විමලසිරි ලේකම්නාමගේ
2024 පාර්ලිමේන්තු මහමැතිවරණය දැන් අවසන්ය. එම මැතිවරණයේ ප්‍රතිපල අනුව ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු ආසන 159ක් හා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අත්කර ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගෙන ඇත. එය සතුටට කරුණක් වන්නේ කරුණු කිහිපයක් නිසාය. දිවයිනේ සිව් දෙස එනම් උතුර, දකුණ, බටහිර හා නැඟෙනහිර ද එකම කොඩියක් යටතට ගෙන ඒමට මාලිමා රජයට හැකි වීම ඉන් ප්‍රධානය. යාපනය හා වන්නි දිස්ත්‍රික්ක ජාතික ජන බලවේගය දිනා ගැනීම වූකලී, සුවිශේෂී ජයග්‍රහණයක් බව කිවමනා නොවේ. සිය අපේක්ෂාවන් ඉටුකර ගැනීම ගැන මෙතෙක් කාලයක් උතුරේ ද්‍රවිඩ ජනතාව විශ්වාසය තැබුවේ උතුරේ දමිළ දේශපාලන නායකයන් කෙරෙහිය. එහෙත් ඉතිහාසයේ ප්‍රථම වතාවට උතුරේ ජනතාව දකුණේ දේශපාලන නායකයකු කෙරේ විශ්වාසය තබා ඇත. ඒ වූ කලී විශ්මිත නිගමනයකි. උතුරේ දකුණේ දමිළ, මුස්ලිම් හා සිංහල ජනතාවගේ හදවත් තුළ සාමයේ මල් පුබුදින සෙයක් ඇරඹී ඇත. ජාතීන් අතර සමගිය තරම් අන් කවරක්වත් රටකට වැදගත් නොවේය යන පණිවිඩය සමාජයේ ඉස්මතු වෙමින් එන අයුරු දැකිය හැකිය. එය මෙම මැතිවරණ ජයග්‍රහණයේ සාධනීය ප්රතිඵලයකි.
සාම්ප්‍රදායික කපටි දේශපාලනයට තිතක්
කඳුකර දමිල ප්‍රජාව ද මෙවර ‘මාලිමාව’ කෙරේ සිය දැඩි විශ්වසය පළකර ඇත. එය ද සුළුකොට තැකිය හැකි ජයග්‍රහණයක් නොවේ. කඳුකරයේ දමිළ ප්‍රජාව අනාදිමත් කාලයක සිට සම්ප්‍රදායික දේශපාලනය විසින් විවිධ රැවටීම්වලට ලක් කරන ලද්දෝ වෙති. කඳුකරයේ සාම්ප්‍රදායික දේශපාලකයන් ගෙන ගිය කපටි දේශපාලනයට ජනතාව මෙවර තිත තබා ඇති සෙයකි. එය ද සුබ ලකුණකි.
දැන් ප්රතිපක්ෂයේ අනවශ්‍ය කකුල් මාට්ටුවලින් නිදහස්ව ‘මාලිමාවට’ සිය ගමන නිරුපද්‍රිතව ඉදිරියටම යා හැකිය. නව පාර්ලිමේන්තුව පිරී ඇත්තේ නවකයන්ගෙන් බව කියැවේ. ඔවුහු මැතිසබයට නවකයෝ වුවත් දේශපාලනයට නවකයෝ නොවෙති යි ද කියති. ඔවුන් සෑම කෙනෙක්ම පාහේ සිය මැතිවරණ කොට්ඨාසවල මාලිමා දේශපාලනයේ විවිධ වගකීම් උසුලා අත්දැකීම් ඇති ප්‍රවීණයෝ බව ප්රකාශිතය. ඒ සියල්ලටම වඩා ඔවුහු මානව හිතවාදී විනයගරුක සහෝදර පිරිසක් බවට ද ප්රවෘත්ති පළ වේ.
රට ඉල්ලන්නේ නව දේශපාලන සංස්කෘතියක් බැවින් එයට සුදුසු මහජන නියෝජිතයන්ගෙන් නව පාර්ලිමේන්තුව පිරී තිබීම අවශ්‍ය මූලික සාධකයකි. එය දැන් සම්පූර්ණය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දෙන රජයේ ඊළඟ පියවර විය යුත්තේ කවරක්දැයි අප කියා දිය යුතු නැත. මන්ද ජාතික ජන බලවේගයට පැහැදිලි නිශ්චිත වැඩපිළිවෙළක් හා දැක්මක් ඇති බැවිනි. එනමුදු නිරීක්ෂකයන් වශයෙන් පුරවැසියා වෙනුවෙන් ඒ පිළිබඳ විමසීමට අපට ද යුතුකමක් තිබේ. රජය දුන් පොරොන්දු ප්‍රකාර රට සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය ඇරඹීම ළඟදීම සිදුවෙතැයි අපි හඟිමු.
ජාතික ජන බලවේගයේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ’නමින් යුත් ප්‍රතිපත්ති ප්රකාශනයේ පූර්විකාවේ ආරම්භක ඡේදයෙන් උපුටාගත් කොටසක් මෙහි පහත සඳහන් කරනු කැමැත්තෙමි.
