Home » පාතාලය තමා මරාවි යැයි බියෙන් සිටි මත්ලෝලියාට වැරදුණු ඉලක්කය

පාතාලය තමා මරාවි යැයි බියෙන් සිටි මත්ලෝලියාට වැරදුණු ඉලක්කය

by Mahesh Lakehouse
November 23, 2024 12:30 am 0 comment

– ආමි සම්පත් යැයි සිතා අලෙවි ප්‍රවර්ධකයකුට වෙඩි තබලා
– වෙඩි පහරින් අලෙවි ප්‍රවර්ධකට බරපතළයි

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත කොලනිය ප්‍රදේශයේදී ආමි සම්පත් නමැති අපරාධකරු යැයි සැක සිතා තම නිවසට පැමිණි පුද්ගලයෙකුට වෙඩි තබා ප්‍රදේශයෙන් පලාගොස් සිටි පුද්ගලයන් දෙදෙනෙක් වෙඩි තැබීමට උපයෝගී කරගත් ගිනිඅවිය සහ තවත් ආයුධ කීපයක් සමඟ වෙන්නප්පුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය දිනෙකය. ඒ වෙන්නප්පුව පොලිසිය විසින් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුවය.

වෙඩි තැබීමට උපයෝගී කරගත් ගල්කටස් තුවක්කුව, වායු රයිෆලයක්, කඩුවක් සහ පිහි කීපයක් මෙසේ අත්අඩංගුවට ගැනිණි. වෙඩි ප්‍රහාර එල්ල කිරීමට සැකකරුවන් ගමන් ගත් මෝටර් සයිකලය ද නිවසක සඟවා තිබියදී සොයා ගැනිණි.

පසුගිය දිනෙක මෙම වෙඩි තැබීම සිදු විය. සිද්ධියෙන් බරපතළ ලෙස තුවාල ලබා ජල පෙරණ නිෂ්පාදන ආයතනයක සේවය කරන මාරවිල, උතුරු මූදුකටුව ප්‍රදේශයේ පදිංචි දොන් ඉන්දික උදය කුමාර වීරකෝන් නමැති අවුරුදු 43ක පුද්ගලයෙක් මාරවිල මූලික රෝහලට ඇතුළත් කෙරිණි. ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් කෙළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි.   

මේ තැනැත්තා ගාල්ල නගරයේ ජල පෙරණ නිෂ්පාදන ආයතනයක සේවය කරයි. ඔහු එම ආයතනයයේ සේවය කරන තවත් අයෙක් සමඟ මෝටර් බයිසිකලයකින් දවටගහවත්ත කොලණිය ‍ප්‍රදේශයට පැමිණියේ ජලය පරීක්ෂණ කරන ජල පෙරණ ප්‍රවර්ධනය කිරීම සඳහාය. ඔවුන් මෙම ගම්මානයට පැමිණියේ පළමු වතාවටය. ගම්මානයේ නිවසින් නිවසට ගොස් ජලය පරීක්ෂා කරමින් ජල පෙරණ හඳුන්වා දීමට කටයුතු කරමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාගේ නිවසට ද ඔහු ගියේය. ඒ එදින සවස් යාමයේය. ඒ වන විටත් ඔවුන් ගම්මානයේ නිවාස 30කට පමණ මෙම කටයුත්ත සඳහා ගොස් තිබිණි.

සැකකරු අරවින්දය. වයස අවුරුදු 45කි. මත්කුඩුවලට තදින් ඇබ්බැහිවූවෙකි. ඔහු දින ගණනාවකට පෙර රක්ෂිත බන්ධනාගාරගතව ඇප මත මුදාහැරි අයෙකි. ඔහුගේ කැරට්ටුව එතනින් නොනවතී. පුද්ගල පහර දීම්, සොරකම්, මත්කුඩු භාවිතය සම්බන්ධව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නඩු 15කට අධික ප්‍රමාණයක් සමඟ අධිකරණයට යොමු කර ඇති අයෙකි. එපමණක් නොව ඔහුගේ බිරියගේ ජංගම දුරකතනයේ සටහන්ව තිබූ සිද්ධියක් සම්බන්ධව ඇගේ කොණ්ඩය කපා අමානුෂික ලෙස පහර දී ඇය නිවසින් පලවා හැරිය පුද්ගලයෙකි.

