– මීගමුව, කටාන, වෙන්නප්පුව, කොච්චිකඩේගෙවල් බින්ද ‘ටයරා’ අල්ලයි
– ‘ටයරා’ අල්ලන්න ඔත්තුව බුද්ධි කොට්ඨාසයෙන්: ලක්ෂ ගාණක දේපළත් සොයාගෙන
රට පුරා පිහිටි පොලිස් කොට්ඨාසවල කොට්ඨාස භාර පොලිස් අධිකාරි හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ ඍජුවම ක්‍රියාත්මක වන ඒකකයක් වනුයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයයි(ඩීසීඩිබී). අදාළ කොට්ඨාසයේ පොලිස් ස්ථානවලට වාර්තා වන එහෙත් එම පොලිස් ස්ථානවල නිලධාරීන්ට විසඳීමට පමා වන අපරාධ විසඳීම කොට්ඨාස අපරාධ විමර්ශන අංශවල ප්‍රධාන අරමුණයි. යම් කොට්ඨාසයක පොලිස් ස්ථානවලට දෛනිකව වාර්තා වන අපරාධ සම්බන්ධව අදාළ කොට්ඨාසයේ මේ කියන කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ද තොරතුරු අනිවාර්යයෙන් වාර්තා වන අතර ඒ පිළිබඳව විශ්ලේෂණයක් කර ඒ සම්බන්ධ දත්ත තොරතුරු සහ සංඛ්‍යා ලේඛනද පවත්වාගෙන යෑම කොට්ඨාස අපරාධ විමර්ශන අංශවල නිලධරයන්ගේ වගකීමයි.
පොලිස් කොට්ඨාසවල පොලිස් බලප්‍රදේශවල සිදුවන අපරාධ ඒ සම්බන්ධ තොරතුරු, සංඛ්‍යා ලේඛන, සැකකරුවන් පිළිබඳ බුද්ධි තොරතුරු ඒ ඒ පොලිස් බලප්‍රදේශවල සිදුවන අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ගැන වාර්තා ඡායාරූපද ඒකරාශි කිරීම කොට්ඨාස අපරාධ විමර්ශන අංශවල නිලධරයන්ට පැවරී ඇති තවත් රාජකාරියකි. මේ අතරිනුත් සුවිශේෂීම කාර්යභාරය වන්නේ අදාළ පොලිස් බලප්‍රදේශයේ පොලිස් ස්ථානවලින් වාර්තා වන බරපතළ ගණයේ මිනීමැරුම්, සංවිධානාත්මක අපරාධ, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් ගැන සොයා බලා විමර්ශන සිදුකර ඔවුන් අත්අඩංගුවට ගැනීමයි.
මෙලෙස විශේෂයෙන් නොවිසඳුණු අපරාධ විමර්ශනය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන කොට්ඨාස අපරාධ විමර්ශන අංශවල නිලධරයන් දිනෙන් දින ඒ සම්බන්ධව අත්කර ගන්නා සහ අත්කර ගනිමින් සිටින ප්‍රගතිය සුවිශේෂීය. පසුගිය කාලයේ රට පුරා සිදුවූ ප්‍රධාන පෙළේ අපරාධ රැසක සුලමුල හෙළිකරගෙන ඒවාට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ අදාළ ප්‍රදේශවල පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශවල නිලධරයන් විසිනි. ඊයේ පෙරේදා වාර්තා වූ ලොකුම සිද්ධිය වූයේ කෑගල්ල කෙම්පිටිය වලව්වේ හිමිකරු මරා දේපළ කොල්ලකෑමේ සිද්ධිය කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් හෙළිකර ගැනීමයි. ඊට ප්‍රධාන දායකත්වය ලබා දී තිබුණේ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරා අබේසේකර වීමද සුවිශේෂී කාරණයකි.
මෙසේ ‘හොඳට වැඩ කරන’ කොට්ඨාස අපරාධ විමර්ශන අංශ අතර මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ද ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා සහ සහකාර පොලිස් අධිකාරී ගාමිණී රත්නායක යන නිලධරයන්ගේ උපදෙස් සහ මඟ පෙන්වීම අනුව විමර්ශන සිදු කරන මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානියා ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන රණසිංහයි.
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පසුගිය දිනවල පමණක් සිදු කරන ලද විමර්ශවලදී අත්අඩංගුවට ගන්නා ලද සොරුන්, කොල්ලකරුවන්, සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සංඛ්‍යාව දහයකට වැඩිය. එම පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරද්දී අනාවරණය කරගන්නා ලද අපරාධ සංඛ්‍යාවද සැලකිය යුතු තරම්ය. සොයා ගන්නා ලද රන් ආභරණ ඇතුළු දේපළවල වටිනාකමද රුපියල් කෝටියකට වැඩිය.
