මාතර පුහුල්වැල්ල, කිරින්දේ පිහිටි හරිත ලංකා Fertilizer and Machinery සමාගම මෙරට පොහොර කර්මාන්තයේ තවත් පියවරක් ඉදිරියට තබමින් උසස් ම දේශීය රසායනික පොහොරක් වන, SSP පොහොර නිෂ්පාදනය ආරම්භ කර තිබේ.
ඒ අනුව, අපේම රටේ එප්පාවල ස්වාභාවික පොස්පේට් නිධියෙන් ලබා ගන්නා පොස්පේට් භාවිත කර Single Super Phosphate හෙවත් SSP පොහොර නිෂ්පාදනය කරන්නට බලපත්‍ර හිමිකරගත් දෙවැනි සමාගම වන්නේ හරිත ලංකා සමාගම යි.
මෙතෙක් කලක් ඩොලර් මිලියන ගණනින් විදේශ මුදල් වැය කොට, බැර ලෝහ සහිත Triple Super Phosphate හෙවත් TSP ගෙන්වා ලංකා මහ පොළොවට හැලූ යුගය අවසන් කර, දේශීය කෘෂි කර්මාන්තයේ තවත් පරිච්ඡේදයක් ලියන්නට ඔවුන් දායක වෙමින් සිටී.
Single Super Phosphate හෙවත් SSP යනු, අපේ රටේ ස්වාභාවික සම්පතක් ඇසුරෙන් නිෂ්පාදනය කර ගන්නා ඉතා ගුණාත්මක සහ ඵලදායි පොහොරකි. නමුත් මෙතෙක් කලක් පිටරටින් ගෙන් වූ විෂ රසායන සහ බැර ලෝහ සහිත TSP පොහොර භාවිතාව නිසා බොහෝ ගොවීන් වකුගඩු රෝගීන් බවට පත් විය. එවැනි පසුබිමක සිය ව්‍යාපාරයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස දේශීය රසායනික පොහොර නිෂ්පාදනය වෙත ව්‍යාප්ත වීම, මේ මොහොතේ රටේ අවශ්‍යතාවක් ඉටු කිරීමට දායක වීම බව හරිත ලංකා පොහොර සමාගමේ අධ්යක්ෂ, අසංක රවිනාත් මහතා පවසයි.
කෘෂිකර්ම ක්ෂේත්රයට අදාළ ඕනෑම වර්ගයක යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කරන ඔහු, සිය SSP පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ද සිය කර්මාන්තශාලාව තුළ ම නිර්මාණය කර ගන්නා නවෝත්පාදකයෙකි.
“මම මේ වෙලාවේ දේශීය රසායනික පොහොර නිපදවන්න තීරණය කළේ හේතු ගණනාවක් නිසා. ප්‍රධානම දේ, මේ වෙලාවේ විශාල පොහොර අවශ්‍යතාවක් රට තුළ තිබෙනවා. පොහොර ටික නැතිව ගොවීන් අසීරුතාවට පත්ව තිබෙනවා. ඒ වගේම ඩොලර් අර්බුදයත් තවම ඉවර නැහැ. ඩොලර් ටිකත් ඉතිරි කරගෙන අපේ කෘෂිකර්මාන්තයේ සාධනීය පියවරක් තබන්න නම්, අපේ ම රටේ ස්වාභාවික එප්පාවල නිධියෙන් ලබා ගත හැකි රොක් පොස්පේට්වලින් SSP හැදීම එකම විසඳුම බව අප වටහා ගත්තා.
ආයතනයක් ලෙස, අපි ළඟ ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර උපකරණ තාක්ෂණය තිබෙනවා. පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම තිබෙනවා. තිබෙන සම්පත් සහ දැනුමෙන් උපරිම ප්‍රයෝජනයක් ගෙන, අපේ කෘෂිකර්මාන්තය නංවන්නට දායක වීමයි, මේ මොහොතේ අපගේ අරමුණ.
මේ සඳහා ප්‍රධාන දායකත්වය ලබා දෙන ජාතික පොහොර ලේකම් කාර්යාලයේ පූර්ණ සහයෝගය දේශීය පොහොර නිෂ්පාදකයන් වන අප වෙත ලැබෙනවා. එය අගය කළ යුතු දෙයක්. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සියලු නිර්ණායකයන්ට අනුකූල වෙමින්, අප මේ හරිත ලංකා SSP පොහොර නිෂ්පාදනය කරන්නේ ගොවීන්ගේ අතට පහසු කුඩා කැටිති හෙවත් ග්‍රැනියුලා ලෙසිනුයි.
