මෙරට සාම්ප්‍රදායික ගම හැම අතකින්ම පාහේ ස්වයංපෝෂිත වූවකි. තුන්වේල සරිකරගැනීම උදෙසා අවැසි භවභෝග සම්පතින් ගම සුරක්ෂිතව තිබිණි. අවැසි දේ සියතින්ම නිෂ්පාදනය කොට ගැනීම මෙරට අතීත ගමෙහි පිළිවෙත වී තිබිණි.
පරිභෝජනය සඳහා අවැසි භවභෝග සම්පත් ගම තුළම වගා කොටගත් ගැමියන් ගොවිතැන් කටයුතු සහ එදිනෙදා ප්‍රයෝජනයට අවැසි උපකරණ ආදිය නිපදවා ගැනීමේ හැකියාවෙන් ද යුතු විය. මේ අපූර්ව ජීවගුණය හේතුවෙන් අද ද නගරයට සාපේක්ෂව ගමෙහි ආහාර සුරක්ෂිතතාව සවිමත් එකකි. කුමන අහේනියකදී වුවද ගම තුළින්ම ආහාරයට යමක් සොයා ගැනීම ගැමියන්ට එතරම් අසීරු කාර්යයක් නොවේ. වස විසෙන් තොර ආහාර සම්පතක හිමිකම තවමත් ගැමියන් සතු වූ මාහැඟි වාසනාවකි.
වැව ඉපැරණි ගමෙහි මහාර්ඝතම සම්පත විය. එදිනෙදා මිනිස් පරිභෝජනයට සුදුසු නෙළා ගත හැකි නේක පලා වර්ග වැව් තාවුල්ලේ තැන තැන වැවී තිබුණේය. එසේ වැවුණු මුකුණුවැන්න, කංකුන්, තැල්කොල, කෙකටිය දඬු ආදියෙන් මැල්ලුම් සහ රසවත් ව්‍යාංජන සැකසීමට ගැමිලිය මහත් සේ සමර්ථ වූවාය. නෙළුම් අල, කෙකටිය අල, ඕලු දඩු ආදිය මඟින් ද ඇය මනාකොට වෑංජන සැකසීය. වැවෙන් නෙළාගත් මේ බොහෝ අල සහ පලා වර්ග ඖෂධීය වටිනාකමින් යුතු විය. ඒවා කායික සහ මානසික සහනයට ද මඟ පාදා ඇත. ඕලු හාල් බත් ආයුර්වේදය මඟින් ද නිර්දේශිත ඔසුවක් බඳු වූ ආහාරයකි.
ගමේ වැවෙන් වැව් මාළු
දවසේ එක් වේලකට හෝ වැව් මාළු කෑල්ලක් සිය බත් පතට එකතු කර ගැනීමට ගැමියන් අමතක නොකළේය. මෙරටට ආවේණික මත්ස්‍ය සම්පතින් වැව් අමුණු සරුව තිබුණි. දුම් කරවල මෙන්ම ලුණු කරවල ද සැකසීමට ගැමියන්ට පිහිට වූයේ ගම්මැදි කොටු වැවමය. නෙළු මාළු පිරිසිදු කොට, ලුනු දමා දින කිහිපයක් අව්වේ වියළා ලුණු කරවල සැකසූ ඔවුහු දුම් මැස්ස මත දිනක් හමාරක් මඳ ගින්නේ වියළා දුම් කරවල පිළියෙල කරගත්හ. රසින් සපිරි වැව් කරවල ගැමියන්ගේ ආහාර වේලේ අනිවාර්ය අංගයක් වී තිබේ. ගම්මැදි හැම වැවකම පාහේ වැව්දිය වසා පැතිර තිබූ නෙළුම් වියන විචිත්‍රවත් වූවකි. පිපී රේණු හැලුණු මෝරා ආ නෙළුම් කලංකය පොඩ්ඩන්ට අනුව නම් නෙළුම් බට්ටන් රසවත් ආහාරයකි. අනුරාධපුරය, තලාව, පුරාණ කණ්ඩක්කුලම ගමේ හැටපස් වියැති “කේ.ආර්.පී. ස්වර්ණලතා” මේ අතීත ජීවන අරුමැසිය පිළිබඳව මෙසේ කරුණු කීවාය.
