තුංමංහන්දියේදී අමිතගේ ඉල්ලීම මත මම බයිසිකලය නැවැත්තුවේ එක දිගටම ගමන් කිරීමෙන් දැනුණු විඩාව මඳක් සංසිඳුවා ගත යුතු යැයි ඔහු කළ ඉල්ලීම අනුවය.
“තුංමංහන්දිය”
තුංමංහන්දියේදී බයිසිකලය කඩමණ්ඩිය ඉදිරියේ නැවැත්වූ විට‚එයින් බසිමින් හෙල්මටය හිසින් ඉවත් කරමින් අමිත මිමිණුවේය.
“රදාවාන හන්දියෙන් පාර තුනකට බෙදෙයි………” මා කියත්ම
“ඒ පාර උඹට සේකරගෙ නවකතාව මතක් වුණාද?”කියූ අමිත
“වරෙන්‚ වරෙන් ප්ලේන්ටියක් ගහල‚ ආයෙ ගමන පටන් ගම්මු.” කියමින් හන්දියේ තේ කඩය දෙසට ගමන් කළේය. අප දෙදෙනා ඒ කුඩා හෝටලයට ගොඩවන විටම එහි ඉදිරිපිට හිටගෙන සිටි යාචකයෙක් ද අප සමඟම හෝටලයට ඇතුළු විය. අප එහි මේසයකට වාඩි වූ විට ඔහු ද අප පුදුමයට පත් කරමින් අප ඉදිරියේ වාඩි ගත්තේ හරියට ඔහු ද අප දෙදෙනා සමඟ ම පැමිණියකු මෙනි. ඔහු එසේ අප හා අසුන් ගැනීම මට කෙසේ වෙතත් අමිතට එතරම් රුචි නොවූ බවට ඔහුගේ මුහුණට නැඟුණු බැල්මෙන් පිළිබිඹු විය.
“මල්ලී අපට ප්ලේන්ටි දෙකයි” අමිත හඬ නඟා කියන විටම යාචකයා‚
“ මට ඔරේන්ජ් බාර්ලි බෝතලයයි” කීවේ ඔහු ද අප හා පැමිණියකු ලෙස හැමටම ඇඟෙන පරිදිය. අනතුරුව ඔහු තවමත් මුහුණු පුළුටු කරගෙන සිටින අමිත දෙස ද මා දෙස ද බලා කුලුපග ලෙස සිනාසුණේය. අමිත යම් අනිසි පියවරක් ගනිතියි සිතුණු නිසා මම අප දෙස බලා සිටින වේටර් කොලුවා දෙස බලා එය අනුමත කරන ඉඟියක් දුනිමි.
“මට නං බාර්ලි බෝතලේ තරම් වෙන මොනව වුණත් වටින්නෙ නෑ.” ඔහු කලකින් නොමදින ලද කහ පැහැති දත් විලිස්සමින් මා දෙස බලා කීවේය. ඒ සිනාවේ අව්‍යාජභාවය මා සිත තුළ ඔහු පිළිබඳ අනුකම්පාවක් ජනිත කළේය.
මේ මිනිසා දෙස පරීක්‍ෂාකාරීව බලන විට මට පෙනී ගිය කරුණක් වූයේ ඔහු යාචකයකු වුවද ඇඳ සිටියේ ජාතික ඇඳුම බවයි. එය කිලිටි වී දුර්වර්ණ වී ගොසිනි.
“මහත්තුරු දුර ගමනක් යනව වගෙයි” ඔහු මා දෙස බලා විමසුවේය. අමිතගේ මුහුණ තවමත් අඳුරුය.
“ඔව් අපි රුවන්වැල්ල පැත්තෙ යනවා” මම පිළිතුරු දුනිමි.
මේ අතර වේටර් කොලුවා අප ඉල්ලූ පරිදි ප්ලේන්ටි හා බීම බෝතලය ද ගෙනත් තැබුවේය.
“මට ඔරේන්ජ් බාර්ලි එක අමුර්තෙ වාගෙ” ඔහු වීදුරුවට බීම වත් කරමින් කීවේය.
“මුන්නැහේ මේ රදාවානෙ ද?” මම ඇසුවෙමි.
“මං උපන්නෙ මෙහෙ නෙවෙයි. ඒත් දැන් ඉන්නෙ අන්න අතන.”