ඒ වගේම කොමර්ෂල් පොහොර සමාගම සමඟ එක්ව රත්නපුර, මාතර, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලට අපගේ පොහොර බෙදා හරිනවා. මේ වන විට වැඩිම ප්‍රමාණයක් බෙදා හැර තිබෙන්නේ මාතරට. රත්නපුර සහ හම්බන්තොට ආවරණය කරමින් තිබෙනවා. මේ කන්නයට මෙට්‍රික් ටොන් 250ක් ලබා දෙන්නට හැකි වුණා. මේ ඔස්සේ සෘජුව සහ වක්‍රව සියයට ආසන්න පිරිසකට රැකියා අවස්ථා උදා වුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ අපගේ SSP පොහොර පාවිච්චි කළ ගොවීන්ගේ ක්ෂේත්‍ර පරීක්ෂණවලින් මෙහි සාර්ථකත්වය ඉතා හොඳින් තහවුරු වුණා.
මේ පොහොරවල තිබෙන සුවිශේෂී ම ගුණය තමයි, මඩ පොහොර හෙවත් මූලික පොහොර ලෙස පොළොවට යෙදීම තුළ ගොයම් ගසේ ඉතාමත් ශක්තිමත් පඳුරු සහිත මූල පද්ධතියක් නිර්මාණය වීම. මූල පද්ධතිය ශක්තිමත් වූ විට ගොයම් ගසට ලෙඩ හැදීමේ ප්‍රවණතාව ඉතාම අල්පයි. මුල් පද්ධතිය හොඳට හැදුණොත් තමයි, ගොයම් ගසක් පඳුරු දමමින් වැඩෙන්නේ. රත්නපුර ක්ෂේත්‍ර පරීක්ෂණයේදී ගොවි මහත්වරු අපට පැවසූ දේ තමයි පැළ කාලයේදී ගොයම කහ පාට වන තත්ත්වය මේ පොහොර දැමූ පසු විසඳුණු බව. ඉතාම ලස්සන කොළ පැහැයකින්, ගොයම් ගස් වැඩෙන්න පටන් ගත් බව ඒ ගොවි මහත්වරු අපට පැවසුවා.
අක්කරයකට කිලෝ 20ක ප්‍රමාණයක් සෑහෙන නිසා කිලෝ 50 මිටියෙන් අක්කර දෙකකට වැඩි ප්‍රමාණයකට පාවිච්චි කරන්නට පුළුවන්. අපි මේ වෑයම් දරන්නේ වස විසින් පිරුණු මේ මහ පොළොව සරු කරලා ගොයම් පැළ ටික නිරෝගීව සරුවට හදලා දෙන්නයි.
කොහොමටත් ගොවීන් මෙතෙක් පුරුදු වී තිබෙන බැර ලෝහ සහ විෂ රසායන සහිත TSP කියන්නේ ගහට හෙමින් උරා ගන්නා පොහොරක්. එය මාස ගණනක් මහපොළොව මත තිබෙනවා. ඒ නිසා වැස්සොත් හේදී යනවා. ඒ විතරක් නෙවෙයි මිල අධිකයි. බැර ලෝහ සහිතයි. කාර්යක්ෂමතාව අඩුයි.
නමුත්, SSP පොහොර දින 14 ක් ඇතුළත දිය වෙලා ගොයම් ගහේ මූල පද්ධතියට උරාගන්නවා. 90%ක් ජලයේ දියවෙන නිසා 82% ක්ම ගොයම් ගසට උරා ගන්නවා.
මේ බලපත්‍රය ලබා ගන්න අපි අවුරුදු තුනක් අපගේ පසුබිම සකස් කරගත්තා. සූදානම් වුණා. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ පූර්ණ අනුමැතිය හිමිවූයේ ඉන් අනතුරුවයි.
