පසුගිය ජූලි මාසයේදී මගේ බිරිඳ ලංකාවේ සිට ඉස්තාන්බුල් බලා ඒමට ගුවන් ටිකට්පතක් වෙන් කර ගත්තා. මම මේ රටේ තරමක් කාර්යබහුලව සිටි නිසා ටිකට් බුක් කරන වැඩේ ගැන හොයා බලන්නට බැරි වුණා. මුදල් ගෙව්වාටත් පස්සේ ටිකට් එකේ විස්තර කියවනකොට තමයි මට දෙලොව රත් වුණේ. ඉස්තාන්බුල් නගරයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් දෙකක් තියෙන බව ඇයට අමතක වෙලා. මට ඒ ගැන කියන්නත් අමතක වුණා. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) සංකේත අංක අනුව නම් IST කියන්නේ ඉස්තාන්බුල් නව ගුවන්තොටුපළ. ගුවන්පථ පහකින් යුත් තවත් දෙකක් ඉදි කෙරෙමින් තිබෙන නව ඉස්තාන්බුල් ගුවන්තොටුපළ තියෙන්නේ ඉස්තාන්බුල් යුරෝපිය කොටසේ. එය හීත්රෝ ගුවන්තොටුපළ හැරුණු විට යුරෝපයේ තිබෙන කාර්ය බහුලම ගුවන් තොටුපළයි. මගේ නිවහනටත් තරමක් ආසන්නයි. අපේ ගෙදර කිට්ටුවෙන් තියෙන මෙට්‍රෝ ස්ටේෂමෙන් නැඟල කෙළින්ම ගුවන්තොටුපොළටම යන්න පුළුවන්. විනාඩි විස්සේ මෙට්‍රෝ දුම්රියේ ගමනක්. ඒත් ආසියානු කොටසේ පිහිටි SAW සංකේත දරන ගුවන්තොටුපළ තියෙන්නේ ඉතා දුර බැහැර. බොස්පරස් සමුද්‍ර තීරය හරහා ගිහින් තවත් දුර යන්න ඕන.
ඒ නිසා අපි මුලින්ම උත්සහ කළේ ගුවන් ටිකට් පත වෙනස් කර ගැනීමට. ගමනාන්තය විදිහට අලුත් ඉස්තාන්බුල් ගුවන්තොටුපළ වෙනස් කරගන්න උත්සාහ කරත් වැඩේ හරි ගියේ නෑ. ගිම්හාන නිවාඩුවට යන එන මඟී ඉල්ලුම වැඩියි. අනිත් කරුණ ආසියානු කලාපයේ මේ කියන ගුවන්තොටුපළට එන යානාවල මිල තරමක් අඩුයි. බජට් එයාර්ලයින් හා රට අභ්‍යන්තරයේ ගමන් කරන යානා තමයි වැඩිපුර ගැවසෙන්නේ.
කොහොම හරි, මේ අලුත් අත්දැකීමත් විඳගන්න ඕන කියල හිතල මම අපේ පරිවර්තිකාවගෙන් ඇහුව සබිනා ගෝකන් එයාර්පෝර්ට් එකට යන්නේ කොහොමද කියල. ඒ මම අකුරු දිහා බලල නම කියවපු විදිහ. ඒක සබිනා ගෝකන් නෙවෙයි. ‘සබිහා ගොක්චාන්’ අපිට ඉස්කෝලවල උගන්වන වීර චරිතයක්’. ඇය කිව්වා.
ඉතින් මම හිතුව මේ කියන්නේ පරණ රජ කෙනෙක් හෝ දේශපාලකයෙක් වෙන්න ඇති කියල. නෑ ඇය ගුවන් නියමුවරියක් බව දැන ගත්තේ මම අහපු ඊළඟ විස්තරේ නිසා.
‘ඔයා ඔය යන්නේ ගුවන් නියමුවරියක්ගේ නමින් තියෙන ලෝකේ එකම ජාත්‍යන්තර ගුවන්තොටුපල. බය වෙන්න දෙයක් නෑ , මෙහෙ එයාර්පෝර්ට් දෙකටම මෙට්‍රෝ තියෙනවා. ටැක්සියෙන් යන්නත් පුළුවන්. ඒත් ට්‍රැෆික්වලට අහුවෙන්නෙ නැතිව සුවපහසුව අඩු මුදලකින් මෙට්‍රෝ එකේ යන්න පුළුවන්. ටිකක් කලින් ගියාම හරි’. ඒ කතාව ඇහුණාම මට අලුත් ගමන ගැන අමුතු උනන්දුවක් ඇතිවුණා. අනෙක සබිහා ගොක්චාන් ගැන හොයන්නත් තියෙනවනේ.
