මෙරට සහ විදේශවල සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයන කෝටි ප්‍රකෝටි ගණන් මුදල්වලින් මිලදී ගන්නා දේපළ සම්බන්ධව පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ රහස් පොලීසිය විමර්ශන සිදු කරන්නේ දිර්ඝ කාලයක සිටය.
එම විමර්ශනවලදී රුපියල් කෝටි ගණනක් වටිනා අනීතික දේපළ සිය භාරයට ගැනීමට රහස් පොලීසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින්ට මේ වන විට හැකි වී තිබීම ද විශේෂත්වයකි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එලෙස අනීතිකව උපයාගත් දේපළ අතර රුපියල් කෝටි ගණන් වටිනා ගොඩනැඟිලි, ඉඩකඩම්, යානවාහන, ව්‍යාපාරික ස්ථාන, සංචාරක හෝටලද තිබූ බවද අනාවරණය වී තිබේ.
මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එලෙස අනීතිකව උපයාගත් මිල මුදල්වලින් මිලදී ගන්නා ලදැයි කියන රුපියල් කෝටි ගණන් වටිනා දේපළ සොයා රහස් පොලීසිය විමර්ශන ගණනාවක් මේ වන විට ආරම්භ කර ඇති බවද දැනගන්නට ඇත. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමන්ගේ නමට මෙන්ම තමන්ගේ ඥාති හිතවතුන්ගේ නම්වලට මෙලෙස රුපියල් කෝටි ගණනින් දේපළ මිලදී ගෙන ඇති බව විමර්ශනවලදී හෙළි විය.
දකුණු පළාතේ කුඩාවැල්ල ප්‍රදේශයේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු මීට ටික කාලයකට කලින් රහස් පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහු එම පළාතේ අයිස් මෝලක දිනකට රුපියල් දහසක වැටුපකට කම්කරුවකු ලෙස සේවය කළ අයකු බව හෙළි වූ අතර දීර්ඝ විමර්ශනයේදී හෙළි වූයේ මේ පුද්ගලයා සතුව සුපිරි වෙළෙඳසලක්ද ඇති බවයි. ඊට අමතරව ඔහු සතුව බහුදින යාත්‍රාවක්ද ඇති බව හෙළි විය. ඔහු මේ දේපළ සියල්ල සතුකරගෙන තිබුණේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් අනීතිකව උපයාගන්නා ලද මුදල්වලිනි.
මෙලෙසම මේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙස් විදෙස් සිට මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයා ගන්නා රුපියල් කෝටි ගණන් සංසරණය වන බැංකු ගිණුම් ගණනාවක් පිළිබඳවද සී.අයි.ඩීය මේ වන විට විමර්ශන සිදු කරගෙන යන බවද දැනගන්නට ඇත.
මෙවැනිම මහා පරිමාණ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද අනීතිකව උපයාගත් රුපියල් කෝටි ගණනක දේපොළ පිළිබඳව රහස් පොලිසිය විමර්ශන ආරම්භ කළේ පසුගියදාය. මේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයා රට කැලඹූ මිනිස් ඝාතනයක ප්‍රධානියා වීමද සුවිශේෂීය.
අතුරුගිරිය ‘ටැටු‘ මධ්‍යස්ථානයක් ඇතුළතදී ව්‍යාපාරික ‘වසන්ත සුරේන්ද්‍ර පෙරේරා’ හෙවත් ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනකු ඝාතනය කිරීමේ සැලසුමේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ මේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයාය.
විදෙස්ගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ගොන්නට නම ඇතුළත් මේ ජාවාරම්කරුවා සන්තකයේ තිබෙන රුපියල් කෝටි 10ක පමණ දේපොළ අනීතිකව ඉපැයූ මුදල්වලින් මිලදීගෙන ඇති බවට විමර්ශනවලදී හෙළිවීම නිසා ඒ සම්බන්ධ පරීක්ෂණ සඳහා එම දේපළ සොයාගෙන තහනම් කිරීමට සී.අයි.ඩීය විමර්ශන සිදු කළේ පසුගියදාය. ඒ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේය.
මේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා කොළඹ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන ‘කුඩු සෙල්විගේ’ පුත්‍රයෙකි. ඔහු දැනට සිටින්නේ ඉන්දියාවේ බන්ධනාගාරගතවය.
‘ක්ලබ් වසන්ත’ හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයෙන් අනතුරුව තුවක්කුකරුවන් දෙදෙනාට පලා යාම සඳහා මේ මහා පරිමාණ ජාවාරම්කරුවා විසින් සූදානම් කර තිබූ බෝට්ටුවක් සහ එන්ජිමක්ද රහස් පොලිසිය විසින් සොයා සිය භාරයට ගෙන තිබිණි. හලාවත, වට්ටකල්ලිය කවටයා වත්ත කළපුවක සඟවා තිබියදී එය සොයා ගැනිණි.
අදාළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 2013 වසරේදී වත්තල, හැඳල, බලගල පාරේ ඉඩමක් මිලදීගෙන එහි සුඛෝපභෝගී නිවෙසක් ඉදිකර තිබුණ අතර එයද රහස් පොලිසියේ නිලධාරීන් විසින් සොයා ගන්නේ මීට අදාළව සිදු කරන ලද විමර්ශනයකදීය.
මේ පුද්ගලයා 2023 අවුරුද්දේදී රුපියල් ලක්ෂ 90ක් පමණ වටිනා සුඛෝපභෝගී වාහනයක් මිලදී ගෙන තිබුණ අතර රුපියල් ලක්ෂ 70ක පමණ රන් භාණ්ඩද ඔහු සන්තකයේ තිබුණු බව හෙළි විය. ඒවා ආරක්ෂාව පිණිස බැංකුවක තබා තිබුණු බවද අනාවරණය වන්නේ සිදු කරන ලද විමර්ශනයේදීය. ඒ සියල්ල සී.අයි.ඩී ය විසින් සොයාගෙන තිබේ.
‘ක්ලබ් වසන්ත’ ඝාතනයෙන් අනතුරුව වෙඩික්කරුවන් දෙදෙනාට මුහුදු මාර්ගයෙන් පලා යාමට මේ ජාවාරම්කරු රුපියල් පන් ලක්ෂයක් වැයකර බෝට්ටුවක් මිලදීගෙන තිබුණේ හලාවත ප්‍රදේශයේ පුද්ගලයකුගෙනි.
‘ක්ලබ් වසන්ත’ හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා අතුරුගිරියේදී ඝාතනය කෙරෙන්නේ ඉකුත් ජූලි 08 වැනිදාය.
මේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිසිය දෙහිවලදී අත්අඩංගුවට ගන්නා ලද හිටපු සෙබළකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පුද්ගලයින් හයදෙනෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන්නේ මේ ඝාතනයට සම්බන්ධ සෙසු පුද්ගලයන් ගැන සොයා ගැනීම සඳහාය.
මේ ඝාතනය විදේශයක සිට සැලසුම් කර සිදු කළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙකු සහ ඉන්දියාවේ බන්ධනාගාරයක සිටින කුඩු සෙල්විගේ පුත්‍රයකු විසින් බවට තොරතුරු හෙළි වී තිබේ. විමර්ශනවලදී විමර්ශන නිලධාරින් සොයා ගන්නේ ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටින කුඩු සෙල්විගේ පුත්‍රයා සිය නැඟණිය සහ මස්සිනාද සම්බන්ධ කරගෙන ක්ලබ් වසන්ත ඝාතකයන්ට මුහුදෙන් පලා යාමට අවශ්‍ය බෝට්ටුව මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 5ක් එවා ඇති බවය. රුපියල් හැත්තෑ ලක්ෂයක රන් ආභරණද බැංකුවක තබා තිබී ඇත්තේ ඔහුගේ නැඟණියගේ නමටය.
සී.අයි.ඩී. ය මෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බළකායද මේ සම්බන්ධ විමර්ශනවලට දායකත්වය ලබා දෙයි.
දීපාල් සමරසේකර
ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