SSP පොහොර කියන්නේ මේ විනාශකාරී පසුබිම නවතා, අහිතකර නොවන බත් ටිකක් ජනතාවට කන්න ලැබෙන අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි අපේ රටේ ස්වාභාවික සම්පතක්, අමුද්‍රව්‍යයක් ලෙස පමණක් කුණුකොල්ලයට පිට රටට යා නොදී, රටට අවශ්‍ය වටිනා පොහොරක් හදා ගන්න ලැබුණු අවස්ථාවක්. අපේ ඊළඟ පියවර තමයි, ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීම. ඒ සඳහා අපි අවශ්‍ය පසුබිම් සංවර්ධනය කර ගනිමින් සූදානම් වනවා. ඒ වගේම, රටට අවශ්‍ය සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනයට අවශ්‍ය මූලික කටයුතු ද සිදු කරමින් පවතිනවා.
මේ, අපි රටක් හැටියට බලාපොරොත්තු වූ වෙනසක්. ව්‍යවසායකයෙක්, නවෝත්පාදකයෙක් විදියට අපිට ඕනේ මේ රටේ ආර්ථිකයට දායක වෙන්න. ඒ සඳහා රජයට සහයෝගය දක්වන්න. ඒ වෙනුවෙන් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ, මේ SSP පොහොරවල වටිනාකම ගොවි ජනතාවට ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් හදන්න. මොකද තවම ගොවි ජනතාවට SSP පොහොර ඒ තරම් හුරු පුරුදු නැහැ. මේ තිබෙන ස්වාභාවික රසායනික SSP පොහොර තවදුරටත් සංවර්ධනය කර ගොවි ජනතාවට හුරු කළොත් ඉහත කී ගැටලු ගණනාවට ම විසඳුම් ලැබෙනවා.
මේ වටිනා රසායනික පොහොර නිෂ්පාදනය කරන්නට මූලිකවම යොදා ගන්නා එප්පාවල රොක් පොස්පේට් හෙවත් ERP අප ලබා ගන්නේ එප්පාවල පොස්පේට් සමාගමෙන්. හැබැයි වෙළඳපොළේ තිබෙන සාමාන්‍ය මිලටම යි. නමුත් කර්මාන්තකරුවන් විදියට අපිට ඊට වඩා අඩු මිලකට ලබා ගන්නට අවස්ථාව දෙනවා නම්, ගොවි ජනතාවට මේ මුදලටත් වඩා අඩුවෙන් පොහොර ටික දෙන්න අපට පුළුවන්. දැනට TSP මිටියක් රුපියල් 10,500 සිට 12,000 දක්වා මිලක් වන අතර, අපි කිලෝ 50 SSP මිටිය ලබා දෙන්නේ රුපියල් 6,900 කට. ඇත්තටම අපිට අවශ්‍ය මීටත් වඩා අඩු මුදලට ගොවි ජනතාවට මෙය ලබා දීමටයි…”
මෙරට භාවිත වන සෑම පොහොරක් පිළිබඳව ම වගකිව යුතු රාජ්‍ය ආයතනය වන ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ, චන්දන ලොකුහේවගේ මහත්මා මේ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
“කෘෂිකර්මාන්තයේ දී භාවිත වන රසායනික පොහොර යටතේ, යූරියාවලින් පසේ නයිට්රජන් අවශ්‍යතාවත්, Muriate of potash හෙවත් MOPවලින් පසට අවශ්‍ය පොටෑසියම් අවශ්‍යතාවත්, Triple Super Phosphate හෙවත් TSPවලින් පොස්පරස් අවශ්‍යතාවත් ලබා දෙනවා. හැබැයි මේ වර්ග තුනම ගේන්නේ පිටරටින්. පිටරටින් ගෙන්වන Triple Super Phosphate මඟින් පොස්පරස් අවශ්‍යතාව සපුරා ගත්තත්, එප්පාවල පිහිටි පොස්පේට් (ERP) නිධියෙනුත් ඉතා සුළු ප්‍රමාණයක් පොස්පරස් අවශ්‍යතාව සඳහා යොදා ගන්නවා. සාමාන්‍යයෙන් වාර්ෂිකව අපේ රටේ භාවිත වන TSP ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50,000ක්. පිටරටින් ගෙන්වන මෙම TSP, දීර්ඝ කාලයක් පසට යෙදීම නිසා මේවායේ ඇති බැරලෝහ පසට එකතු වනවා. අනික TSP පිටරටින් ගෙන්වනවා කියන්නේ වසරකට ඇ. ඩො. බි. අටක් පිටරට ට ඇදී යනවා. අවුරුදු 500කට සෑහෙන පොස්පේට් නිධියක් රටේ තියාගෙන, මේ සා විශාල මුදල් කන්දරාවක් පිටරටට ඇදී යන එක මොන තරම් අපරාධයක් ද…
දේශීය සමාගමක් වන හරිත ලංකා සමාගම මෙම පොස්පේට් නිධිය භාවිත කර රටට අවශ්‍ය පොස්පරස්, රට තුළම නිෂ්පාදනය කරන්නට පටන්ගෙන තිබෙනවා. එය ඉතාමත් අගය කළ යුතු කාර්යයක්.