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මෙසේ සිදු කරන විමර්ශනවලට කොට්ඨාස බුද්ධි අංශයේ නිලධරයන්ගෙන් ද ලැබෙන සහාය විශාලය. බුද්ධි අංශ නිලධරයන්ගෙන් එසේ ලැබුණ තොරතුරුවලට අනුව අපරාධ ගණනාවක සැකකරුවන් පසුගිය දිනවලදී කොටුකර ගැනීමට කොට්ඨාස අපරාධ විමර්ශන නිලධරයන්ට හැකි විය. මේ අතර මීගමුව පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් බලප්‍රදේශ කිහිපයක නිවාස බිඳ භාණ්ඩ සොරකම් කරන පුද්ගලයකු පිළිබඳව මීගමුව කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් ‘ඇස ගසාගෙන’ සිටියේ කලක සිටය. ඒ අදාළ පොලිස් බලප්‍රදේශවල දිගින් දිගටම සිදු වූ ගෙවල් බිඳුම් නිසාය. මෙසේ දිවා රෑ දෙකේම නිවාස බිඳ භාණ්ඩ සොරකම් කරන පුද්ගලයා හරියටම කවුදැයි කියා කොට්ඨාස බුද්ධි නිලධාරීන් සොයාගෙන තිබුණේ පසුගියදාය.
අදාළ ‘සොර දෙටුවා’ කොච්චිකඩේ මුරුතැන ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු ‘ටයරා’ යන අන්වර්ථ නාමයෙන් ප්‍රදේශවාසින් අතර ප්‍රචලිත පුද්ගලයකු බවත් බුද්ධි නිලධාරීන් විසින් සොයාගෙන තිබිණි.
‘ටයරා’ අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් සිදු කළ විමර්ශනයේදී ඔහු මීගමුව කළුවාරිප්පුව ප්‍රදේශයේ සිටින බවට තොරතුරු වාර්තා විය. මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ උපදෙස් මත මේ පිළිබඳ වැඩිදුර විමර්ශන භාර වන්නේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන රණසිංහ ඇතුළු කණ්ඩායමටය. සැකකාර ‘ටයරා’ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් විසින් කටාන ‘කළුවාරිප්පුව’ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නේ ඒ අනුවය. ‘ටයරා’ගෙන් ප්‍රශ්න කරද්දී ගෙවල් බිඳුම් කිහිපයකම තොරතුරු හෙළි විය. මීගමුව පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් බලප්‍රදේශ වන කටාන, මීගමුව ප්‍රදේශවලත් හලාවත කොට්ඨාසයට අයත් වෙන්නප්පුව ප්‍රදේශයේත් නිවෙස් බිඳ භාණ්ඩ දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් කිහිපයකටම ‘ටයරා’ සම්බන්ධ වී ඇති බව හෙළි විය.
‘ටයරා’ කළ ගෙවල් බිඳුම් ගැන සොයන පොලිස් කණ්ඩායම ඔහු කටාන පොලිස් බලප්‍රදේශයේ නිවාස බිඳ භාණ්ඩ දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් 5කට සම්බන්ධ බව හෙළිකර ගන්නේ ඔය අතරය. මීගමුවේ ගෙවල් බිඳුම් දෙකක් සහ වෙන්නප්පුවේ ගෙවල් බිඳුම් එකකට ටයරා සම්බන්ධ වී ඇති බව අනාවරණය විය.
‘ටයරා’ගේ ‘අපරාධ චර්යාව’ පිළිබඳ විමර්ශනය කරන කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් හෙළිකරගෙන ඇත්තේ ඔහු තනිවම මේ අපරාධ සිදු කර ඇති බවය. යම් ප්‍රදේශයක තනිවම ඇවිද යන ‘ටයරා’ එම ප්‍රදේශවල නිවාස ගැන හොඳින් සොයා බලමින් එම නිවෙස්වල සිටින අය එම නිවාසවල සිටින වේලාව ගැන හොඳින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව දිවා රාත්‍රී වශයෙන් වේලාව වෙන්කරගෙන සොරකම් සිදු කරන බව හෙළිකරගෙන තිබිණි.
ටයරා විසින් සොරකම් කරන ලද නවීන පන්නයේ ජංගම දුරකතන, ටැබ් පරිගණක, විස්කි බෝතල්, රන් මුදු, රන් ආභරණ උණු කර සාදාගත් රන් කැබලි, කැසට් යන්ත්‍ර, රන් පෙන්ඩන්ට්, මැණික් ගල්, විදුලි පංකා, රූපවාහිනී, ගෑස් සිලින්ඩර් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ගාමිණි රත්නායකගේ අධීක්ෂණයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන රණසිංහ, පොලිස් පරීක්ෂක සරත්, උප පොලිස් පරීක්ෂක මධුෂාන්, සැරයන්වරුන් වන (5775) විජේනායක, (48929) චන්දන, කොස්තාපල්වරුන් වන (37928) බස්නායක, (86500) සේනාධීර, (33113) සංජීව, (32929) දිසානායක, කොස්තාපල් රියදුරු (89904) මධුෂංක යන නිලධාරීන් වැටලීම සිදු කරන ලදි.
ඡායාරූප – කොච්චිකඩේ ඩී. මිහිදුකුල
දීපාල් සමරසේකර