මධුමේහය හෙවත් දියවැඩියාව, වර්තමානයේ ඕනෑම වයස් කාණ්ඩයකට වැලඳීමේ අවදානමක් ඇති රෝගයකි. ආයුර්වේදයේ හඳුනා ගැනීම අනුව ප්‍රමේහ ගණයට අයත් මෙම රෝග තත්ත්වයට අප ගන්නා ආහාරණ, විහරණ, මානසික හේතු මෙන්ම පාරිසරක හේතු ද බලපා ඇත.
උදාහරණයක් ලෙස වත්මනෙහි අප ආහාර පුරුදු ලෙස ගන්නේ ක්ෂණික හා රසකාරක යෙදූ ආහාරය. කුමක් හෝ ශරීරයට අහිතකරව බලපාන විෂක් යෙදු ආහාරය. රසායනික භාවිතයකින් තොර එළවළුවක්, පලතුරක් සොයා ගැනීම අපහසුය. තවද ආහාරයේ විවිධත්වය අඩු ය. කෙඳි සහිත ආහාර අපේ දෛනික ආහාරයෙන් ඈත් වී තිබේ. නූතන මවුවරු දරුවන්ට උදෑසන ආහාරය සඳහා කැඳ කෝප්පයක්, මුං ඇට, කවුපි තම්බා දෙනවාට වඩා කෙටි ආහාරයක් මිලදී ගෙන හෝ ක්ෂණික ආහාරයක් සාදා දීමට ප්‍රිය කරති.
අධි පෝෂණීය ආහාර ගැනීම හේතුවෙන් සිදුවන හෝමෝන වෙනස් වීම, පරිසරයට නුසුදුසු සේ සිදුකරන ඇඳුම් ඇඳීම හේතුවෙන් ඇතිවන දාහය ශරීර අභ්‍යන්තරයේ අන්තරාසර්ග පද්ධතියට බලපෑම් කර හෝමොන වෙනස් කිරීම තුළින් ඇතිවන ශාරීරික තත්ත්ව දියවැඩියාව රෝගය වැලඳීමේ අවස්ථා නිර්මාණය කර ඇත. රාත්‍රියේ ප්‍රමාණවත් නින්දක් නොලැබීම, විකාලයේ නින්ද , අධික මානසික ආතතිය ද දියවැඩියාව වැලඳීමට ප්‍රධානම හේතුය. අප ජීවත්වන පරිසරය දූෂිත නම්, ජීවත්වන පරිසරය ජීවිත පීඩාවක් නම් නැවත එය මානසික කාරණාවක් වී මෙම රෝගී තත්ත්වය ඇතිකිරීමට බලපායි.
පාලනය කරගන්නේ කෙසේද?
පළමු කාරණාව ජීවිතයේ සරල පැවැත්ම සැලසුම් කරගැනීමය. ගන්නා ආහාර සම්බන්ධව වාරණයක් සහිතව ප්‍රමිතියක් හදා ගැනීමය. පිෂ්ටය සහිත ආහාරයක් ගන්නේ නම් එවැනි පස් ගුණයක් තන්තු සහිත ආහාර ආහාරයට එක් කරගෙන ආහාර රටාවේ පදනම සාදා ගැනීමය. බත් ටිකක් සමඟ එළවළු කොළ මැල්ලුම් වැඩිපුර බත්පතට එක් කරගැනීමය.
මෙවැනි ආහාර පුරුදු ඇතිකර ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵල දෙකකි. ආහාර ජීරණ පද්ධතිය නිවැරදිව ක්‍රියාත්ම කරගැනීම එකකි. එයින් මළබද්ධය නැතිවේ. හෝමෝන පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වේ. සිරුර සැහැල්ලු වේ. ප්‍රබෝධවත් වේ. රෝගයෙන් වැළකෙනවාට අමතරව වාසි විශාල ප්‍රමාණයක්හිමි වේ.
දෛනික ආහාර රාටාව තුළ
උදේට ගන්නා කිරිපිටි කෝප්පය වෙනුවට මොනරකුඩුම්බිය, රණවරා, පිටවක්කා, කඩු පහර, හීන්බෝවිටියා, යකිනාරං, මුස්සැන්ද වැනි කොළ කැඳ කෝප්පයකට හුරුවීම වැදගත්ය. මෙම කැඳවර්ගවලට පේර කොළ දෙක තුනක් එක් කළ හැකිනම් දියවැඩියා රෝගීන්ට ඉතා ගුණය. දියවැඩියා රෝගීන්ට හීන් උඳුපියලිය කැඳ ඉතාම ගුණය. කොළ කැඳ නැතිනම් කුරහන් කැඳක් සාදා ගත්තත් ප්‍රමාණවත්ය.