මම ඔහු අත දිගු කළ දිසාවට හැරී බැලුවෙමි. ඔහු පෙන්වන්නේ තුංමංහන්දිය හෙවත් වැලිවේරිය දෙසින් එන පාර දෙකකට බෙදෙන තැන මැද ඩෙල්ටාවක් ලෙස බෙදුණු බිම් කඩයි. එහි මැද රදාවානේ විසූ මහා කවියා වන මහගමසේකරයන්ගේ උඩුකය ප්‍රතිමාවයි.
“මං ජීවත් වෙන්නෙ ප්‍රබුද්ධත් එක්ක. උන්නැහේ කවදාවත් මට යන්න කියල නෑ” යාචකයා සිනාසෙමින් කීවේය. ඒ කියමන තුළ ඔහුගේ ජීවිතය පිළිබඳ යමක් ගැබ් වී ඇතැයි මට සිතුණි අමිත නම් තවමත් බුම්මාගෙන සිටියි.
“නිදි නැති යාමේ-රෑ යාමේ
කාන්සියෙන් ඔබ හිඳිනා වේලේ
සුළඟක් වාගේ ඔබට හොරෙන්
මම ඔබ වෙත එන්නම්”
යාචකයා ගීතවත් වෙයි. ඔහුගේ හඬ මධුරය. ගැඹුරුය.
තේ කඩය සිසාරා ඔහුගේ ගැඹුුරු හඬ පැතිරී යයි. මම වටපිට බැලුවෙමි. කැෂියර් මේසයේ වාඩිවී සිටින මුදලාලි හෝ වේටර්වරු හෝ ආහාර ගනිමින් සිටින්නන් හෝ ඔහු ගේ ගැයුමට අවධානයක් යොමු කරන බවක් නොපෙනේ.
“මුන්නැහේට හොඳ කටහඬක් තියෙනවා” මම කීවෙමි.
“ඇයි මහත්තයො මං විශාරද විභාගය පාස් කරල තියෙනවා. මං ඉස්සර සංගීත ගුරුවරයෙක්. පැන්ෂන් යනකොට මගේ ගුරු සේවා කාලය අවුරුදු තිස් පහයි.”
අමිතගේ මුහුණට යම් ආලෝකයක් වැටුණේ මේ වචන ඇසීමෙන් පසුය. අමිත තුළද මා තුළ මෙන්ම නැඟුණේ මහත් කුතූහලයකි.
“එතකොට මෙහෙම ඉන්නෙ ඇයි?” අමිත ඇසුවේය. එය නෑසුණාක් මෙන් ඔහු අන්තිම බීම උගුරත් කටට හලා ගත්තේය. අනතුරුව මා දෙස බැලූ හේ
“මහත්තයට මං සාස්තරයක් කියන්නද? මෙහාට දෙන්න බලන්න අත” කීවේය.
මම මගේ සුරත දිගු කළෙමි. ඔහු මගේ සුරතේ ඇඟිලි තුඩු අල්ලාගෙන අල්ලේ රේඛා පරීක්‍ෂා කරන්නට විය.
“මහත්තයගෙ හිත හොඳයි කලාවට ළැදියි. හරිම සංවේදියි. නිස්සරණාධ්‍යාසයෙන් සමාජයට සේවය කරන්න කැමතියි. කපටියන්ට අහුවෙනවා. ඒ හින්දම දියුණුවක් නෑ. සල්ලි නෙවෙයි මිනිස්සුයි හම්බ කරන්නෙ.” කියමින් මගේ ඇඟිලි නැවීය. ඉක්බිති අමිත දෙසට හැරී‚
“මහත්තයගෙ අතත් දෙන්න බලන්න” යි කීවේය. අමිත නොසන්සුන් විය.
“නෑ‚ නෑ එපා. මං සාස්තර විශ්වාස කරන්නෑ” යි අමිත පසුබෑවේය.
යාචකයා ඔහු දෙස බලා සරදම් සිනාවක් පෑවේය.
“හරි මහත්තය සාස්තර විශ්වාස කරන්නෑ තමයි. මං මහත්තයගෙ මූණ බලල කියන්නම්. මහත්තය කවුරුවත් ගහන පදේට නටන කෙනෙක් නෙවෙයි. මහත්තය කටයුතු කරන්නෙ මහත්තයට ඕන විදිහට. කවුරුත් දෙන උපදේශ මහත්තය අහන්නෙ නෑ. හරි ගියත් වැරදුණත් කරන්නෙ තමන්ට ඕන දේ. මහත්තය අනුන් කියන දේ කරන කෙනෙක් නෙවෙයි. අනුන් ලවා තමන්ට ඕන දේ කරගන්න කෙනෙක්. දියුණුවක් නෑ වගේ ලෝකෙට පෙන්නනවා. යටින් දියුණු වෙනවා.” අමිතගේ මුහුණ යළිත් අඳුරු විය. අමිතගේ මුහුණටම මට කියාගන්න බැරිව තිබූ දෙයක් ඔහු වෙතින් කියවීම ගැන මට ඇති වූයේ බලවත් සතුටකි. යාචකයා නැඟී සිටියේය.