ගුවන්තොටුපොළට යාමට පවා මේ නගරයට එන දෙස් විදෙස් බොහෝ පිරිසක් යොදා ගන්නේ මහජන ප්‍රවාහන මාර්ග. බස්, ට්‍රෑම්, මෙට්‍රෝ හා මගී යාත්‍රා ද එකම ප්‍රවාහන ජාලයකින් සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ කාර්යක්ෂම ප්‍රවාහන සැලැස්ම ගැන මම පස්සේ ලියන්නම්. මේ සියල්ලටම එකම කාඩ් එකකින් ගෙවන්න පුළුවන්. ඒ වැඩේ ලංකාවේදී කරන්න අපි වරින්වර දරපු උත්සාහ වතුරේ ගිය හැටි මට මේ ගමන්වලදී නිතර මතක් වෙන දෙයක්.
එදා සෙනසුරාදා දවසක් මුල්වරට ආසියානු කලාපයේ ගුවන්තොටුපළට යන්න පිටත් වුණේ යානය එන්න පැය දෙකකටත් කලින්. මේ ගමනට මගේ මිතුරකුත් එකතු වුණා. මුලින්ම ගෙවල් කිට්ටුව තිබ්බ මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් දුම්රියේ නැඟල ටික දුරක් ගිහින් තවත් මෙට්‍රෝ ලයින් එකකට මාරුවෙලා අපි සේන්දු වුණා බොස්පරස් සමුදුරු ඇළ ඉවුරේ පිහිටි ප්‍රසිද්ධ තොටුපළ නගරයකට. එහි නම යෙනිකපි. ඒ වචනේ තේරුම ‘අලුත් දොරටුව’ කියන එක. ඇත්තෙන්ම ඒක සංචාරකයන්ට අලුත් දොරටුවක්. මෙතනින් අනෙක් මහද්වීපෙට යන මගී යාත්‍රා වගේම මුහුද යටින් යන මාමරේ උමං දුම්රිය ගන්නත් පුළුවන්. අපේ උඩරට මැණිකේ කියල කෝච්චියට කියනව වගේ මේ රටේ කෝච්චි පාරවල්වලට නම් තියෙනවා. මාමරේ කියන්නේ මාමරා මුහුද හරහා යන කිරණ කදම්බය කියන එකට. බුර්සා නගරයේ මෙට්‍රෝ දුම්රිය බුර්සා රේ.
මුහුද යටින් යන දුම්රියේ ආසියානු කලාපයට ගිහින් එතනින් සබිහා ගොක්චාන් ගුවන්තොටුපොළට යන්නම වෙන් කරලා තියෙන මෙට්‍රෝ රියට ගොඩ වුණා.
කොහොමහරි සභිහා ගොක්චාන් අලුත් ගුවන්තොටුපොළට ළං වුණාට පස්සේ අපේ විඩාව දුරු වුණා. අනෙක ඒ ගමනේදී ඇස ගැටෙන වටපිටාව හරි දර්ශනීයයි. එය කුඩා හුරුබුහුටි ගුවන්තොටුපොළක්. අපේ කටුනායක ගුවන්තොටුපොළට වඩා තරමක් විශාලයි. කටුනායක ගුවන්තොටුපොළේ වගේ කිහිපගුණයක් මගීන් හා යානා යනවා එනවා. ආපසු එන ගමනේ මම කලින් දවස්වල කියවපු හා විස්තර එහෙන් මෙහෙන් අහගත්ත සබිහා ගොක්චාන්ගේ කතාව බිරිඳට කිව්වා. ඇය කතන්දරයක් අහන පොඩි ළමයෙක් වගේ අහගෙන ආවා.
