කන්ද උඩරට සෙංකඩගල රාජධානි ඉතිහාසයේ බලගතු චරිත අතර මඩුගල්ලේ මහ දිසාවේ, 19 වැනි සියවසේ මුල් භාගයේදී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට එදිරි ප්‍රතිරෝධයේ තීරණාත්මක සේනාධි නායකයෙකි. 1818 ඌව – වෙල්ලස්ස කැරැල්ලට ඔහුගේ දායකත්වය, ශ්‍රී ලංකා ඉතිහාසයේ පරිවර්තනීය කාලපරිච්ඡේදයකි. ස්වයං පාලනය සහ සංස්කෘතික අන්‍යතාව සුරැකීම සඳහා වූ ජන අරගලය කෙරෙහි ඔහුගේ බලපෑම ස්මරණය කළ යුතුය.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ප්‍රධාන නිලමේවරයෙක්
උඩරට රාජධානිය සහ යටත්විජිත හමුදා අතර යුද ගැටුම් උත්සන්න වූ අරාජික කාල සමයට පෙර මඩුගල්ලේ උඩ ගබඩා නිලමේගේ රාජකාරිය නම් වත්මන් මුදල අමාත්‍ය ධුරයට සමවේ. එනම්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ප්‍රධාන නිලමේ වරයකු ලෙස උඩරට රාජධානි පරිපාලනයේ බලගතු තනතුරකි. මඩුගල්ලේ දිසාව පෙළපත් නාමයෙන් කරුණාතිලක ජයසුන්දර වීරසේකර රාජපක්ෂ වාසල නායක නිසි මුදියන්සේ වෙයි. සෙංකඩගල රාජධානියේ පරිපාලනය හා චාරිත්‍රානුකූල කාර්යයන් සඳහා ගැඹුරින් සම්බන්ධ වූ ඔහු 1794දී රාජකීය පරිපාලන ආයතනයේ වන්නක්කු නිලමේ (ගණකාධිකාරිවරයකු) ලෙස රාජ්‍ය සේවයට එක්විය.
15 වැනි සියවසේ අගදී දේශපාලනික, සංස්කෘතික හා සමාජීය ජීවිතයේ කේන්ද්‍රස්ථානයක් ලෙස උඩරට රාජධානිය විරාජමාන වූ අතර, සෙංකඩගල රාජ්‍යය යුරෝපීයන්ගේ කූඨ උපක්‍රම හා ආක්‍රමණ හමුවේ 1815දී කන්ද උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් අවසන් විය.
බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධ කැරලිකාර කණ්ඩායම් සමඟ සන්ධානගත වීම, 1816 මැද භාගයේදී ශ්‍රී දළඳා වහන්සේ රහසින් පිටමං කිරීමට මල්වත්තේ නායක හාමුදුරුවන් පොලඹවා ගැනීම හා උඩරට රාජ්‍යයට නව රජෙකු පතා කතරගම දෙවියන්ට හා මහියංගණය සමන් දේවාලයට පුද පඬුරු යවා ආශීර්වාද ලබා ගැනීම යන චෝදනා මත, ඌව කැරැල්ලේ ක්‍රියාකාරී නායකත්වයට පෙර 1816දී ආණ්ඩුකාර රොබට් බවුන්ඩ්‍රිග් විසින් ඔහුගේ සියලුම දේපළ රාජසන්තක කර නිලතලවලින් පහකොට වසර 2ක සිරදඬුවම් නියම කළේය. යාපනය බන්ධනාගාරයේ සිරගතවී සිටි මඩුගල්ලේ දිසාව මෙම කැරැල්ලේදී සිරගත වූ පළමු කැරලිකරුවා ද විය. ඊට අට මසකට පසු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයාගේ කිරුළ හිමි කුමරාගේ උපන් දිනය නිමිති කරගෙන 1817 අගෝස්තු 12 වැනිදා මඩුගල්ලේ මහ දිසාවේ නිදහස් කරන ලදී.