“ඔන්න එහෙනං මං ගියා. බීම බෝතලේ අරන් දුන්නට බොහොම පින්.” කී ඔහු නැඟිට හෝටලයෙන් පිටව ගියේය.
“මිනිහගෙ හැටි ඔහොම තමා.” මුදල් ගෙවද්දී මුදලාලි කීවේය. මා මුදල් ගෙවද්දී
“ඉතින් මුදලාලි‚ කඩේට එන මිනිස්සු මිනිහට අපි වගේ සල්ලි ගෙවනවද?”යි අමිත ඇසීය.
“මෙහෙමනෙ මහත්තයො‚ ඔය මනුස්සය හිඟන්න වුණාට හෙන මීටරේ. කඩේට එන මිනිස්සු දිහා හොඳට බලා ඉඳල‚ මහත්තයල වගේ හිත හොඳ මිනිස්සු අඳුරගෙනයි මිනිහ ඇතුළට එන්නෙ. නැතුව දකින දකින හැමෝම පස්සෙන් එන්නෙ නෑ.”
අප පුදුමයට පත්කරවමින් මුදලාලි කීවේය.
“හරි අපූරු මනුස්සයෙක් නෙ” කියමින් මම අමිත සමඟ හෝටලයෙන් පිටවුණෙමි. අමිත බයිසිකලය පදවාගෙන යද්දී‚පසුපස ආසනයේ වාඩිගෙන හිඳිමින්‚ මා දිගින් දිගටම කල්පනා කරමින් ගියේ මේ අපූරු මිනිසා පිළිබඳවය. ඔහු මගේත් අමිතගේත් අත් බලා කී සියල්ල නිවැරදිය. කිසිදා අප ඇසුරු නොකළ මේ මිනිසා එලෙස අප ගැන කියන්නට සමත් වූයේ කෙසේද? මේ පුද්ගලයා විශාරද විභාගය සමත්‚ගුරු ජීවිතයේ විශාල අත්දැකීම් සමුදායක් ඇත්තෙකි. එවැන්නකු යාචකයකු බවට පත් වූයේ කෙසේද? අමිත ද එතැනින් පිටවූ තැන් සිට ගොළුවකු සේ සයිකලය පදවාගෙන යන්නේ නිසැකයෙන්ම ඔහුගේ සිතෙහි ද මෙම ප්‍රශ්න නැඟෙන නිසා විය යුතුය.
පසුදිනෙක මම යළි ඔහු සොයා ගියෙමි. ඒ මධ්‍යාහ්නයේ මම ඔහුට දිවා ආහාරය සඳහා හෝටලයට ආරාධනා කළෙමි. ඔහු නොපැකිළිව මගේ ආරාධනය පිළිගත්තේය. කෑම කන අතර මම ඔහුගේ වගතුග පිළිබඳ විචාළෙමි.