ඔයා දන්නවද සබිහා ගොක්චාන් කියන්නේ 1913 අවුරුද්දේ ඉපදිලා 2001 වෙනකම් ජීවත් වෙච්ච යුද ගුවන් නියමුවරියක්. ඇය ලෝකයේ පළමු යුද ගුවන් නියමුවරිය විදිහට ගිනස් පොතටත් ගිහින්. ලෝකයේ ගුවන් ගමන් ඉතිහාසය ගැන කතා කරද්දී ඇයට විශේෂ තැනක් අයිති වෙනවා. ඒ නිසාම තමයි ඇය මියගිය අවුරුද්දෙම විවෘත කරපු මේ ගුවන්තොටුපළ ඇගේ නමින් නම් කරලා තියෙන්නේ.
සබිහා කුඩා කාලයේදීම දෙමාපියන් මියගිය අනාථ දැරියක්. ඇගේ පියා ප්‍රාදේශීය නිලධාරියෙක්. 1925 දී නවීන තුර්කියේ නිර්මාතෘ එවකට ජනාධිපති අටාටුර්ක්ට මේ දැරිය මුණ ගැසෙන්නේ අපූරු විදිහකට. ඒ එවකට ඇය ජීවත්ව සිටි බුර්සා නගරයේදී. රටේ නායකයාට මේ විශේෂ දක්ෂතා තියෙන දැරිය මුණ ගැස්සවීමට කවුරුන් හෝ කටයුතු කරලා තියෙනවා. ඒ කතාබහ කරපු ටික වෙලාවේදී ඇගේ ඉගෙන ගැනීමේ ආශාව හා කුසලතාව දකින ජනාධිපතිවරයා ඇය රැකබලාගෙන උගන්වන්න පියවර ගන්නවා . ඒ අනුව ඇයට අන්කාරා අග නගරයේ උසස්ම පාසලක ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා, යන්තම් තුරුණුවියට එද්දී ඇගේ ඇගේ එකම සිහිනය වූ ගුවන් නියමුවරියක් වීමේ ආශාව ඉටුකර ගැනීමට ඇයට ‘ඒවියේෂන්’ පුහුණු පාසලකට යන්න ලැබෙනවා. ඒ වෙනකොට සියවස් ගණනක් සාම්ප්‍රදායික අධිරාජ්‍ය පාලනයකට නතුවෙලා තිබ්බ තුර්කියේ සිටි කාන්තාවන් විවෘත ලෝකයේ ඉදිරියට ගැනීම සඳහා දිරිගැන්වීමේ ‘රෝල් මොඩල්’ එකක් වෙන්න සබිහා ගොක්චාන් සමත් වෙනවා. කාන්තාවන්ට අයත් නැති පිරිමින්ට වෙන් වූවා යැයි සැලකුණු බොහෝ රැකියාවලට කාන්තාවන් යොමුකරන රජයේ වැඩපිළිවෙළට ඇය නිසා රුකුළක් ලැබුණා.
නවීනත්වය, කාන්තාවන් හා ළමයින් ඉලක්ක කරගෙන පසුගිය සියවසේ මේ රට විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. සබිහා ගොක්චාන් ඒ කාරියේදී සන්නාම තානාපතිනියක් හැටියට ඉස්මතු වෙලා තියෙනවා. ඇය ගැන මේ රටේ පාසල්වල උගන්වන බව අපේ කන්තෝරුවේ හිතවතෙක් බොහොම ගරුසරු ඇතිව කිව්වා.
ඒ වගේම ගුවන් නියමුවරියක් වෙනුවෙන් රටේ විශාලතම නගරයේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ නම් කරල ඇයට උපහාර දක්වන්න රජය හා රටවැසියන් කටයුතු කරලා තියෙනවා.
මම මේ කතාව කිව්වට පස්සේ ආසන්න රුමේනියාවට පැයක ගුවන් ගමනකින් නිතර යනෙන මගේ මිතුරෙක් ඒ ගමන යන්න ළඟ තියෙන ගුවන් තොටුපළට නොයා පැය දෙකක් මෙට්‍රෝ ගමනකින් ආසියානු කලාපයේ සබිහා ගොක්චාන් ගුවන්තොටුපළට ගිහින් තිබ්බා.
අපි ඊළඟ වතාවේ ලංකාවට එනකොටත් සබිහා ගොක්චාන් බලාගෙන එන්න තමයි හිතාගෙන ඉන්නේ.