ලංකාවේ තිබෙනවා, පොහොර උපදේශන කමිටුවක්. එය, අදාළ විෂය නියෝජනය කරන මහාචාර්යවරු ඇතුළු ප්රාමාණිකයන් ගෙන් සැදුම්ලත් විද්වත් කමිටුවක්. ඔවුන් ප්‍රකාශ කළා, ලංකාවේ තිබෙන මේ එප්පාවල පොස්පේට් නිධිය ලෝකේ තිබෙන හොඳම පොස්පේට් නිධි දෙකෙන් එකක් බව. ඒත් ඒ නිධියෙන් ලබා ගන්නා පොස්පේට් දැනට අපි භාවිත කරන්නේ, මූලික අවස්ථාවේ කුඩක් ලෙස පමණයි. ලංකාවේ දැවැන්ත රසායනික පොහොර සමාගම් ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස මෙම මූලික අවස්ථාවේ කුඩු ලබා ගන්නවා. ඊට අමතරව, කාබනික පොහොර නිෂ්පාදකයින් සුළු වශයෙන් මෙම පොස්පේට් කුඩු මිල දී ගන්නවා. නමුත් අපේ රටේ මේ ERP නිධිය භාවිත කර Single Super Phosphate හෙවත් SSP නිෂ්පාදනය කරන දෙවන සමාගම ලෙස හරිත ලංකා සමාගම සුවිශේෂී වනවා. අපේ මහපොළොව තවමත් සාරවත්. ඒ නිසා Triple Super Phosphate හෙවත් TSP යෙදීමේ අවශ්‍යතාවක් නැති බවත්, ලංකාව සතු පොස්පේට් නිධිය භාවිත කර හදන SSP පොහොර හොඳට ම ප්‍රමාණවත් බවත්, එම කමිටුවේ මහාචාර්යවරු පවා පවසනවා. TSPවලට යන්නේ නැතුව අපේ රටේ පොස්පේට්වලින් SSP හැදුවොත්, ගොවීන් ගේ පොස්පරස් අවශ්‍යතාවට හොඳට ම ප්‍රමාණවත්. තේ පොල් රබර් වැනි දිගු කාලීන බෝගවලට විතරක් නෙවෙයි, එළවළු පලතුරු වැනි කෙටි කාලීන බෝගවලටත් එය ප්‍රමාණවත්.
SSP හදනවා කියන්නේ, සල්ෆියුරික් අම්ලය භාවිතයෙන් කෙරෙන සංකීර්ණ ක්‍රියාවලියක්. නව රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිවලට අනුව SSP නිෂ්පාදනය කිරීමට සූදානම්. ඊට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන සල්ෆියුරික් පවා හැදීමටත් සූදානම්. නමුත් දැනට සල්ෆියුරික් අම්ලය ගෙන්වන්නේ ඉන්දියාවෙන් කිලෝවක් රුපියල් 90ක මිලකට. තෙල් පිරිපහදුවේ අතුරු ඵලයක් විදියටත් සල්ෆර් ලබාගත හැකියි. නමුත් එය ඉතාමත් ආරක්ෂිතව කළ යුතු දෙයක්. මීට වඩා අඩුවට අපේ රටේ හැදුවොත් ඇත්තටම ගොවි ජනතාවට අඩු මිලකට මේ පොහොර ලබා දෙන්නට පුළුවන්.