ඔහු උපන් ප්‍රදේශය බණ්ඩාරවෙලය. ඔහුගේ බිරිය ද ගුරුවරියක් වූවාය. පාසලේදී ඇති වූ දැන හඳුනාගැනීම දුර දිග යාමෙන් ඔවුන් අතර ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනැඟුණි. එහෙත් කුල නොගැළපීමක් නිසා මවුපිය දෙපාර්ශ්වයෙන් ඔවුන්ගේ විවාහයට විරෝධතා ඇති විය. ඒවා නොතැකූ ඔවුහු විවාහ වූහ. බණ්ඩාරවෙල බදුලු පාරේ කුඩා කඩ කාමරයක් කුලියට ගත් ඔවුහු එහි පදිංචි වී යුග දිවිය ආරම්භ කළහ. ඔහු කියන ආකාරයට ඒ සුන්දර සමයකි. පුතා උපදින විට මේ කුඩා කුටියේ අඩු පහසුකම් මැද දිවි ගෙවුව ද අරපිරිමැස්මෙන් කටයුතු කළ සිය බිරියගේ ධෛර්යය නිසා‚දුව උපදින විට ඔවුන්ගේම කුඩා නිවෙසක් තනා ගන්නට ඔවුන් දෙදෙනාට හැකි විය. කුරුලු කැදැල්ලක් සේ සුන්දර වූ ප්‍රීතිමත් වූ ඒ නිවෙසේ ඔවුහු කලක් සතුටින් විසූහ. එහෙත් ඉගෙනීමට ප්‍රිය නොකළ දරුවෝ ඒ සතුට බිඳ දැමූහ. සේවයට මහත් සේ කැපවූ මවුපියන්ගේ අවිවේකී ජීවිතවලින් අයුතු නිදහසක් ගත් පුතු ගැටවර වියේදී මත්කුඩුවලට ඇබ්බැහි වී අපරාධකරුවකු වී සිරගත විය. දියණිය ද ත්‍රිරෝද රථ රියැදුරකු හා රහසේ පැන ගියාය. මේ දුක දරා ගත නොහැකි නිසාදෝ මව පිළිකා රෝගයට ගොදුරු වී බොහෝ දුක් විඳ මියගියාය. අප මිතුරා ද මත්පැනට ඇබ්බැහි විය. එතැන් පටන් ගුරු සේවයේ අපකීර්තිමත් සේවයක නිරත ව විශ්‍රාම ගන්වනු ලදුව ජීවිතය ගැන ඇතිවූ උග්‍ර කලකිරීම මත ඉබාගාතේ ඇවිදින්නට පටන් ගත් ඔහු දැන් නතරව ඉන්නේ රදාවානේ තුංමංහන්දියේය.
“ඉතින් දරුවො ගැන හොයා බැලුවෙ නැද්ද?” මම සංවේගයෙන් ඇසුවෙමි.
“වැඩක් නෑ මහත්තයො. අර අහිංසක ගෑනිව මරා ගත්ත දරුවො මට මොකටද”?
“උන්ව ලොකු මහත් කරන්න ඒ මනුස්සය මොන දුකක් වින්දද? හරියට කුසට අහරක් නැතුව‚කිසි කෙනෙකුගෙ හව්හරණක් නැතුවයි උන්ව ලොකු මහත් කළේ. එයා මාත් එක්ක නාවනං හොඳ සැප ජීවිතයක් ගෙවන්න තිබුණා. අම්ම‚ තාත්ත‚ පොහොසත් නෑදෑයො‚ සේරම අහිමි කරගත්තා‚ මං වගෙ කුලහීනයෙක් එක්ක ඇවිත්. ඒත් අපි සතුටින් හිටියා. දරුවො ඒ සේරම විනාශ කළා. එයා අන්තිම කාලෙ හිතුවෙ මවුපියන්ට පිටුපෑවට එයාට පල දුන්න කියල. එයා නැති වුණාම මං පාරට බැස්සෙ එයාට ඒ ඉරණම අත් කරල දුන්න මගෙන්ම පළිගන්න.” ඔහුගේ දෑසින් කඳුළු කඩා වැටෙයි. ඒ කඳුළු දූවිල්ලෙන් දුර්වර්ණ වූ දෙකොපුල් හරහා රූරා බසියි.
“ජීවිතෙන් පළිගන්න එක ප්‍රශ්නවලට විසඳුමක් නොවෙයි නේද? යහපත් ජීවිතයක් ගතකරල‚පින් දහම් කරල‚ ඒ ඇත්තිට පින් පමුණුවන්න තිබුණනෙ.” ඔහුගේ රිදුණු හදවත මඳක් හෝ සනසවන්නට මම තැත් කළෙමි.
“ඒ ටික තේරෙන කොට ප්‍රමාද වැඩියි මහත්තයා.” ඔහු කෑම නවත්වා අත සෝදන්නට විය.
“කෝ කෑම කාල නෑනෙ.” මම කීවෙමි.
“ඇති මහත්තයො වැඩිය බඩ පුරවන්න හොඳ නෑ. මොකද මට මෙහෙම හැමදාම කන්න ලැබෙන්නෙ නෑනෙ. බඩ කෑමවලට පුරුදු කරගෙන බෑ. කොහොම වුණත් මහත්තයට ගොඩක් පින්. වැඩිවැඩියෙන් පතන හැම දේම ලැබෙන්න ඕන.” කියමින් ඔහු නැඟී සිටියේය. මම මුදල් ගෙවා ඔහුත් සමඟ ම හෝටලයෙන් පිටතට ආවෙමි. පිටතට පැමිණි ඔහු ඔහුගේ කිළිටි ඔලගුවට අත දමා යමක් මිටට ගෙන කටෙහි රුවා ගත්තේය. මා සිතුවේ එය බුලත් විටක් කියාය. ඒත් එය එසේ නොවන බව පෙනී මම ප්‍රශ්න කළෙමි.