‘අද ශ්‍රී ලංකාවට අවශ්‍යව ඇති සමාජ පරිවර්තනය හුදු ආණ්ඩු මාරුවීමක් හෝ පාලක කණ්ඩායමක් ගෙදර යාම හේතුවෙන් හිස් වන පාලක හා නිලධාරි පුරප්පාාඩු වෙනත් කණ්ඩායමක් මගින් පිරවීමක් පමණක් නොවේ. එය දැවැන්ත සමාජ පරිවර්තනයකි.
පුනරුදය යනු නිදහසෙන් අවුරුදු 76කට පසු ක්ෂේත්‍ර එකක හෝ කිහිපයක පරිවර්තනයකට එහා ගිය සමස්ත සමාජ පරිවර්තනයකි.
නව රජයේ අරමුණ හා අපේක්ෂාව වන්නේ සියලු අංශයන්ගේ පුනරුදයකි. යුග පෙරළියකි. ඒ වූකලී මේ මොහොතේ ජාතික අවශ්‍යතාව ද වේ. මේ වියමනේ අරමුණ වන්නේ ඒ ජාතික අවශ්‍යතාව සාක්ෂාත් කරගැන්මට යාමේදී ජනතා රජයකට මුහුණ දීමට සිදුවිය හැකි අභියෝග පිළිබඳ කරුණු කිහිපයක් සැකෙවින් විමසා බැලීමය.
අපේ රට ණය ගෙවීමට නොහැකි රාජ්‍යයක් ලෙස හංවඩු ගැසී අවසානය. ඒ වූ කලී ක්ෂණිකව පිළියම් කළ නොහැකි බරපතළ තත්ත්වයකි. රටට අවශ්‍ය සියල්ල ආනයනය කිරීමට මිස නිෂ්පාදන ආර්ථිකයකට රට යොමු කර නැත. එහි ශෝචනීය ප්‍රතිඵලය වී ඇත්තේ ඇල්පෙනිත්ත පවා පිටරටින් ගෙන්වීමට සිදුවී තිබීමයි.
විවෘත ආර්ථිකයේ බලපෑම
1977ට පෙර රට පුරා කර්මාන්තශාලා පද්ධතියක් ලංකාවේ පැවති බව අමතක කළ යුතු නොවේ. තුල්හිරිය, වේයන්ගොඩ, පූගොඩ වැනි රෙදි කර්මාන්තශාලා ද පුත්තලම සිමෙන්ති කම්හල, පරන්තන් රසායනික කම්හල, ඔරුවල වානේ, කැලණිය ටයර් සංස්ථා නමින් යුත් දැවැන්ත කර්මාන්තශාලා ද, කොස්ගම තුනී ලෑලි සංස්ථාව, පිළියන්දල හා වෙන්නප්පුව පිඟන් කර්මාන්තශාලා ද, වාලච්චනේ හා ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලා ද, හිඟුරාන හා පැලවත්ත සීනි කර්මාන්තශාලා ද, ලංකා ලෝහ භාණ්ඩ සංස්ථාව හා මෝදර පිටි කම්හල ද මා මතකයට එන කර්මාන්තශාලා පද්ධතියෙන් කිහිපයක් පමණි.
එකී කර්මාන්තශාලා ලෝකයේ දියුණු වන නව තාක්ෂණයට සමගාමීව යාවත්කාලීන කිරීමේ යම් ක්‍රමවේදයක් යොදා ගත හැකිව තිබිණ. එසේ සිදුකොට ඒවා අනාගත පරපුර සඳහා ඉතිරි කර තබන ලද නම් මේ වන විට ශ්‍රී ලංකාව සෙසු ලෝකයා අතර අපනයන මූලික කාර්මික රටක් ලෙස නැඟී සිටින්නට බොහෝ දුරට ඉඩකඩ තිබුණි.
1977ට පෙර අප රට පැවතියේ සංවෘත ආර්ථික ක්රමයකි. එවකට පැවති සමගි පෙරමුණ රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් වෙළඳපොළ අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් පැවතුණි. විනිමය හිඟයක් නොතිබුණ ද දැඩි විනිමය පාලන රෙගුලාසි පනවා තිබීම නිසා ආනයන සීමා විය. එහි අයහපත් ප්‍රතිඵලය වූයේ දැඩි සහල් හිඟයක් උද්ගත වීමයි. පාන් සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණි. දෛනික ජීවිතය සඳහා අවශ්‍ය බයිසිකල් ටයර් ටියුබ් වැනි දෑ පවා ආනයනය කිරීම සීමාකොට තිබුණි. ඒ හේතුවෙන් ජනතාව අසීමිත ලෙස පීඩාවට පත් විය.