බොහෝ ප්‍රාදේශීය නායකයන් යටත්විජිත බලවතුන් විසින් සිදු කරන ලද පිල් මාරු වන දේශපාලන න්‍යාය අනුගමනය කළද මඩුගල්ලේ අධිරාජ්‍ය විරෝධී කැරැල්ලට පණ දුන් ස්වෛරීත්වය සඳහා වූ ජන අරගලය නියෝජනය කරමින් ජාතික වීරයකු ලෙස ඔහුගේ ස්ථානය තහවුරු කළේය.
ඓතිහාසික නිදහස් සටනට නායකත්වය
1818 ඌව-වෙල්ලස්ස කැරැල්ලේදී බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ඇති වූ ඓතිහාසික නිදහස් සටනේ නායකත්වය මඩුගල්ලේ මහ දිසාව සතු විය. අවසානයේ බ්‍රිතාන්‍යයෝ කැරැල්ල මැඬපැවැත්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මඩුගල්ල මහ දිසාව සහ අනෙකුත් නායකයන් කැරැල්ල සම්බන්ධයෙන් වැරදිකරුවන් විය.
කැරැල්ල 1817 අග භාගයේදී ආරම්භ වූ අතර, මුලින් කැප්පෙටිපොළ දිසාවේ, පිළිමතලව්වේ උවේ දොරේසාමි වැනි කැපී පෙනෙන පුද්ගලයන් සහ කිවුලේගෙදර මොහොට්ටාල සහ කොහුකුඹුරේ රටේ රාල ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය නායකයන් විසින් මූලිකත්වය ගන්නා ලදී. කැරැල්ලේ ආරම්භය සාර්ථකත්වය පිළිබිඹු කරමින් මාතලේ සහ මහනුවර ඇතුළු සැලකිය යුතු භූමි ප්‍රදේශ අල්ලා ගැනීමට කැරලිකරුවන් සමත් විය. කෙසේ වෙතත්, ව්‍යාපාරයේ දුර්වල සැලසුම් සහ කණ්ඩායම් අතර සන්නිවේදන සහ සම්බන්ධීකරණයේ ඌනතාවයෙන් ද සමහර ප්‍රාදේශීය ප්‍රධානීන් බ්‍රිතාන්‍යයන්ට පක්ෂපාතීව සිටි අතර, ඔවුන්ට තීරණාත්මක සහයෝගය සහ සම්පත් ලබා දුන් අතර, එය කැරලිකරුවන්ගේ ප්‍රයත්නයට වළ කැපීමට හේතු විය.
අවසන් මොහොත
කැප්පෙටිපොළගේ නායකත්වය සාර්ථකත්වයෙන් මෙන්ම ඛේදවාචකයෙන් ද කැපී පෙනුණද ඔවුහු 1818 නොවැම්බර් 16 වැනිදා බ්‍රිතාන්‍ය හමුදා විසින් අල්ලා ගන්නා ලදුව, නොවැම්බර් 26 වැනිදා ඉංග්‍රීසින් විසින් හිස ගසා දැමූයෙන් වීර මඩුගල්ලේ සිය ප්‍රාණය අවකාශයට මුසු කළේය. නිදහසින් පසු නැවත ශ්‍රී ලංකාවට කැප්පෙටිපොළගේ සිරස බාර දුන් බ්‍රිතාන්‍යයෝ මඩුගල්ලේ මහ දිසාවේ ගේ හිස් කබල මතභේදාත්මක ලෙස අධ්‍යයනයන් සඳහා තමන් සතුව තබා ගත්හ.
අඛණ්ඩ හමුදා මෙහෙයුමක් සඳහා අත්‍යවශ්‍ය වූ ඒකාබද්ධ විධානයක් සහ බාහිර සහාය නොමැතිකම හේතුවෙන් කැරැල්ලේ බලපෑම කාලයාගේ ඇවෑමෙන් වියැකී ගියේය.
මඩුගල්ලේ මහ දිසාවේගේ උරුමය උඩරට රාජධානියේ පරිපාලනය සහ සංස්කෘතික භාවිතයන් සමඟ ඔහුගේ පවුලේ ඉතිහාසය සමඟ මුසු වෙයි. රාජ්‍යයේ බලවත් භූමිකාවන් සඳහා ප්‍රසිද්ධ වූ මඩුගල්ලේ පවුල සම්ප්‍රදායන් ආරක්ෂා කළ අතර, රාජධානියේ අනන්‍යතාව හැඩගස්වන සමාජ, දේශපාලන හා සංස්කෘතික කටයුතුවලට එදා මෙන් අද ද දායක වෙති.