අරවින්ද මීට වසර කීපයකට පෙර පදිංචිව සිටියේ වෙන්නප්පුව ප්‍රදේශයේය. එම කාල වකවානුවේ නිවස ඉදිරිපිට පුද්ගලයකුට ඔහු පහර දෙන්නේ කිසියම් සිද්ධියක් මුල් කරගෙනය. පහර කෑමට ලක් වූ පුද්ගලයා පතාලයට සම්බන්ධ දරුණු අපරාධකරුවෙකු වන ආමි සම්පත්ගේ සමීපතමයෙකි.

“උඔ දැනගනින් ආමි සම්පත් මගේ යාළුවෙක් යකෝ… මං උඹව කවදහරි මරලා තමයි පස්සේ බලන්නේ…” යැයි එම සිද්ධියෙන් පසු එලෙස තමාට කළ තර්ජනය අරවින්දගේ හිතට තදින් කා වැදුණේය. ඒ නිසාම නිවසට නාඳුනන කෙනෙක් පැමිණියොත් හෝ මඟතොටදී හමුවුවහොත් සැකෙන් බියෙන් අරවින්ද ඔවුන් දෙස බැලුවේය. ඔහු නිතර පසු වූයේ ආමි සම්පත් තමා ඝාතනය කරයි යන සැකයෙනි; බියෙනි. අරවින්දගේ සමීපතම මිතුරෙකු වන සමීර ජීවත් වෙන්නේ අරවින්ද ජීවත් වන ගම්මානයට ආසන්නම ගම්මානය වන සිරිගම්පොළය. ඔහු අරවින්දගේ සෑම ක්‍රියාවකදීම ළඟින්ම සිටි අයෙකි. ඔහුද අරවින්දට දෙවැනි නොවේ. මත්ලෝලියෙකි. ඔහුද යකඩ කූරු ගණන් කළ අයෙකි. කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි කාල වකවානුවේ ඔහු ආමි සම්පත් දැක තිබිණි. අරවින්ද ආමි සම්පත් නොදැක්කද ඔහුගේ හැඩරුව සම්බන්ධව අරවින්දට සමීර පවසා තිබිණි.

ජල පෙරන හඳුන්වා දීමට පැමිණි පුද්ගලයා දැක ඒ ආමි සම්පත් විය හැකි බව අරවින්ද සිතීය. ඔවුන් අත ඇති උපකරණ දැක ඔහුගේ සැකය තව තවත් වැඩි විය. ඔහු සිතුවේ ආමි සම්පත් තමා මරන්නට පැමිණි බවයි. ඔහු එළියට නොපැමිණියේය. පැමිණි අයට නොදැනෙන ලෙස සිය ජංගම දුරකතනයෙන් ඡායාරූපයක් ලබාගත්තේය. ඔවුන් පිටත්ව ගිය පසු යතුරුපැදිය ගත් අරවින්ද විදුලි වේගයෙන් මිතුරා හමුවීමට ගියේය.

“මචං ආමි සම්පත් ආව මාව මරන්න…” අරවින්ද තැතිගැන්මෙන් කීවේය.

“උඹ කොහොමද දන්නේ බං…” යැයි අරවින්දගේ පිටට තට්ටුවක් දමමින් සමීර ඇසුවේය.

“බලපන් යකෝ ෆොටෝ එක…” ජංගම දුරකතනය සටහන්ව ඇති ඡායාරූපය පෙන්නමින් අරවින්ද කීවේය.

සැක­ක­රු­වන් පැමිණි යතු­රු­පැ­දිය

සැක­ක­රු­වන් පැමිණි යතු­රු­පැ­දිය

කුඩු සික් එකේ සිටි සමීර ද ගැම්මෙන් කීවේ “ඔව් බං… ඒ ආමි සම්පත් වාගේම තමා…“ කියාය.

