ගුවන්විදුලි බාහිර විස්තර ප්‍රකාශ එම ආයතනයට ආඩම්බරයකි. එමෙන්ම අදාළ නිලධාරීන්ට අපූර්ව අත්දැකීමකි. ආරම්භක යුගයේදී එය තනිකරම තාක්ෂණ මෙහෙයුමකි. ජංගම දුරකතනයේ ආගමනය නිසා මේ වන විට බාහිර සජීව විස්තර ප්‍රචාර ක්‍රමවේදය උඩුයටිකුරු වී තිබේ. වර්තමානයේ එහි පිටුපස ඇති ශබ්ද තාක්ෂණ විකාශන යන්ත්‍රණය කිසිවෙකුටත් නොපෙනේ. ඈත අතීතයේ දී නම් ගුවන් විදුලි බාහිර ප්‍රචාරයක් සඳහා විශාල පුද්ගල ශ්‍රමයක් අවශ්‍යය. යන්ත්‍ර සූත්‍ර අවශ්‍යය. ඇතැම් විට එය දින ගණනාවක මෙහෙයුමකි.
ශ්‍රී ලංකාවේ සජීවී විස්තර ප්‍රචාර ආරම්භ වී ඇත්තේ 1930 ගණන්වලය. මුල්ම විස්තර ප්‍රචාර සිදුව ඇත්තේ කොළඹ තුරග තරග පිටියේ සිට, අශ්ව රේස් පිළිබඳ ඉංග්‍රීසි භාෂාවෙන්ය. 1936 දී කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ සිට සිංහල ශිල්පීන් සහභාගි වූ විවිධ ප්‍රසංගයක් ප්‍රචාරය වී තිබේ. එම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා වී තිබුණේ ස්වදේශ කටයුතු අමාත්‍ය ශ්‍රීමත් බාරොන් ජයතිලක මහතාය.
කෙසේ වෙතත් අපේ රටේ සජීවී විස්තර ප්‍රචාරයක් ලෙස ජනතාවට වඩාත් දැනී ඇත්තේ 1939 නොවැම්බර් 23 වැනි බ්‍රහස්පතින්දා පැවැති රුවන්වැලි සෑයේ කොත් පළඳවීෙම් උත්සවයයි. එදින අටමස්ථානාධිපති හල්මිල්ලෑවේ රේවත නායක හාමුදුරුවන්ගේ අනුශාසනාවත්, බාරොන් ජයතිලක මහතාගේ හැදින්වීමේ කතාවත්, අධිනීතිඥ එච් ශ්‍රී නිශ්ශංක මහතා විසින් කළ විස්තරයත් සජීවීව ප්‍රචාරය කර තිබේ.
පෙර පැවැති ගුවන් විදුලි බාහිර විස්තර ප්‍රචාර සඳහා යොදා ගැනුනේ දැනුමෙන් සහ වාග් චාතූර්‍ය්‍යෙන් හෙබි නිවේදකයන් පමණි. ඉතිහාසයේදී නම් නිවේදිකාවන්ට මෙම අවස්ථාව හිමිවූයේ ඉතාමත් අල්ප වශයෙනි. කෙසේ වෙතත් දැනුම සහ කුසලතාව මත මේ සඳහා වැඩිපුරම යොදා ගන්නා නම් දැරූ නිවේදකයින් රැසක් ගුවන් විදුලි ඉතිහාසය තුළ විරාජමානය. ඒ අයගෙන් කිහිප දෙනෙක් සමඟ සමීප ඇසුරක් ගොඩනඟා ගැනීමේ වාසනාව මට ලැබී තිබිණ.
ගුවන් විදුලි සංස්ථාවේ ආගමික වැඩසටහන් පිළිබඳ කීර්තිමත් නාමයක් හිමිකර ගත් කුමාර රත්නායක මහතා ඉන් කෙනෙකි. අනූව දශකයේ මුලදීම පූජ්‍ය තලේවෙල විජිත ධම්මරක්ඛිත, කැලණි රජමහා විහාරයේ නායක ස්වාමීන් වහන්සේ අපවත් වූහ. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වූයේ කැලණි විහාරය සහ කැලණි ගඟ අතර පිහිටි භූමියේය. එහි සිට, ආදාහන පූජෝත්ස්වය පිළිබඳ සජීවි විස්තර ප්‍රචාරය සඳහා යොදවා තිබුණේ කුමාර රත්නායක සහ මා ය. අවමංගල සභාව මෙහෙයවීම ද කුමාර රත්නායකට පැවරී තිබිණ. විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් වෙනුවෙන් ඔහු නොපැකිල, පැහැදිලිව ඉංග්‍රීසි බසින් ද සභාව ආමන්ත්‍රණය කරන අයුරු මම බලා සිටියෙමි.
“චන්දනගේ මේ කීවෙනි ලයිව් එකද?” විස්තර ප්‍රචාරය ආරම්භයට පෙර කුමාර ඇසුවේය.
“මතක නෑ කුමාර මහත්තයා,පනහක් හැටක් විතර ඇති.”
මම කීවේ එතරම් තැකීමක් නොකරය.