206 වැනි ගුණ සැමරුම
රාජ්‍ය පරිපාලනයේ ගණකාධිකාරිවරයකු, දක්ෂ අංගම් සටන්කරුවකු හා රණ ශූරයකු වන මඩුගල්ලේ මහ දිසාවේගේ සේවය අගය කිරීම සඳහා වීර මඩුගල්ලේ අනුස්මරණ පදනම විසින් සංවිධානය කරන 206 වැනි ගුණ සැමරුම් උත්සවය මේ මස 20 වැනි බදාදා පෙරවරු 9.00ට තෙල්දෙණිය, උඩුදුම්බර මඩුගල්ල විද්‍යාලයේදී අභිමානවත් අයුරින් පැවැත්වේ. එම පදනමේ සභාපති එම්.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී මඩුගල්ලේ, ලේකම් ආනන්ද එස්. මඩුගල්ලේ, භාණ්ඩාගාරික ඩී.එස්.බී හිඳගල හා මඩුගල්ලේ මහ දිසාවේගේ සත් වැනි පරම්පරාවේ මී මිණිබිරිය වන රංජනී මඩුගල්ලේ මේ ගුණ සැමරුම් උත්සව අවස්ථාව සඳහා සහභාගි වන ලෙස ලක්වාසී සැමට ගෞරවයෙන් ආරාධනා කරති.
මඩුගල්ලේ පවුලේ සහ ඔවුන්ගේ සමකාලීනයන්ගේ දායකත්වය උඩරට ඉතිහාසයේ සංකීර්ණ ගතිකත්වය පිළිබඳ විවේචනාත්මක අවබෝධයක් සපයයි. බ්‍රිතාත්‍ය යටත් විජිත වාදයට එරෙහි ප්‍රතිරෝධය සඳහා මඩුගල්ලේ උඩ ගබඩා නිලමේ වැනි නායකයන්ගේ සක්‍රිය සහභාගිත්වය ඓතිහාසික සිදුවීම් හැඩගැස්වීමේදී දේශීය පරිපාලන ව්‍යුහයන්හි වැදගත්කම අවධාරණය කරයි. ප්‍රාදේශීය පාලනයේ සිට යටත්විජිත පාලනය දක්වා සංක්‍රමණය වන තීරණාත්මක කාල පරිච්ඡේදයක් තුළ ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන භූ දර්ශනය අවබෝධ කර ගැනීම සඳහා මෙය හොඳ නිදසුනකි.
උඩරට රාජධානියේ ප්‍රමුඛපෙළේ වංශවත් පවුලක් හඟවන පදවි නාමයක් වන මඩුගල්ලේ මහ නිලමේවරයා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේදී සංස්කෘතික ප්‍රබෝධය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. මෙම යුගය උඩරට නැටුම් සහ සංගීතය ඇතුළු සාම්ප්‍රදායික කලාවන්හි සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරන අතර ඒවා රාජකීයයන් සහ ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් විසින් ප්‍රගුණ කරන ලදී.
උඩරට රජ මාලිගයේ පොහොසත් සම්ප්‍රදායන් පවත්වාගෙන ගිය අතර, එය තවදුරටත් දියුණු කරනු ලැබිණි. එය අදටත් ශ්‍රී ලංකාවේ සමරනු ලබන සුවිශේෂී සංස්කෘතික අනන්‍යතාවට දක්වන සුවිශේෂී දායකත්වයකි. දොස්තර හෙන්රි මාෂල් විසින් මඩුගල්ලේ සහ කැප්පෙටිපොළගේ අවසන් මොහොත සම්බන්ධයෙන් සටහන් කර ඇති ඇසින් දුටු සාක්ෂි, බ්‍රිතාන්‍ය යටත්විජිත ආධිපත්‍යයට එරෙහි අරගලයේදී කරන ලද පෞද්ගලික කැපකිරීම් පිළිබඳ තියුණු ආවර්ජනයක් අප සිත්හි ජනිත කරයි.
රුවන් මීගම්මන