මෙරට ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත සපයන්නේ ගොවියාය. ගොවියා රජකමට සුදුසු යැයි පැවසුවත් අපේ රටේ ගොවියා නම් හැමදාමත් අසරණය. වී ගොවියාගේ නිෂ්පාදන මිලට ගන්නා පාරිභෝගිකයා ද සහල් මිල හමුවේ බොහෝ අවස්ථාවල අසරණය. ඇතැම් විට මුදල් තිබුණත් සහල් නැත. වී ගොවියාට තම වියදමට සරිලන මුදලක් අතට ලැබෙන්නේ ද නැත.
එසේ නම් මේ සහලෙන් පොහොසත් වන්නෝ කවරහුද? කුමන රජයක් රට පාලනය කළ ද ඔවුන්ට ද බොහෝ අවස්ථාවලදී මේ සහල් ප්‍රශ්නයට මැදිහත්වීමට සිදු වේ. වී මිලට ගැනීමේදී සිදුවන අක්‍රමිකතා මෙන්ම පොහොර සහනාධාරය නොලැබීම ඇතුළු වී හා සහල් අලෙවියේදී ඇති වන ගැටලුවලින් මිදෙන්නට ගොවියාට ද අවස්ථාවක් නැත.
ගොවියා හා පාරිභෝගිකයා පමණක් නොව ඇතැම් විට සුළු පරිමාණ මෝල් හිමියන්ද මේ නිසා දැඩි අසීරුතාවන්ට පත් වේ.
කීරි සම්බා තිබුණට නාඩු නෑ
දැන් යළිත් මෙරට සහල් හිඟයක් හටගෙන ඇත. නාඩු සහල් බොහෝ තැන්වල මිලට ගැන්මට නැත. සුපිරි වෙළෙඳසල් ඇතුළු බොහෝ අලෙවිසල්වල ඇත්තේ කීරි සම්බාය. කීරි සම්බා මේ වන විට වෙළෙඳ පොළට වැඩි වශයෙන් එන්නට හේතුව පසුගිය කන්නයේ වැඩි වශයෙන් කීරි සම්බා වගා කිරීමය. එසේ වුවත් නාඩු සහ සම්බා මේ වන විට සැලකිය යුතු ලෙසින් වෙළෙඳපොළේ තිබිය යුතුය. එහෙත් එවැන්නක් පෙෙනන්නට නැත.
මෙරට මාසික සමස්ත සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකි. නාඩු සහල් පමණක් මාසික පරිභෝජනය මෙට්‍රික් ටොන් 140,000කි.
වී අලෙවි මණ්ඩලයේත් සෙසු සියලු රාජ්‍ය ලේඛනවලත් දත්ත සලකා බැලූ විට පෙනෙන්නේ නාඩු මෙට්‍රික් ටොන් 183,000ක් තිබිය යුතු බවයි. එහෙත් වෙළෙඳ පොළේ දක්නට ඇත්තේ මෙට්‍රික් ටොන් 141,000ක් පමණක් බව අනාවරණය වී ඇත.
එසේ නම් ඉතිරි හාල්වලට වූයේ කුමක්ද? රජය ගොවියාගෙන් වී මිලදී ගැනීමට වී මෝල් හිමියන්ට රුපියල් කෝටි ගණනක ණය මුදලක් ලබා දෙයි. එලෙසින් පසුගිය කන්නයේ වී මිලදී ගැනීමටද කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් සඳහා රුපියල් මිලියන 50ක උපරිම ණය මුදලක් සහ වී ගබඩාකරුවන් සඳහා හා වී එකතු කරන්නන් සඳහා රුපියල් මිලියන 25ක උපරිම ණය මුදලක් ද වශයෙන් රජය විසින් රාජ්‍ය හා පුද්ගලික බැංකු මඟින් ලබා දීමට කටයුතු කර තිබුණි.
රටේ ජනතාවගේ බත සරි කරන්නට එසේ මෝල් හිමියන්ට ණය ලබා දී ඇතත් එයින් ජනතාවට හෝ ගොවියාට සෙතක් නොවන්නේ නම් හා මිල දී ගත් සහල්වලට වූයේ කුමක්ද නොදන්නේ නම් එතැන විශාල ගැටලුවක් ඇත.
