Home » රාවණා පෙන්වා මිනිසුන් ඇන්දූ කපටියා

රාවණා පෙන්වා මිනිසුන් ඇන්දූ කපටියා

by Mahesh Lakehouse
November 23, 2024 12:30 am 0 comment

– චිවරධාරියකු ලෙසත් පෙනී සිටලා
– රාවණා යුගයේ පුරාවස්තු සහ නාග මාණික්‍යයක් තමන් සතුව ඇතැයි කියා මිනිසුන් රවටා මුදල් ගරලා
– සැකකරු අල්ලන්නේ අරඹෙකෙම පන්සලක සිටියදී

ජාවාරම්කරුවන් කලින් කලට විවිධ චරිත රඟපාමින් රටේ නන් දෙස ඇවි‍දිමින් ජනතාව මුළා කරමින් මුදල් ගැරීමේ ජාවාරම් පිළිබද පුවත් අසා නැති කෙනෙකු නැති තරම්ය. විවිධ වෘත්තිකයන්ගේ වෙස් ගනිමින් විවිධ චරිත රඟපාන කපටි, වංචාකාර පුද්ගලයන් නීතියේ රැහැනට හසුව අදටත් හිරබත් කන බවනම් රහසක් නොවේ. තමන්ට දේව වරමක් ඇති බව පවසමින් ජනතාව මුළා කරමින් ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීමට ගොස් හිරබත් කන උන්දලාටද මේ වනවිට නීතියේ පිහිට පමණක් ඉතිරිව ඇත්තේ ඔවුන් සිදු කළ ජාවාරම්වල තරම නිසාවෙන්ය. තවත් එවැනිම සිද්ධියක් පසුගියදා සමාජ මාධ්‍ය කැලඹීය. ඒ රාවණා යුගයේ පුරාවස්තු සහ නාග මාණික්‍යයක් තමන් සතුව ඇති බව පවසමින් පුද්ගලයකු සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබූ වීඩියෝ පටයක් හේතුවෙනි.

මෙම විඩියෝ පටය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ මෙම පුද්ගලයාගේ පෙම්වතිය බව කියන කාන්තාවක් ද කරළියට ආවේ මෙම පුද්ගලයාගේ පැටිකිරිය ද එළියට දමමිනි. මෙම ‘මායාකාර ජාවාරම්කරු’ රට වටා සිටින විවිධ පුද්ගලයන් සහ කාන්තාවන් මුළාවේ දමමින් විවාහ යෝජනා ද ඉදිරිපත් කරමින් මුදල් සූරා කෑම ජයටම කරගෙන ගොස් තිබුණි. කෙසේ නමුත් ඔහුගේ පෙම්වතිය බව කියූ කාන්තාව විසින් නිකුත් කර තිබූ හඬ පටයක් හේතුවෙන් මෙම ජාවාරම්කරුට සමාජය හමුවේ සිය ජාවාරම කරගෙන යාමට නොහැකි වි තිබුණි. මේ හේතුව නිසා ඔහුගේ සියලු ජාවාරම් එකින්එක එළියට එමින් තිබුණි. සමාජ මාධ්‍ය හරහා මෙලෙස ප්‍රචලිත වී සිටි මෙම පුද්ගලයා හදිසියේම ආගිය අතක් නැති වූයේ කිසිවකුටත් ඔහු සොයා ගැනීමට නොහැකි පරිද්දෙනි. ඒ මාධ්‍ය මඟින් ද මේ පිළිබඳව සිදු කළ හෙළිදරව්ව නිසාවෙනි.

මෙම ජාවාරම්කරු පිළිබඳ මාධ්‍ය මඟින් සිදු කළ හෙළිදරව්වත් සමඟ මෙම පුද්ගලයා හිටි හැටියේම අතුරුදන් වීම පිළිබඳව පොලිසිය ද විමර්ශනයක් ආරම්භ කර තිබුණේ ඔහුට එරෙහිව ඒ වනවිටත් විමර්ශන කිහිපයක්ම ක්‍රියාත්මක වෙමින් තිබූ නිසා සහ අධිකරණය සහ පොලිසිය මඟ හරිමින් මෙම පුද්ගලයා සැඟවී සිටීම නිසාය.