විශේෂයෙන් කියන්න ඕනේ SSP රට තුළම හදන එකෙන්, වරින් වර පැන නඟින පොහොර අර්බුදයට හොඳ විසඳුමක් ලැබෙනවා. අනවශ්‍ය ලෙස ලංකාවට ගෙන්වන බැර ලෝහ සහිත TSP වෙනුවට, දේශීය පොස්පේට් නිධිය භාවිතයෙන් හදන දෙයක් නිසා, මහ පොළොවට වස විස එකතු වන්නේ නැහැ. විදේශ විනිමයත් ඉතිරි වනවා. ඒ වගේම, ඔවුන් හඳුන්වා දී තිබෙන්නේ Value Added නිෂ්පාදනයක්. දැනට පවුඩර් ලෙස පමණක් විකිණෙන පොස්පේට් කුඩුවලට වටිනාකමක් එක් වී, පොහොරක් ලෙස ගොවීන් අතට පත් වනවා. අගය එකතු කළ එවැනි නිෂ්පාදනයක් හැදෙනවා කියන්නේ, රැකියා අවස්ථා උදා වනවා. ඒ වගේම, NPK වැනි වෙනත් පොහොර මිශ්‍රණ සෑදීම සඳහාත් එය අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගන්නට පුළුවන්.
SSP කරනවා කියන්නේ, පොස්පේට් සල්ෆියුරික් අම්ලය සමඟ එක් කොට, Water Solubility හෙවත් ජලයේ දිය වීමේ ප්‍රවණතාව වැඩි කිරීම. එවිට දිරාපත් වීමේ වේගය වැඩි වනවා. ජලයේ දියවීමේ ප්‍රවණතාව සාමාන්‍යයෙන් තිබිය යුත්තේ 80% ක් වුවත්, මෙම හරිත SSP පොහොරවල 81% ක ඉහළ ප්‍රතිශතයක් තිබෙනවා. ඒ වගේම තිබිය යුතු පොස්පරස් ප්‍රතිශතය 17% ද නියමාකාරයෙන් ම අන්තර්ගතයි. සල්ෆියුරික් අම්ලය යොදා ගෙන සිදු කෙරෙන ක්‍රියාවලියක් නිසා රසායනික පොහොර ඝනයට වැටුණත්, මහපොළොවට වුවමනා කරන පොස්පරස් අවශ්‍යතාව සපුරන ගුණාත්මක පොහොරක් ලෙසයි, SSP හඳුන්වන්නට පුළුවන්. ඒ නිසා ලංකාවේ පොහොර කර්මාන්තයට අවසර දීමෙහි ලා ක්‍රියාත්මක ඉහළම බලධාරියා විදියට, දේශීයව SSP නිෂ්පාදනය කරන මෙම කාර්යයට අපි පූර්ණ සහයෝගය ලබා දෙනවා.
හරිත ලංකා පොහොර සමාගමේ මේ ක්‍රියාත්මක වීම ඉතාමත් වටිනා කටයුත්තක් වන්නේ මේ සියලු කාරණා නිසා…”
2004 – 2007 කාලයේ ලංකා පොස්පේට් සමාගමේ සභාපතිවරයාව සිටි රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන පී. උඩවත්ත මහතා, SSP පොහොර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙමින්, SSP භාවිතාව ප්‍රචලිත කිරීමට බොහෝ කලක් වෙහෙස වූ ප්‍රාමාණිකයෙකි.
ඔහු පෙන්වා දෙන පරිදි සහ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මූලාශ්‍රවලට අනුව, 2023 වසරේ ලංකාවට ගෙනෙන ලද ට්‍රිපල් සුපර් පොස්පේට් හෙවත් බැර ලෝහ සහිත TSP ප්‍රමාණය මෙට්‍රික් ටොන් 62,326 කි. ඒ සඳහා වැය වූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 32.88කි. හරිත ලංකා සමාගමේ මෙම වැඩපිළිවෙළ පිළිබඳ ඔහු දැක්වූ අදහස් මේ.
“ලංකාවට පොස්පේට් කඳු හතක් තිබෙනවා. ඒ තුළ මෙට්‍රික් ටොන් මිලියන 60කට වඩා පොස්පේට් තිබෙනවා කියලයි ගණන් බලා තිබෙන්නේ. රොක් පොස්පේට් Value Added කිරීම තුළයි එහි වටිනාකම වැඩි වන්නේ. ප්‍රධාන දේ තමයි, පොස්පේට් අම්ල සමග මිශ්‍ර කිරීම. එහි අනුව ජනප්‍රියම ක්‍රමය තමයි සල්ෆියුරික් අම්ලය සමඟ මිශ්‍ර කිරීම. මොකද එහි ද්‍රාව්‍යතාව අඩුකර ගැනීමට සුදුසුම ක්‍රමය එයයි. 1971 වසරේ මේ වටිනා සම්පත සොයා ගත්තා. ඒ දශකයේ මැද භාගයේ එහි වැඩ පටන් ගත්තා.