එයට පිළිතුරක් මේ දක්වා ලැබී නැත. ඇත්තෙන්ම සිදුව ඇත්තේ කුමක්ද? එයට ඇත්තේ සරල පිළිතුරකි.
‘මේ කෙරුවාව කලක සිට සිදු කෙරෙන්නකි‘ පිළිතුර සරලය.
රටේ නීතිය මෙන්ම රටේ සදාචාරය සංස්කෘතිය ගුණධර්ම සියල්ලටම ඉහළින් වැජඹෙන්නා වූ කැලෑ ක්‍රමයක් ඇත. නීතිය හා කොන්දේසි එහිදී වල් වැදී ඇති බව අපට පෙනේ. නිවාස ණයක් පවා ලබා දෙන්නේ අවස්ථා කිහිපයකදීය. පළමු වාරිකයෙන් නිවෙසේ අත්තිවාරම දමා ඇත්නම් දෙවැනි වාරිකය බිත්ති නැංවීමට ලබා දෙයි. එතැනින් පසු ක්‍රමයෙන් ණය වාරික ලබා දෙන්නේ පසු විපරමක් සිදු කරමිනි.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද එසේම වාරික වශයෙන් ණය ලබාදෙන්නේ ශ්‍රී ලංකාව එම එකඟතාවන්ට අනුකූලව කටයුතු කරන්නේ ද යන්න සොයා බලමිනි.
ණය මුදලෙන් මොනවද කරන්නේ
එහෙත් වී මිලදී ගැන්මට ලබාදෙන ණයවලින් කුමක් කරන්නේද? වී මිලදී ගත්තේ ද යන්න නිසි ලෙසින් සොයා බලා නැති බවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පසුගියදා ප්‍රසිද්ධියේ ම පවසන ලදී. එනයින් තවත් කවර කතාද?
ඇමැතිවරයා පවසන පරිදි රජයේ නිල ලේඛනයන්හි පවා ඇති දත්ත විශ්වාස කළ නොහැකිය. එම ලේඛන කෙතරම් පිළිගත හැකි තත්ත්වයක ඇත්දැයි යන්න ගැටලුවක්ව ඇත.
ඔහු පෙන්වා දෙන්නේ මේ තත්ත්වය මත පාරිභෝගිකයා පත්වන අසීරුතාව මඟහැරීම සඳහා ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බවයි. එම ප්‍රතිපත්තිමය තීන්දුවට අනුව උපරිමය මෙට්‍රික් ටොන් 70,000කට යටත්ව සහල් ආනයනයට සතොස සහ STC (රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව) වෙත අවසර ලබා දී තිබේ.
ඇමැතිවරයා පෙන්වා දෙන්නේ පහුගිය කන්න දෙකේ පමණක්, වී මෙට්‍රික් ටොන් මිලියන 4.8ක් නිෂ්පාදන කළ බවයි.
‘‘එහිදී නාඩු වී තියෙන්නේ මිලියන 3.1 ක්. නාඩු වී මිලියන 3.1 හාල් කළාම එන්නේ මිලියන 2.1යි. සහල් මිලියන මෙට්‍රික් ටොන් 2.1 මාස 12 බෙදපුවාම මාසෙකට මෙට්‍රික් ටොන් 183,000ක් පරිභෝජනය සඳහා ඉතිරි වෙනවා. මාසික පරිභෝජනය මෙට්‍රික් ටොන් 140,000යි. සුළු ප්‍රමාණයක් වෙනත් නිෂ්පාදනවලට ගන්නවා. මේ වෙනකොට රටේ මහ කන්නය පටන් අරන් තියෙනවා. ලබන වසරේ ජනවාරි 15 විතර වෙද්දී මහ කන්නේ වී අස්වැන්න එනවා. වී අස්වැන්නෙන් පහෙන් තුනකට වඩා එන්නේ මහ කන්නයෙන්. වර්තමාන ගැටලුවට තාවකාලික විසඳුමක් ලෙස නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක සීමාවට යටත්ව සතොස සහ එස්ටීසී ආයතනයට සහල් ආනයනය සඳහා අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මේ වෙනකොටත් සතොස ආයතනය තමන්ගේ සැපයුම්කරුවන් හා සම්බන්ධ වෙලා අවශ්‍ය පියවර අරගෙන තියෙන්නෙ.