පසුගිය 02 වැනි දින තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාරට තොරතුරක් ලැබුණි. ඒ තණමල්විල, අරඹෙකෙම ප්‍රදේශයේ විහාරස්ථානයක නාඳුනන භික්ෂුවක් නවාතැන්ගෙන සිටින බවට සහ එම භික්ෂුවගේ හැසිරීම ඉතාම සැක කටයුතු බවත් පවසමිනි. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ තණමල්විල මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් තණමල්විල, අරඹෙකෙම ප්‍රදේශයේ පිහිටි විහාරාස්ථානයට යන්නේ විනාඩි කිහිපයක් ඇතුළතදීය. ඒ යන විටත් විහාරාධිපති හිමියන් ද විහාරස්ථානයේ වැඩ සිටි අතර අදාළ සැක කටයුතු හිමිනම ද විහාරස්ථානයේ කාමරයක සිටියේය. සැකකාර භික්ෂුව පොලිස් ප්‍රශ්න කිරීමේදී පැවසුවේ තමන් නාමල් උයන විහාරය, නාමල්ගම, වවුනියාව ලිපිනයේ පදිංචිව සිටින බවත් “පොල්ගහවෙල මලියදේව” හිමියන් ලෙස තමන් හඳුන්වන බවත් ගිහි කල නාමය දිල්රුවන් ක්‍රිෂාන්ත සුබසිංහ නමැති බවත් සහ මේ වන විට තමන්ට වයස අවුරුදු 46ක් වන බවත්ය.

පසුව සැකකාර චීවරධාරියා ලැගුම්ගෙන සිටි කාමරය පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කළ අතර එහිදී එහි තිබී වීසා කාඩ්පත් 05ක්, විදෙස් ගමන් බලපත්‍ර දෙකක්, ගිහි ඇඳුම් තොගයක් සහ වෛද්‍ය විද්‍යාලයක දේශකවරයකු බවට සඳහන් ව්‍යාජ හැඳුනුම්පතක් ද සොයා ගන්නා ලදි. සැකකාර භික්ෂුව තණමල්විල පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නේ අනතුරුවය. ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණි. ඒ වන විටත් පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී මෙම සැකකාර චීවරධාරියා ඇතැම් ස්ථානවල හිමිනමක් ලෙසත්, ඇතැම් ස්ථානවල පූජකවරයකු ලෙසත් සහ ඇතැම් ස්ථානවලදී ගිහියකු ලෙසත් පෙනී සිට ඇති බවට හෙළිවී වී තිබුණි.

සැක­කරු

සැක­කරු

තමාට රාවණා යුගයේ පුරාවස්තු සහ නාග මාණික්‍යයක් ලැබී ඇති බවත්, ඒ තුළින් තමන්ට විශ්ව ශක්තීන් ලබාදිය හැකි බවත් පවසමින් සැකකරු කාලාන්තරයක සිට ජනතාව මුළා කරමින් රුපියල් කෝටි ගණන් මුදල් වංචා කර තිබේ. ඊට අමතරව ඇතැම් නිවෙස් තුළ ඇති පැරණි බඩුබාහිරාදිය ද තමන්ට අයිති බව පවසමින් බලහත්කාරයෙන් ඒවා ලබා ගැනීමට සැකකරු කටයුතු කර ඇති බව ද අනාවරණය වී තිබේ. එමෙන්ම සැකකරු විසින් මීට පෙර ද බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි ලාංකේය කාන්තාවක රවටා රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් ද සිදුකර ඇති අතර මේ සම්බන්ධයෙන්ද අදාළ කාන්තාව විසින් කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද කර තිබුණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද සැකකරු පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ නමුත් සැකකරු නීතියෙන් වසන් වෙමින් සිය ජාවාරම් කරගෙන ගොස් තිබුණේ විවිධ චරිත හරහා සමාජයේ පෙනි සිටිමිනි.

සැකකාර චීවරධාරියාගේ මෙම රංගනය පිළිබඳව ඔහුගේ පෙම්වතිය බව කියන කාන්තාවක් විසින් හෙළිකර තිබුණේ මෙම පුද්ගලයා විවිධ චරිත රඟපාමින් ජනතාව මුළා කරන බවත්, ඔහු සන්තකයේ ඇත්තේ ව්‍යාජ පුරාවස්තු බවත්ය. කාන්තාවගේ මෙම හෙළිදරව්වත් සමඟින් මෙම චීවරධාරියා විසින් එම කාන්තාවට තර්ජනය කර තිබුණේ එම කාන්තාව සහ ඇගේ දරුවා මරා දමන බව පවසමිනි. සැකකාර පුද්ගලයා විසින් සිදු කළ මරණ තර්ජනය අදාළ කාන්තාව විසින් මාධ්‍ය වෙත මුදාහැරීමට ද කටයුතු කර තිබුණි.

“මගේ කෙනෙක් කොළඹ එනවා. උඹට ඒවා අරගෙන දෙන්න බැරිනම් මට ආයේ වැඩක් නෑ කතා කරලා. මට තියෙන්නේ ඇවිත් උඹයි ළමයවයි දෙන්නම මරන එක විතරයි. උඹ හිතනවාට වඩා චරිතයක් මම” යනුවෙන් එම හඬ පටයේ සඳහන්ව තිබුණි.

මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසූරියගේ උපදෙස් පරිදි තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු පිළිබඳව වැඩිදුරටත් විමර්ශන පවත්වනු ලැබීය.

නුවන් ජයසේකර - සූරියවැව විශේෂ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division