ඒ වචනය පිටවනවාත් සමඟම අරවින්ද “ඒයි මචං… මුව මරන්න ඕන වරෙන් යන්න…” යැයි කියමින් දෙදෙනාම ජල පෙරන හඳුන්වා දුන් අය සොයා යාමට කටයුතු කළේ අරවින්ද සඟවා තිබූ ගල්කටස් තුවක්කුවද රැගෙනය. අරවින්ද යතුරුපැදියේ පිටුපසය. සමීර විදුලි වේගයෙන් ඔවුන් හඹා ගියේය. ඒ අතරතුර ජල පෙරන හඳුන්වා දීමට පැමිණි පුද්ගලයන් දෙදෙනා පැමිණි කාරණය අහවර වී නිවසක සිට පිටත්ව යාමට සූදානම් වූවා පමණි. අරවින්දගේ උකුසු ඇස් ඔවුනට යොමු විය. ඒ සමඟම අරවින්ද “ඒයි බයිසිකලේ නවත්තපන්…“ කියමින් ජල පෙරන හඳුන්වා දීමට පැමිණි දෙදෙනා පැමිණි යතුරපැදිය නැවැත්වීය.

“උඹ ආමි සම්පත් නේද…?“ ඔවුන් ජල පෙරන හඳුන්වා දීමට පැමිණි අයකුට ගල්කටස් තුවක්කුව මානා ඇසීය.

“නෑ… නෑ… මං ආමි සම්පත් නෙවෙයි වැරදිලා ඔයාලට…” තැති ගැන්මෙන් ඔහු කීවා පමණි. තවදුරටත් වචනයක්වත් පිට කිරීමට යකඩ කට ඉඩ නොදුන්නේය. මුළු පළාතම දෝංකාර දෙමින් එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ජල පෙරන හඳුන්වා දුන් පුද්ගලයකුගේ වම් අත පසාරු කරගෙන ගියේය. බිම ඇද වැටී ඔහු ලේ විලක් මත වැතිරී කෑ ගැසීය. ඒ සමඟම අසල්වැසියන් දිව ආවේය. අරවින්ද සහ සමීර විදුලි වේගයෙන් යතුරුපැදියෙන් පලා ගියහ.

අනතුරුව නිවැසියන් ලේ විලක් මත වැතිර සිටි අලෙවි ප්‍රවර්ධකයා කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කළේය. පිටුපස ගිය තැනැත්තාට කිසිම අනතුරක් සිදු නොවීය.

වෙඩි තැබිම සඳහා යොදා ගත් යැයි සැක කරන තුවක්කුව

වෙඩි තැබිම සඳහා යොදා ගත් යැයි සැක කරන තුවක්කුව

ප්‍රදේශයෙන් පලා ගොස් සිටි සැකකරුවන් දෙදෙනා වෙන්නප්පුව පොලිසිය විසින් ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු ලබා ගනිමින්, සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගනිමින්, සැක සිතන ප්‍රදේශවල නිවෙස්වල සහ වෙළෙඳසැල්වල ආරක්ෂිත කැමරා පද්ධතිය නිරීක්‍ෂණය කරමින් දින දෙකක් තුළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

වෙඩි ප්‍රහාරඑල්ල කිරීමට ඔවුන් ගිය යතුරුපැදිය ද වෙන්නප්පුව කිරිමැටි‍යාන ප්‍රදේශයේ ඔවුන්ගේ මිතුරකුගේ නිවසක තබා ගොස් ඇත්තේ යතුරුපැදිය ෆිනෑන්ස් ඇරියස් ඇති බව පවසාය. අනතුරුව යතුරුපැදිය ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

හලාවත කොට්ඨාස භාර පොලිස් අධිකාරි පාලිත අමරතුංගගේ උපදෙස් මත වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චිගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සිරිවර්ධන ඇතුළු නිලධාරින් විමර්ශන සිදු කරන ලදි.

මිහිර විජේසේකර - මාරවිල සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division