“මගෙ මේ පන්සිය හතළිස් තුන.”
මම මවිතයෙන් කුමාර රත්නායක දෙස බලා සිටියෙමි.
“මං මේ හැම දෙයක්ම ලියනවා. ඒවා කවද හරි ආපහු ප්‍රයෝජන වෙනවා.”
මම ඒ පාඩම උගත්තෙමි. අතීතය මෙනෙහි කරමින් සටහන් තැබීම ආරම්භ කළෙමි.
ජනාධිපති ප්‍රේමදාස මහතාගේ ගම් උදා වැඩපිළිවෙළ ඒ වන විටත් ආරම්භ වී තිබින. එහි සජීව වාර්තා එමටය. ජංගම දුරකතනයේ ආගමනයත් එල්ටීටීඊ බෝම්බත් නිසා, තවත් අවස්ථා ගණනාවකි. කුමාර රත්නායකගේ වසර 25ක පමණ අත්දැකීම මට අවුරුදු දහයකින් ලැබුණේය. බාහිර විස්තර ප්‍රචාර සංඛ්‍යාව 1000 ඉක්මවූයේ වසර දහයක්ගත වන්නටත් පෙරය.
එකල පැවති පිළිවෙළ අනුව ගුවන් විදුලි බාහිර විස්තර ප්‍රචාරයකට මනා කැපවීමක් අවශ්‍යය. මාධ්‍යය, රේඩියෝ නිසා කිසිවක් පෙන්වන්නට බැරිය. හැමදේම මවා පාන්නට ඕනෑය. මේ නිසා අඳින ඇඳුමට වඩා, එක් රැස් කර ගන්නා තොරතුරු වැදගත්ය. එවක සජීවී විස්තර ප්‍රචාරයක් පැවරුණු නිවේදකයා නිබන්ධයකට සැරසෙනවා සේ තොරතුරු එක් රැස් කරමින් තැන තැන දිවයනු සාමාන්‍ය දෙයකි. වර්තමානයේදී මේ තත්වය වෙනස්ය. නිවේදකයන්ට කරුණුු හොයන්නට ඕනෑ නැත. ඒ සදහා සම්පත් දායකයෙක් යොදා ගත හැකිය. එවිට ‘ඔව්- නෑ- බෑ’ කියා ඇග බේරා ගැනීමට පුළුවන.
වරක් මට දඹදෙණිය රජ මහා විහාරයේ පෙරහර පිළිබඳ විස්තර ප්‍රචාරය පැවරුණි. කිසියම් ව්‍යාපාරිකයකු සජීවී විස්තර ප්‍රචාරය සඳහා මුදල් ගෙවා අනුග්‍රාහකත්වය ලබාගෙන තිබේ. ඒ බව තහවුරු වූයේ පෙරහර දිනයට දින දෙක තුනක් තිබියදීය.
දඹදෙණියේ ඉතිහාසය පිළිබඳ පුස්තකාල පීරන්නට කාලයක් නැත. අද මෙන් තොරතුරු සොයාගැනීම පහසු නැත. අන්තර්ජාලය කියා දෙයක් පිළිබඳ දැනුමක් හෝ තිබුණේ නැත. ජ්‍යෙෂ්ඨයෝ මට කිව්වේ මේ සඳහා තොරතුරු ලබාගත හැකි හොඳම පුද්ගලයා එවක ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදකයෙකුව සිටි, විශිෂ්ට නාට්‍යකරු දයානන්ද ගුණවර්ධන බවය. මම එතුමා හමුවුනෙමි.
ඔහු මට බොහෝ තොරතුරු දුන්නේය. මම ඒවා සටහන් කරගෙන ගොස් පෙරහර පිළිබඳ විස්තර ප්‍රචාරයට යොදා ගත්තෙමි.
විස්තර ප්‍රචාරය අවසන් වී දෙසතියකට පමණ පසු ගුණවර්ධන මට ගුවන් විදුලි කොරිඩෝවේදී හමුවිය.
“අයිසෙ, තමුසෙ දඹුල්ල ගැන තොරතුරු ඇහුව නේද? එනව, එනව, මට තව ටිකක් හම්බුණා.” ඔහු කීවේය.
“කමෙන්ට්‍රි එක ඉවරයි නේ.” මම යටහත් පහත් සිනාවක් සමඟ කීවෙමි.
ගුණවර්ධනගේ දෑස් කෝපයෙන් දිලිසුණි.
“ඇයි තමුසෙට දැන් ඒව ඕනේ නැද්ද?”
මා කළ වරද මට වහා වැටහින.
“ඕන ඕන සර්. මං දැන් එනවා.”
මම ඔහු පසුපස ඔහුගේ කාමරයට ගොස් ඔහු කියන සෑම දෙයක්ම කඩදාසියක ලියන්නට පටන් ගත්තෙමි.
“අයිසේ කරුණු ඕනැ වෙන්නේ ඒ ඒ වැඩවලට නෙවෙයි; ජීවිතයට.”
දයානන්ද ගුණවර්ධන අන්තිමට කියූ ඒ වැකිය, මා ඒ කඩදාසියේ ලියා ගත්තේ නැත.