ඒ අනුව එප්පාවල පොස්පේට් වී, තේ, පොල් සහ රබර් සඳහා දිගු කාලීන රසායනික පොහොරක් වශයෙන් භාවිත කරන්න පටන් ගත්තා. එවිට ක්‍රමයෙන් ආනයනය අඩු වුණා. අම්ල සමග මිශ්‍ර කළ පසු ලංකාවට මෙය ගැළපෙන්නේ සාර්ථක මඩ පොහොරක් ලෙසින්. මේකෙන් හැදෙන අතුරුඵලයක් තමයි පොස්පො ජිප්සම් කියන්නේත්.
පසුගිය කාලය පුරා කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව සමඟ එක්ව ලංකාවේ දිස්ත්‍රික්ක 22ක විශාල වශයෙන් අපි ක්ෂේත්‍ර පරීක්ෂණ කළා. යල මහා වශයෙන් කන්න පහක් එක දිගට මේ පොහොර යෙදුවා. නිගමනවලට ආවා. ඒ සෑම ලියැද්දකින් ම, TSP පොහොර යෙදූ ප්‍රමාණයට ආසන්න හෝ ඊට වැඩි ප්‍රමාණයක් අස්වැන්න ලැබුණා. ඒ අනුව මම අවශ්‍ය දත්ත ඇතුළත් වාර්තාවක් සකස් කළා. එය මේ SSP පොහොර භාවිතය පිළිබඳ රටටම වැදගත් ව්‍යාපෘති වාර්තාවක්. අඩංගු විය යුතු සංඝටක, අවශ්‍ය ප්‍රතිශත සියල්ල එහි ඇතුළත්. ඊට පස්සේ තමයි පොහොර ලේකම් කාර්යාලයට බලපත්‍ර නිකුත් කරන්න අවසර ලැබුණේ.
ඒ අනුව ඔවුන් ව්‍යවසායකයන් හය දෙනකු සඳහා බලපත්‍ර ලබා දුන්නා. ඒ හය දෙනාම එකම ක්රමයකටයි, මේ SSP පොහොර නිපදවිය යුතු වන්නේ. මේක ස්වාභාවික සම්පතකින් කෙරෙන සෘජු රසායනික ප්‍රතික්‍රියාවක්. ඒ නිසා පරිසරයට හානියක් නැහැ. පහසුවෙන් ජලයේ දිය වෙනවා. ඒ නිසා ශාක මුලට උරා ගන්නවා. හරිත ලංකා සමාගම මෙය ග්‍රැනියුලා වශයෙන් කරන නිසා ගොවීන්ටත් ආරක්ෂාකාරියි.
අප SSP පොහොර සඳහා පැහැදිලි ඉදිරි ගමනක් පෙන්වා දී තිබෙනවා. මේ රජයට පුළුවන් මහා පරිමාණයෙන් මේ සඳහා නිෂ්පාදකයින් දිරි ගන්වන්න. ජනාධිපති ලේකම් කාර්යාලය ඒ සඳහා තබා තිබෙන සාධනීය පියවර අප ඉතා අගය කරනවා.
ඒ වගේම, රටේ SSP පොහොර වාර්ෂික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක්. TSP වෙනුවට SSP හාවිතය ඉතා සුදුසු බව අප විද්‍යාත්මකව ඔප්පු කර දී තිබෙනවා. දැන් තියෙන්නේ මහා පරිමාණයෙන් නිෂ්පාදනය අරඹන්න විතරයි. මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න මගේ පූර්ණ සහාය ඕනෑම වෙලාවක ලබා දෙන්න මම සූදානම්. ඒ වගේම ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත්ව සිටින හරිත ලංකා වැනි දේශීය කුඩා ව්‍යවසායකයින් ආරක්ෂා කර ගැනීමත් රජයේ වගකීමක්…”
පිටු සැකසුම චතුපබෝධා විජයලත්
ඉනෝකා පෙරේරා බණ්ඩාර