Home » අඳුර පරදන ආදරය

අඳුර පරදන ආදරය

by Mahesh Lakehouse
November 23, 2024 12:30 am 0 comment

දසවැනි පාර්ලිමේන්තුව සඳහා වූ සමාරම්භය සටහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කළ කතාව අවසන් කරන ලද්දේ, මාර්ටින් ලූතර් කිංගේ “අඳුරට අන්ධකාරය පලවා හැරිය නොහැකිය. එය කළ හැක්කේ ආලෝකයට පමණි. වෛරයට වෛරය දුරු කළ නොහැකිය. එය කළ හැක්කේ ආදරයට පමණි.” යන වාග් මාලාව උපුටා දක්වමිනි.

මේ ප්‍රකාශය සටහන් වන්නේ ලුතර් කිං විසින් 1963 වසරේ පළ කරන ලද ‘ආදරයේ ශක්තිය’ යන ග්‍රන්ථයේය. හෙතෙම දේශපාලනය සඳහා ආදරය යොදා ගන්නා ලද මානව ප්‍රේමියෙකි. මිනිසුන්ගේ ජීවිත හැඩ ගැස්සවීම සඳහා න්‍යාය පත්‍රයක් වූ දේශපාලනය, හදවත පත්ලෙන් උපදින ආදරය මත්තේ ඉදි කළ හැකි බැව් ලුතර් කිං ගවේෂණය කළේය. මේ වනාහි, ශ්‍රී ලංකා දේශපාලනයේ හදවත ඒ ආකාරවූ මානව ප්‍රේමයකින් කුළුගැන්වුණු මොහොතකි.

දසවැනි පාර්ලිමේන්තුව අන් කවරදාටත් වඩා පෙරළිකාරය. එපා වූ කල්හි අනෙකා ද ඒකා එපා වූ කල්හි අනෙකා ද ආදී ලෙස මාරුවෙන් මාරුවට දේශපාලනයේ මාරු කළ තට්ටු දෙක දැන් අබලන්ව පසෙක විසි කර ඇත්තේය. ඒ තට්ටු මත්තේ සිය ජීවිතය වඩාත් දුක්ඛිත වන්නේ මිස ගොඩ යන ලකුණු නොමැත්තේ බැවින්, වසර හැත්තෑවකට අධික කාලයක් එහෙට මෙහෙට යන දෙඅංශයට මාරු කළ බලය ජනතාව පත් කර ඇත්තේ අලුත් ස්ථානයකටය. එය වනාහි අත්‍යන්තයෙන්ම නිර්ප්‍රභූ කේන්ද්‍රයක් සහිත, මේ පොළොවේ ජනතා දුකෙන් පෝෂණය වූ ව්‍යාපාරයකි. නැඟීසිටීමේ වෑයම වෙනුවෙන් වෙඩි කෑ මිනිසුන්ගේ කැප කිරීම් කලාපයකි. සිය ජිවිතයට වඩා මවුබිමට සහ මිනිස් වගට ඔවුහු ආදරය කළහ. ‘ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ.’ යනුවෙන් වූ ප්‍රසිද්ධ වැකිය ජාතික ශිෂ්‍ය වීර දිනයේදී ප්‍රකාශ වන්නේ මේ මිනිසුන්ගේ ප්‍රේමයේ පරිමාණය මිනිය නොහැකි බව සපථ කරමිනි.

දස වැනි පාර්ලිමේන්තුව වනාහි ඒ අසීමිත ආදරයෙන් දෝතට ගත්, දේශපාලන කතිකාවය. ජනාධිපතිවරයා සිය තුනෙන් දෙකක බලය අබිබවා ගිය පාර්ලිමේන්තුව සහ විපක්ෂය ඉදිරිපිට සිදු කරන ලද්දේ ඉදිරි කාලය සඳහා වූ මේ රටේ සිතියම දිග හැරීමය.

එක් අතකින් ආර්ථිකයය. ජනාධිපතිවරයා එය හඳුන්වන ලද්දේ නූලෙන් එල්ලා ඇති යන පදයෙනි. බංකොලොත් වූ ස්ථානයේ සිට අදවන විට ඔළුව උස්සා ඇති තත්ත්වය දක්වා පැමිණියේ වුව ද මේ රටේ ආර්ථිකය යනු තවම ස්ථාවර මට්ටම සඳහා පැමිණ ඇති යමක් නොවේ. මූල්‍ය අරමුදල සමඟ ඇති එකඟතාව දැන් ජනාධිපතිවරු තිදෙනෙක්ගේ සමය දක්වා පැතිර ගොස් තිබේ. එය තුන්වැනි වාරිකය සඳහා වූ ප්‍රවේශය සැප්තැම්බර් මාසයේ නිමා කළ යුතුව තිබුණ මුත්, මැතිවරණ ආදිය හේතුවෙන් තවම අවසන් කර නැත්තේය. ජාතික ජන බලවේගය බලයට ආ සැණින්, ඔවුහු මුහුණ දෙන ලද්දේ මූල්‍ය අරමුදල සමඟ සිදු කර ඇති එකඟතා සම්බන්ධයෙන් ගන්නාවූ ඉදිරි පියවර කෙසේ වනු ඇද්ද යන්නය.