“ඇත්තටම ඉස්සර මේ තරම් ජීවිතේ අමාරු නෑ. අපිට කන්ඩ, බොන්ඩ ඕන හැමදෙයක්ම වගේ ගම ඇතුළේ තිබුණා. කවුරුත් සහයෝගෙන් ජීවත් වුණා. මෙහෙම තරගයක් තිබුණෙ නෑ. දැන් පුදුම කලබලයක්නේ තියෙන්නේ. කිසිම කෙනකුට සැනසීමක් නෑ. කන දෙයක්වත් පත්තියන් වෙන්නෑ. ගොවිතැන් බත් කරගෙන හවසට වැවෙන් වතුර ටිකක් නාගෙන සන්තෝසෙන් හිටියා. කෑමක් හැදුවත් අපි බෙදා හදා ගත්තා. ඒ කාලේ වැවට ගියහම දවස් දෙක තුනකට කන්ඩ දේවල් අපි එකතු කරගෙන එන්නේ. කන බොන දේවල්වල කිසිම වස විසක් තිබුණෙ නෑ. දෙයියනේ කියලා ඒ කාලේ ගම්වල මිනිස්සුන්ට හොඳට ආයුෂ තිබුණා.”
හේන් වගාව
හේන වගාව ද මෙරට ගැමි ස්වයංපෝෂිත ආර්ථික රටාව සවිමත් කළ මනා තෝතැන්නකි. සිය ජීවනෝපාය හේන් ගොවිතැනෙන් සරිකර ගැනීම සඳහා වෙහෙසෙන ගැමියන්ගේ දසුන අද ද සමහර රජරට වන මායිම් ගම්මැදිවල දුලබ නොවෙති. වල් කොටා පුලුස්සා ලහි ලහියේ සැකසු බිමෙහි ඇදහැලෙන මහ වැසි සමඟ වපුරන කුරහං, සිටවු බඩඉරිඟු, මෙනේරි, කව්පි, මුං ආදි ධාන්‍ය වර්ග මෙන්ම වට්ටක්කා, වැටකොළු, කරවිල, අවර, ඇත්දළ බණ්ඩක්කා, ගොරකා තක්කාලි, මෑ කරල්, නියං වැටකොළු, තුඹ කරවිල, පුහුල් බටු, දිය ලබු ආදි එළවළු ගැමියන්ගේ ආහාර සුරක්ෂිතතාවට හේතු වී තිබේ. වංගෙඩිය, කුරහන් ගල, පිට්ටු බම්බුව ආදි මෙවලම් අතීත පවුලෙහි ආහාර විවිධත්වයට මනා රුකුලක් වී ඇත. බත් හැරුණු විට පිට්ටු, රොටී ආදිය ඒ සඳහා ඉවහල් වී තිබේ.
බඩවැටි, ඕවිටි, පිල්ලෑ ආදිය පීරා සාරන, කිරිහැන්ද, කිරිඅඟුණ, නීරමුල්ලිය, අගුණ, ගිරාපලා, මොනරකුඩුම්බිය ආදි පලා කොළ නෙළා ගෙන ඒමද ගැමි ළිය සතු කාර්යක් වී තිබිණි. වැට මායිම්හි වැවුණු රසයෙන් හා ගුණයෙන් පිරුණු මුරුංගා, කොස්, පොළොස් ආදිය මෙන්ම කොහිල දලු, දඬු නෙළා ගැනීමට ද ඇය සමර්ථ වූවාය. සාගත සමයේ දී පවා ගමේ අහේනිය පමා කරවන මේ ජීවන වටිනාකම් පිළිබඳව එප්පාවල පුරාණ ගම්මැද්දේ “පද්මා කුමාරිහාමි මහත්මිය” පැවසුවේ මෙවැනි කරුණු පෙළකි.
“අපි කවදාවත් ඒ කාලේ සල්ලි දීලා වතුර බිවුවේ නෑනේ. අද බොන වතුරත් ගන්ඩ වෙලා තියෙන්නේ සල්ලි දීලනේ. වැවේ වතුර නිල් කැටේට තිබ්බා. ඒ වතුර බොන්ඩ ඒ කාලේ බයක් තිබුණෙ නෑ. අනිත් එක ගමේ තිබ්බ පොදු දේවල් ගැන ලොකු වුවමනාවක් හැමෝටම තිබ්බා. පන්සල ගැන එහෙම ලොකු ගෞරවයක් තිබ්බා. අපේ කාලේ තිබ්බ ඇත්දළ බණ්ඩක්කා, ගොරකා තක්කාලි, තුඹ කරවිල එහෙම දැන් හරි අඩුයි. ඔය සාරන, කිරි අඟුණ වැල් එහෙම කොහේ බැලුවත් වැවිලා තිබ්බා. දැන් ඒවත් පේන්ඩ නෑ. මං කියන්නෙ නෑ හැමදේම ඒ කාලේ වගේ තියෙන්ඩ ඕන කියලා. වෙනස් වෙන්ඩ ඕන. දියුණු වෙන්ඩ ඕන. ඒත් සිද්ධ වෙන වෙනසත් එක්ක හැමෝටම යහපතක් වෙන්ඩ ඕන.”
තඹුත්තේගම විශේෂ - ඩබ්ලිව්. ප්‍රදීප්