“ඔය මොනවද කටේ හලා ගත්තෙ?”
“මේ මහත්තයො ගොරකා..”.මට මහත් විමතියක් ඇතිවිය.
“ඇයි කෑමට පස්සෙ ගොරක කන්නෙ?”
“ඇයි මහත්තයො මට ගෙයක් දොරක් වැසිකිළියක් තියෙනවයැ? මේ කන බොන ඒව බහිශ්‍රාවය කරන්න මට විදිහක් නෑ. කවුරුවත් මේ පළාතෙ අය මට එයාලගෙ වැසිකිළි පාවිච්චි කරන්න දෙන්නෙ නෑ.”
“ඉතින්?”
“ඉතින් ගොරක කෑවාම බඩ වේළනවා. ශරීර කෘත්‍යයක් අවශ්‍ය වෙන්නෙ නෑ.”
“දෙවියනේ! ඔහේ මැරිල යයි” මම කම්පාවෙමින් කීවෙමි.
“ඉතින් හොඳයිනෙ මහත්තය. ඒක වෙන්නෙ නැති එකනෙ ප්‍රශ්නෙ.” කියමින් ඔහු යන්නට ගියේය.
මේ හමුවෙන් සෑහෙන කලක් යනතුරු මට රදාවාන ප්‍රදේශය වෙත යාමට අවස්ථාවක් නොලැබුණි. මාස තුනහතරකට පසු කිරිඳිවැල අවමංගල්‍ය උත්සවයකට යන්නට මට සිදු විය. මම රදාවානේ තුංමංහන්දියේදී මෝටර් සයිකලය නවත්වා‚ මගේ යාචක මිතුරා පිළිබඳව විපරම් කළෙමි. හෝටලයේ කැෂියර් මේසයේ සිටින මුදලාලි මා හඳුනා ගත්තේය. මම ඔහු වෙතට ගොස් යාචක මිතුරා පිළිබඳ ව විමසුවෙමි.
“අපොයි මිනිහ මළානෙ මහත්තයො.” මුදලාලි කීවේ ගණනකට නැතිවය.
“ඒ මොනව වෙලාද?” මම කම්පාවෙමින් ඇසුවෙමි.
“මොනව වෙලාද දන්නෑ. අර සේකර මහත්තයගෙ ස්මාරකේ යට මැරිල වැටිල හිටියා.”
“අයියෝ! පව්.” මට කියවුණි.
“මහත්තයට කියන්න‚ මිනිය ඉදිමිලා තිබුණා. මැරිල දවස් ගාණක් වෙන්ඩ ඇති. තව පොඩ්ඩෙන් පළාතම ඉවරයි.”
“ඉතින් ඊට පස්සෙ මොකද කළේ?”
“මොනව කරන්නද? කුලීකාරයො දාල එතනම වළ කප්පල වළ දැම්මෙව්ව. මටමයි ඒකෙන් ගාණකට තට්ටු වුණේ ”
මම ඔහු වළ දැමූ තැනට ගොඩ වුණෙමි. කිසිදු සැරසිල්ලක් හෝ මල් වඩමක් හෝ එහි නොවීය. අලුතින් තණ කොළ වැඩෙන පස් ගොඩැල්ලක් පමණක් මගේ නෙතට හසුවිය.
එතැනින් පිටත් වී එද්දී මගේ සිත මට දොස් පවරන්නට විය. මේ අසරණ මිනිසාගේ තොරතුරු දැනගෙනත් ඔහුට පිළිසරණක් වන්නට මට නොසිතුණේ මන්ද? ඔහු ගැන තව උනන්දු වී‚ ඔහුව මහලු නිවාසයකට යැවීමට කටයුතු කරන්නට තිබුණා නොවේද? සමහර විට අමිතට කීවා නම් ඔහු ද ඊට එකඟ කරවා ගන්නට තිබුණේ යැයි ද මගේ සිත මට දොස් පවරන්නට විය.
“මළ හිරු බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමු ගන්නම්
අඳුරට ඉඩ දී අඳුරේ සැඟැවී
ඔබගෙන් වෙන්වී මම යන්නම්”
ඔහුගේ මධුර‚ ගැඹුරු හඬ තවමත් මා සිත තුළ රැව් දෙයි.
අරුණ බාලසූරිය