උදේ ආහාරය සමබල ආහාරයක් විය යුතුමය. සිරුරේ පැවැත්මට යම් ප්‍රමාණයක් පිෂ්ටය හා සීනි අවශ්‍ය වූවත් අවම ප්‍රමාණයකින් පිෂ්ඨය සීනි එකතු කර ගත යුතුය.
දිවා ආහාරය යම් කාල පරාසයක් තුළ ලබාගත යුතුය. ඒ කාල පරාසය තුළ වෙනත් ආහාර ගැනීමෙන් වැළකී සිටිම වැදගත්ය. දිවා ආහාරය වෙනුවෙන් පලතුරක් භාවිත කළ හැකිනම් එයත් හොඳ වෙනසකි. නොමැති නම් බත් ස්වල්පයක් සමඟ මස් හෝ බිත්තර වැනි ප්‍රෝටීන් ප්‍රභවයක් හා තන්තු ආහාර වැඩියෙන් ගැනීම කදිමය. දිවා ආහාරය ගත් කෙනකුට රාත්‍රී ආහාරය අත්හැරීම වරදක් නැත. රාත්‍රී ආහාරය ලෙස කැඳ කෝප්පයක් වැනි දේකට මාරු වීම ඉතා සුදුසුය. විශේෂයෙන්ම කිවයුත්තේ මේ සියලුම තත්ත්ව අදාළ වන්නේ කය වෙහෙසා වැඩ නොකරන, මනස වෙහෙසවා වැඩ කරන සමාජයේ බහුතරයක් වෙත බවය. තම රැකියාවේ ස්වරූපය අනුව ආහාර රටාව වෙනස් කරගැනීමේ අවශ්‍යතාව මේ නිසා පැනනඟින්නේය.
දෛනික පාන ලෙස ඉරමුසු, පොල්පලා, රණවරා, බෙලිමල්, තේ වර්ග භාවිත කළ හැකිය. දියවැඩියාව ඇති අයෙක් පොකුරු වදමල් තම්බා බීම කදිම ඖෂධයකි. දියවැඩියා රෝගියෙක් ඉදුණු පලතුරුවලට වඩා මඳක් ඉදුණු පලතුරු භාවිතයත්, තක්කාලි, අච්චාරු, බලමාළු විනාකිරි වැනි උෂ්ණ ආහාරවලින් සහ පිෂ්ටය අධික ආහාරවලිනුත් මිදීමත් ඉතා වැදගත්ය.
අත් බෙහෙත්
දියවැඩියා රෝගීන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. නමුත් සරල අත් බෙහෙත් ටිකක් දැනගෙන සිටීම වැදගත්ය.
1. රතු දණ්ඩ සහිත මුගුණුවැන්න මිටක් ගෙන කොටා පොට්ටනියක් බැඳ වණ්ඩුවේ තම්බන්න. මිරිකා එහි ඉස්ම උදේට බොන්න.
2. පේර දලු, මුකුණුවැන්න, කොහොඹ දලු, බෙලි කොළ, ගම්මිරිස් ඇට කිහිපයක් එකට දමා කොටා වණ්ඩුවේ තම්බා මිරිකා උදේට හිස් බඩ බොන්න.
3. පොකුරු වදමල් තම්බා දිනකට දෙවරක් බොන්න.
4. වෙනිවැල්ගැට තම්බා බීමෙන් රුධිරසීනි මට්ටම අඩුවෙයි.
5. අරළු, බුළු, නෙල්ලි තම්බා බීමෙන් රුධිරයේ සීනි අඩු වෙයි.
6. කැලෑවල හැදෙන බටු කරවිල රැගෙන හීනියට කපා වියළා එහි ග්‍රෑම් 05ක් වතුර කෝප්ප දෙකකට දමා තම්බා උදේ හවස බොන්න.
7. හීන් බිං කොහොඹ හෙවත් කිරාත, රණවරා ගසේ පංචාංගය සහ පිටවක්කා තම්බා බොන්න.
8. දියවැඩියා රෝගියා තරුණ අයෙක් නම්, ඔහුට වෙනත් රෝග නොමැති නම් මාස හයකට සැරයක් හෝ බඩ විරේක කරගැනීම හොඳය. බඩ විරේක කරගැනීමෙන්ම දියවැඩියාව හොඳ කරගත හැකි අවස්ථා තිබේ.
මේ වෛද්‍ය උපදෙස්වලින් තොරව දියවැඩියා රෝගීන්ට භාවිත කළ හැකි ඖෂධ කිහිපයකි. නමුත් ඇතැම් ඖෂධ වෛද්‍ය උපදේශවලින් තොරව භාවිත කිරීම නුසුදුසුය. ඊට හේතුව රෝගියාගේ සීනි මට්ටම අඩු විය හැකිවීමය.