ජනාධිපතිවරණයට පෙර සිටම ජාතික ජන බලවේගය ප්‍රකාශ කරන ලද්දේ, තමන් බලයට පැමිණිය ද මෙම මූලික එකඟතා සමඟ ගමන් කරන බවය. පාර්ලිමේන්තු සමාරම්භක කතාවේදී ජනපති ප්‍රකාශ කරන ලද්දේ එතැනින් එහාට වූ සිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පිළිබඳවය. අසීමිත ජනතා ආදරය මත පදනම් වූ දේශපාලනය සටහන් වන්නේ එතැනය.

දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වේගවත් වර්ධනයක් හා ප්‍රසාරණයක් ඇති කර ගැනීම එහි පළමු වැන්නය. අපනයන අභිමුඛ ආර්ථික රාමුව මත්තේ තව දුර මේ ආර්ථිකය ධාවනය කළ නොහැක්කේය. මූල්‍ය අරමුදල සමඟ එකඟතා ප්‍රකාරව ගමන් කළ යුත්තේ ණය මුට්ටියක් කරට ගෙන, ලෝකය වටේ ඇවිදීම සඳහා නොවන හෙයින් මේ රටේ ආර්ථිකය පුබුදුවාලීම සඳහා මේ සමඟ අප ගමන් කළ යුතු බව ජනපතිවරයා අවධාරණය කළේය. ඒ ආකාරයේ ආර්ථික ප්‍රසාරණයක් සමස්ත දේශය තුළ සිදුවිය යුත්තේ මිස, බස්නාහිරට පමණක් එය සීමා නොකළ යුත්තේ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලද්දේය. දේශයේ හැම බිම් අඟලක් සඳහාම වූ, සම සංවර්ධනය ජනතාවගේ අපේක්ෂා සැබෑ කරන්නේය. එයින් ජනතාවගේ ආර්ථිකය සඳහා ද දැනෙන යමක් ඉටු වන්නේය.

දෙවැනි කාරණය වනුයේ ආර්ථිකයට ජනතාව සම්බන්ධ වීමය. ජනතාව පිටමං කරන ලද ආර්ථිකයකින් පලක් නොමැත්තේ, ඒවා අවසානයේ සූරාකෑම සඳහා වූ කලාප බවට පත්වන්නේ හෙයිනි. ඉලක්කම් බවට පත්වූ ආර්ථික කාරණා කාලයක් තිස්සේ අපට අසා පුරුදුය. එහෙව් ඉලක්කම් අසන අතරේ ජනයාගේ සිතට නැඟී එන්නේ, ඒ ආකාරයේ ආර්ථික වර්ධනයක් රටේ තිබුණ ද අප තවම රීම් එකෙන් දුවන්නේ ඇයිද යන ප්‍රශ්නයය. මේ රටේ දරිද්‍රතාව උඩට ගියා මිස පහළ නොබසින ලද්දේ රටේ ආර්ථිකය වර්ධනය වුව ද, ජනතාව එහි දූවිලි බවට පත්වූ හෙයිනි. ජනතාව ආර්ථිකයේ පංගුකරුවන් නොවන තාක් කල්, එය වාර්තාවක ඇති සංඛ්‍යා ලේඛනයක් මිස රටේ ජයග්‍රනයක් ලෙස දිග හැරෙන්නේ නැත.

ආර්ථිකයේ උන්නතිය සඳහා යන ගමනේදී ජනාධිපතිවරයා හඳුනාගත් අනෙක් සාධනය කර ගත යුතු කාරණය වන්නේ මහා ජාතික ධනයක් නිෂ්පාදනය කිරීමය.

ජාතික ධනය අතළොස්සක් අතරේ සංකේන්ද්‍රය වී නම්, රාජ්‍යයේ ආර්ථික ස්ථාවරත්වය යනු පවුල් සහ සමාගම් කිහිපයක ජයපැන් බීමක් බවට එය පත්වීම වෙනවා ඇත. ආර්ථික වර්ධනයේ අගය, සංචිත ඉහළ යෑම ආදී කාරණා සමඟ, සහනාධාර ලබාදීම ද ඉහළ යන්නේ මේ හේතුව නිසාය.

හාල් පොතේ සිට ජනසවියට පිය නැඟූ පසු එය සමෘද්ධිය බවට ද ඉන්පසු දිවි නැගුම සහ මේ කාලයේ නම් අස්වැසුම ආදී නමින් සරසා එන්නේ ඔය සඳහා වන ඇන්දිල්ලය. ජනතාවට අසීමිතව ආදරය කරන පාලනයක් වෙත ඒ ආකාරයෙන් සහනාධාර මත්තේ ජනයා තවදුරටත් සිරකර සිටීමේ වුවමනාවක් නැත්තේය.

සිය කතාවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක දිග හරින අද ආර්ථික සංලක්ෂ ත්‍රිත්වය වනාහි ඉදිරි සමයේ මේ රට ගොඩ නැඟෙන කුලුනු තුන වන්නේය.

එහි අත්තිවාරම මිනිසුන් වෙත අසීමිතව ආදරය කිරීමය.

මාර්ටින් ලුතර් කිං සිය ‘ආදරයේ ශක්තිය’ ග්‍රන්ථයේදී නිදහසට විකල්ප නොමැති බවට සටහන් කරමින් කියා සිටින්නේ, “නිදහස කිසිම මොහොතක තෑග්ගක් ලෙස ලැබෙන්නේ නැත. එය සටන් කර ලබා ගත යුත්තක් වේ.” යනුවෙනි. දස වැනි පාර්ලිමේන්තුව යනු ඒ සටන සඳහා වූ ඉදිරි බළඇණියය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division