අතර, විමල් ඇතුළු සැකකරුවන් තිදෙනා විසින් බැංකුවෙන් සොරකම් කරන ලද ලැප්ටොප් පරිගණකයක්, මොනිටරයක්, CPU එකක් UPS එකක් පොලිසිය විසින් සොයා ගන්නා ලදි.
සැකකරුවන්ගෙන් වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූයේ ඔවුන් මීට පෙර බෙලිඅත්ත සණස බැංකුව ද මෙලෙසම කඩා මුදල් ඇතුළු බඩු භාණ්ඩ සොරාගෙන ඇති බවයි.
දිගින් දිගටම පරීක්ෂණ පවත්වන ලද පොලිස් කණ්ඩායම විසින් තිහගොඩ පොලිස් වසමේ වතුකොළකන්දේදී 17 හැවිරිදි තුන්වන සැකකරු ද ඉකුත් 16 දින අත්අඩංගුවට ගත්තේය. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුර මත ඔහු සතුව තිබී පරිගණක සඳහා යොදන රැම් එකක් ද පොලීසිය සොයා ගත්තේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහගේ උපදෙස් මත හක්මන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.
ජයසිරි පේදුරුආරච්චි – ගන්දර සමූහ