Home » පදවියේ කතක් රවටා දෙකෝටියකට විද්ද වංචාකාරයෝ

පදවියේ කතක් රවටා දෙකෝටියකට විද්ද වංචාකාරයෝ

by Mahesh Lakehouse
November 23, 2024 12:30 am 0 comment

– ශ්‍රීපුර ව්‍යාපාරිකයෙක් ඇතුළු දෙදෙනෙක් සැකපිට
– ගනුදෙනුව සිදුවී ඇත්තේ ගිය වසරේ නොවැම්බර් මාසයේ
– නිධානයකින් ගත් මැණික් ගල් දෙකක් විකුණනවා කියා කත රවටලා

නිධන්වලින් ලබාගත් මුතු, මැණික්, රන්කාසි බව හඟවා ව්‍යාජව සකස් කරන ලද භාණ්ඩ යම් පුද්ගලයන්ට වංචනිකව අලෙවි කරන සංවිධානාත්මක කල්ලි කණ්ඩායම් ගැන ජනමාධ්‍ය දිනපතාම පාහේ වාර්තා කරන්නේ එම සිදුවීම්වල යම් ප්‍රවණතාවක් ඇති නිසාය.

මෙවැනි වංචනික කල්ලි කණ්ඩායම් ප්‍රසිද්ධියේම එළියට ඇවිත් කරන මේ තක්කඩි ජාවාරම්වලට හසුවන සමහර පුද්ගලයන්ට ඒ සන්තෑසිය වන්නේ ඒ අයගේ තණ්හාව නිසා යැයි කීවොත් වැරැද්දක් නැත. පුරාවස්තු සහ නිදන්වලින් ගන්නා රන්කාසි සහ මැණික් යැයි කියා ව්‍යාජ ඒවා අලෙවි කරන කල්ලි කණ්ඩායම්වල සාමාජිකයන් රැසක් ද මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද දැනගන්නට ඇත.

නිධානයකින් ගත් මැණික් ගල් දෙකක් රුපියල් කෝටි දෙකකට දෙන බව කියා පදවියේ ව්‍යාපාරික කතක් ඉතාම සැලසුම් සහගත ලෙස රවටා ඇගෙන් රුපියල් කෝටි දෙකක් ලබාගෙන එම මුදල වංචා කළ තිදෙනෙකු කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගියදාය.

මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

ඇය 54 හැවිරිදි කාන්තාවකි. පදිංචිය අනුරාධපුර දිසාවේ පදවිය ප්‍රදේශයේය. මේ කාන්තාව මුදල් පොලියට දීම සිය ජීවනෝපාය ලෙස සිදු කරගෙන ගියාය. යානවාහන ඉඩකඩම් ඇතුළු දේපළ උකසට ගැනීම ඇය සිදුකරගෙන යන්නේ කාලයක සිටය.

ඇය දන්නා හඳුනන ව්‍යාපාරිකයකු ඇතුළු දෙදෙනෙකු නිධානයකින් ගත් මැණික් බව කියා මැණික් ගල් දෙකක් රුපියල් කෝටි දෙකකට ලබා දෙන බව කියමින් තමාගෙන් රුපියල් කෝටි දෙකක් වංචා කළ බව මේ කාන්තාව පදවිය පොලිසියට පැමිණිලි කරන්නේ ඉකුත් වසරේදීය. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කැරෙන්නේ කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී. එච්. එන්. පියසේන ඇතුළු කණ්ඩායමක් විසිනි.

අදාළ කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලේ සටහන්ව තිබුණේ ඇය දන්නා හඳුනන ව්‍යාපාරිකයකු සමඟ මේ ගනුදෙනුව කළ බවයි. එම ව්‍යාපාරිකයා පදවිය ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි බවද ඇය පැමිණිල්ලේ සඳහන් කර තිබුණාය.

නිධානයකින් ගත් වටිනා මැණික් ගල් හතක් තමන් සතුව ඇති බවත් ඉන් දෙකක් විකිණීමට තමා බලාපොරොත්තු වන බවත් අදාළ ව්‍යාපාරිකායා පදවියේ කතට පවසා තිබුණ අතර පදවියේ කත එම මැණික් ගල් දෙක මිලදී ගැනීමට කැමැත්ත පළ කළාය.