ඒ අනුව ස්වර්ණ නාඩු සහල් ඉදිරියේදී මෙරටට ආනයනය කරනු ලබනවා. උපරිම මිල වෙන්නේ නාඩු සහල් කිලෝ එකක් රුපියල් 220ක් පමණයි. යම් හෙයකින් ඩොලරයේ මිල අඩු වුණොත් ඒ වාසියත් පාරිභෝගිකයාට ලැබෙන්න සලස්වනවා. ‘‘
ඇමැතිවරයා පෙන්වා දෙන්නේ දෙසැම්බර් 15 වන විට වෙළෙඳපොළට එම සහල් තොග ලැබෙනු ඇති බවයි.
යම් සංවිධානාත්මක පිරිසක් හෝ වී මෝල් හිමියන් පිරිසක් විසින් හෝ සහල් මිල ඉහළ දැමීමේ පටු අරමුණකින් සහල් තොග සඟවා ඇත්නම් මේ අවස්ථාවේදී ඔවුන්ට එම තොග මුදා හැරීමට සිදුවනු ඇත.
කුමක්ද සිදු වී ඇත්තේ
ගොවියන් වී වගා කර ඇත. සහල් නිපදවා ඇත. එහෙත් වෙළෙඳපොළේ නාඩු සහල් නැත. ඇමැතිවරයා පෙන්වා දෙන්නේ නාඩු සහල් සඟවා මිල ඉහළ දැමීමට උපායමාර්ගිකව කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව කටයුතු කරන්නට සහල් ආනයනය කරන්නට සිදුවනු ඇති බවයි.
ආනයනය කරනු ලබන සහල්වලින් සහල් තොග මිලට ගන්නා සෞඛ්‍ය, ආරක්ෂක අංශ මෙන්ම සුපිරි වෙළෙඳසල්වලට ද තොග ලබාගත හැකි බව ඇමැතිවරයා කීවේය. දෙසැම්බර් 15 වන විට වෙළෙඳපොළට නිකුත් කරනු ලබන සහල් තොග ජනවාරි මස 15 වන විට අවසන් වනු ඇති බවට ද ඇමැතිවරයා විශ්වාසය පළ කළේය. එවිට ඊළඟ කන්නයේ අස්වනු ලැබෙන හෙයින් ජනතාවට කිසිදු ගැටලුවකින් තොරව සහල් මිලට ගැන්මට හැකිවනු ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර සහල් ඒකාධිකාරය මඬින්න තොග රැස් කිරීමට වී අලෙවි මණ්ඩලය හරහා පියවර ගන්නා බවත් එළැඹෙන මහ කන්නයේ සිට වී නිෂ්පාදනයෙන් 10%ක් අනිවාර්යෙන්ම මිලදී ගෙන ආරක්ෂිත තොග ලෙස තබා ගන්නා බවත් පසුගිය කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ සිළුමිණට පවසන ලදි.
ඒ උදෙසා වී අලෙවි මණ්ඩලයේ ගබඩා යොදා ගන්නා බවත් ඊට අදාළ පියවර ගැනීමට සැලසුම් කර ඇතැයිද අමාත්‍යාංශ ලේකම්වරයා පවසා තිබුණි. වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා ප්‍රතිසංස්කරණය කර වී සහ සහල් ගබඩා කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු පැවසුවේය.
මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් ඒකාධිකාරයක් පවත්වාගෙන සහල් මිල ඉහළ නැංවීම වැළැක්වීම මෙහි අරමුණ බවත් ඒ අනුව මහජනතාවට අඩු මිලට සහල් සැපයීමට හැකිවන බව ද ඔහු පෙන්වා දී තිබුණි.
එමෙන්ම ගොවියාගෙන් වී මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ සහල් හා වී මෝල් හිමියන්ට ලබාදෙන ණය මුදල මින් ඉදිරියට ගොයම් කැපීමට පෙර ලබා දීමට පියවර ගන්නා බව ද ඔහු පැවසුවේය. ඒ මඟින් ගොයම් කැපෙන අවස්ථාවේදීම ඔවුන්ට එම වී මිලදී ගෙන කඩිනමින් සහල් බවට පත් කිරීමට හැකියාව ලැබෙන බවද ලේකම්වරයා කීවේය.
මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමස්ත වී නිෂ්පාදනයෙන් මිල දී ගන්නේ 23%ක් පමණක් බව කී ලේකම්වරයා වී අලෙවි මණ්ඩලයේ 10%ක අතිරික්තයක් තබා ගැනීම හරහා අවශ්‍ය ඕනෑම විටකදී මිල පාලනය පිණිස ආරක්ෂිත තොග නිකුත් කිරීමට හැකියාව ලැබෙන බව ද පෙන්වා දුන්නේය.
මහා පරිමාණ මෝල් හිමියන් විසින් රජය මඟින් ලබාදෙන මිලට වඩා වැඩි මිලට ද වී මිලට ගෙන ඔවුන් අඩුවෙන් ලබාගත් වී තොග ද එම මිලටම මිලදී ගත් සේ සලකා සහල් මිල නියම කරනු ලබන අවස්ථා ඇති බවත් රජය ලබාදෙන මිලට වඩා, එසේ වැඩි මිලකට වී අලෙවි කිරීම ද වැරැදි ක්‍රියාවක් බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය. එයින් සිදු වන්නේ පාරිභෝගිකයාට සහල් මිල වැඩි වීම බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
එමෙන්ම මීට සති කිහිපයකට පෙර ජනාධිපති කාර්යාලයේදී මෙරට මහා පරිමාණ වී මෝල් හිමියන් ලෙස සැලකෙන ඩඩ්ලි සිරිසේන, නිපුන ගම්ලත්, මිත්‍රපාල ලංකේෂ්වර, ජයසිරි ගුණතිලක, මේනක ගම්ලත් යන මහත්වරුන් ඇතුළු ව්‍යාපාරිකයින් සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් රැස්වී සාකච්ඡා කළහ.
ජනතාවට බරක් නොවීමට නම්
ජනාධිපතිවරයා මහා පරිමාණ සහල් මෝල් හිමියන් දැනුවත් කරන ලද්දේ සහල් වෙළෙඳාම ජනතාවට බරක් නොවන ලෙස සිදු කළ යුතු බවටය. එය නොසලකා හැරියොත් ඊට මැදිහත් වන බවද දන්වා ඇත. එහෙත් තවමත් ගැටලුව විසඳී නැත්තේ පාලන මිල මෙන්ම වෙළෙන්දාට ලබාදෙන මිල දෙකම එකම මට්ටමක පැවතීම නිසාය. මේ නිසා තොග වෙළෙන්දාට ලබා දිය යුතු මිල, සිල්ලර වෙළෙන්දාට ලබා දිය යුතු මිල හා සිල්ලර වෙළෙන්දා විසින් පාරිභෝගිකයාට අලෙවි කළ යුතු උපරිම මිලක් ලෙස නියම කළ යුතුය.
මහා පරිමාණ හාල් මෝල් හිමියන්ට මේ කිසිදු ගැටලුවක් නැත. ඔවුන්ගේ ගබඩාවල අවශ්‍ය තරම් තොග ඇත. ඒවා පරීක්ෂා කිරීම් ද නොමැත.
ගැටලුව තිබුණේ කෘෂිකර්ම අමාත්‍යාංශයටය. නැත්නම් වී අලෙවි මණ්ඩලයටය. වී අලෙවි ගබඩා නිසි පරිදි අලුත්වැඩියා නොකිරීම ඒවා නඩත්තු නොකිරීම මෙන්ම වී නියමිත වේලාවන්හිදී ගොවියාගෙන් මිලදී නොගැනීම වැනි කරුණු නිසා සහල් මිල වරින්වර ඉහළ දමන්නේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ කෙරුවාවල් නිසාය.
මේ නිසා වී හෝ සහල් අතිරික්ත මහා පරිමාණ වී මෝල් හිමියන් සතුව මිස වී අලෙවි මණ්ඩලය සතු නොවීය. මේ කතන්දරය එදා සිට අද දක්වාම පිළිතුරක් නොමැතිව තවමත් ඇදී යන්නකි.
කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා සිළුමිණට පවසා තිබුණු පරිදි සහල් ගබඩා කර තබන්නේ නම් මේ ගැටලුවට විසඳුමක් ලැබෙනු ඇත.
එසේ නොවන්නේ නම්, මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගෙම්බර බලන්නට අපට තවත් සිදුවනු ඇත.
තාරක වික්‍රමසේකර