ඒ අනුව පදවියේ කත මැණික් ගල් දෙක මිලදී ගැනීමට පදවිය නගරයට පැමිණ ඇත්තේ ගිය වසරේ නොවැම්බර් මාසයේ 06 වැනිදාය. ශ්‍රීපුර ව්‍යාපාරිකයකු එහි එන්නේ කාරයකිනි. ඒ තවත් පුද්ගලයකු සමඟය. පදවියේ කත පදවියේ රාජ්‍ය බැංකුවකට ගොස් රුපියල් ලක්ෂ 40ක් රැගෙන ඇති අතර ඉතිරි මුදල් ලබා ගැනීමට අනුරාධපුර නගරයට යා යුතු බව කියන්නේ ශ්‍රීපුර ව්‍යාපාරිකයාටය. ඔවුන් තිදෙනා අනුරාධපුර නගරයට පැමිණෙන්නේ ඉන් අනතුරුවය.

පදවියේ කත අනුරාධපුර නගරයේ රාජ්‍ය බැංකුවකට ගොස් රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක් ලබා ගත්තාය. ඉන් අනතුරුව කත ශ්‍රීපුර ව්‍යාපාරිකයා සහ ඔහුගේ මිතුරා සමඟ යන්නේ අනුරාධපුර නගරයේ හෝටලයකටය.

එහි ගොස් කාමරයක් වෙන්කර ගත් තිදෙනා ගනුදෙනුව ගැන කත කරද්දී ශ්‍රීපුර ව්‍යාපාරිකයා පවසා ඇත්තේ මුදල් දීමෙන් පසු මැණික් ගල්දෙක ලබා දෙන බවය. ව්‍යාපාරිකයා කී කතාව විශ්වාස කළ පදවියේ කත ඔහුට මුදල් දුන්නාය. ව්‍යාපාරිකයා එතැනින් පිටවී යන්නේ වෙනත් හෝටලයක නවාතැන් ගැනීම සඳහාය. ව්‍යාපාරිකයාගේ මිතුරා සහ පදවියේ කාන්තාව රාත්‍රිය ගත කරන්නේ අදාළ හෝටල් කාමරයේය.

ඊට පසුදා උදේ නැවත එහි පැමිණි ශ්‍රීපුර ව්‍යාපාරිකයා පදවියේ කත සහ මිතුරා වාහනයේ නංවාගෙන පදවිය බලා ගොස් ඇති අතර ව්‍යාපාරිකයා සිය වාහනයෙන්ම කාන්තාව ඇගේ නිවසට කැඳවාගෙන ගොස් ඇත.

ඊට පසු මේ ව්‍යාපාරිකයා සහ ඔහුගේ මිතුරා පිළිබඳව කිසිම තොරතුරක් නොවීම නිසා පදවියේ කාන්තාවට මේ ගැන ඇති වූ සැකය මත ඇය පදවිය පොලිසියට සිද්ධිය පැමිණිලි කර ඇත.

මේ ගැන විමර්ශන ආරම්භ කළ කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පදවිය කත සහ ශ්‍රීපුර ව්‍යාපාරිකයාගේ මිතුරා ගනුදෙනුව සිදුවූ දා රාත්‍රිය ගත කළ අනුරාධපුරයේ අදාළ හෝටලයට ගොස් එදින නවාතැන් ගත් අයගේ ජාතික හැඳුනුම්පත් තොරතුරු විමසද්දී ශ්‍රීපුර ව්‍යාපාරිකයාගේ මිතුරාගේ ජාතික හැඳුනුම්පත් අංකය සොයාගෙන ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වද්දී එම හැඳුනුම්පත යුද හමුදා කෝප්‍රල්වරයෙකුගේ බවට හෙළි වී තිබිණි.

අදාළ කෝප්‍රල්වරයාගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කළ ඩී.සී.ඩි.බී. නිලධාරීන්ට කෝප්‍රල්වරයා පවසා ඇත්තේ ඔහුගේ මිතුරෙක් ඔහුගේ ජාතික හැඳුනුම්පත වරක් රැගෙන ගිය බවයි. එම පුද්ගලයා පසුව අත්අඩංගුවට ගැනිණි. ඔහුගෙන් ප්‍රශ්න කරද්දී හෙළි වී ඇත්තේ එම තැනැත්තා පදවියේ කත සමඟ එදින රාත්‍රියේ හෝටලයේ ගත කළ පුද්ගලයා බවයි.

ඉන් අනතුරුව සිදු කරන ලද විමර්ශනයේදී ශ්‍රීපුර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට කැබිතිගොල්ලෑව ඩී.සි.ඩි.බි. නිලධරයන්ට හැකි විය.

පැමිණිලිකාර පදවියේ කාන්තාව එක් දරු මවකි. ඇගේ සැමියා ජීවතුන් අතර නැත. දියණිය සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරන බවද හෙළි වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාම කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණි.

කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එස්.කේ. වික්‍රමනායකගේ උපදෙස් මත කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.එච්. එන්. පියරත්න, සැරයන්වරුන් වන (7959) ධර්මරත්න, (37887) විතානගේ, කොස්තාපල් (63444) පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරන ලදි.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division