රට නිෂ්පාදන ආර්ථික ක්‍රමයට හැරවීමේ අපේක්ෂාවෙන් එවකට රජය ගත් විවිධ තීරණ අසාර්ථක විය. ඊට මූලික හේතුව වූයේ සමස්ත ක්‍රියාදාමයම සැලසුම් සහගත නොවීමයි. ඒවා බොහෝවිට අසංවිධිත ඇඩ් හොක් පන්නයේ සැලසුම් විය. එ මතු නොවල විනිවිදභාවයෙන් යුතු විධිමත් පාලනයක් නොමැතිවීම ආයතන දේශපාලනීකරණය වීම හා සියලු රාජ්‍ය සංස්ථා මණ්ඩල හා අනෙකුත් කම්හල් දේශපාලන ගැත්තන්ගෙන් පුරවාලීම ආදී හේතු නිසා ඒවා පාඩු ලබන සුදු අලි බවට පත්වීම නොවැළක්විය හැකි විය.
අවසානයේ සමස්ත රාජ්‍ය කර්මාන්ත පද්ධතියම බිඳ වැටුණි. එය භාණ්ඩාගාරයේ වැය බරක්ම විය.
අනතුරුව, මෙම ව්‍යාපාර දිගින් දිගටම පාඩු ලැබීම නිසා ඒවා පෞද්ගලිකකරණය කිරීමේ සටන් පාඨයක් ද කරළියට ගෙන ආවේ ඊළඟ මැතිවරණයත් සමඟය. මේ අයුරින් සමගි පෙරමුණ රජයේ අසමත්කම 1977 මැතිවරණයේ දී විරුද්ධවාදීන්ගේ ප්‍රබල වාසියට හේතු කාරක විය.
රාජ්‍ය ව්‍යවසායක ආයතන විකුණා දැමීම
අවාසනාව නම්, 1977 ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හා රාජ්‍ය ව්‍යවසායක ආයතන විකුණා දැමීමේ ප්‍රතිපත්තිය හේතුකොට ගෙන, රජය සතු කර්මාන්ත පද්ධතිය මුළුමනින්ම විනාශ මුඛයට ඇද දැමීමය. ඒවා විකුණා දැම්මේ හෝ පෞද්ගලිකකරණය කොට පවරා දුන්නේ සිය දේශපාලන හිතවතුන්ට කුණුකොල්ලයටය. එයින් වූයේ රටට අවශ්‍ය හා අනවශ්‍ය සෑම භාණඩයක්ම පාලනයකින් තොරව මෙරටට ආනයනය කිරීමට විවෘත මාවතක්, සිය පාක්ෂික හිතවතුන්ට එළිකරදීමයි. කඩ සාප්පු විවිධ බඩු භාණ්ඩවලින් එදා පිරී ඉතිරී යන විට මහ බැංකුවේ එතෙක් ඉතිරි කර තිබූ විදේශ සම්පත් සීඝ්රයෙන් සිඳී යාම පටන් ගැනිණ. මෙනයින් රට බංකොලොත් කිරීමේ පෙරහරේ ආරම්භක කසකරුවා වී. ජේ. ආර්. ජයවර්ධන වීම දෛවයේ සරදමකි.
1977 ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවෙන් ඇරඹි විවෘත ආර්ථික ප්‍රතිපත්තිය, එදා මෙදාතුර පැවති සියලු රජයන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ද විය. ඉන් මිදී රටට උචිත ආර්ථික ප්‍රතිපත්තියක් රටට හඳුන්වා දීමට මෙතෙක් කිසිදු රාජ්‍ය නායකයෙක් උත්සුක වූයේ නැත. එහි අනිසි ඵලවිපාක දැන් අපි මොනවට භුක්ති විඳිමින් සිටිමු.
කරුණු එසේ වුවත් කලින් පැවති ආණ්ඩුවලට දොස් පරොස් කියමින් තම උර මතට ගත් වගකීමෙන් මාලිමා රජයට නිදහස් විය නොහැකිය. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මාලිමාවට ඡන්දය දුන්නේ මේ පත්ව ඇති ව්‍යසනයෙන් රට ගොඩගැනීමේ හැකියාව මාලිමා රජයකට ඇති බවට පූර්ණ විශ්වාසය ඇතිවය. එම විශ්වාසය කිසිසේත්ම කඩ කළ නොහැකිය. කඩකළ යුතු ද නොවේ.
“කවුරු ගත්තත් දැන් මේක ගොඩදාන්න බැහැ” යනුවෙන් මැතිවරණයට පෙර කෙනෙක් මැසිවිලි නැඟූහ. ඒ සර්ව අශුභවාදීන්ය. ඔවුන්ගේ පුහු තර්කවලට පදනමක් ඇත්තේම නැත. තවෙකෙක් කීවේ රට බංකොලොත් බවෙන් මුදා ගැනීමට නම් පළපුරුදු පිරිසක් සිටිය යුතුම බවය. අඳෝමැයි. පළපුරුදු පිරිස කළ කී දෑ පිළිබඳ අපූරු චිත්‍රයක් රට හමුවේ තිබේ. රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික ගෙන ඒමට තරම්වත් විදේශ විනිමය නොමැති රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමෙන් ඒ බව මොනවට පසක් වේ. ඒ වුවත් මේ කිසිවක් අලුත් ආණ්ඩුවට අදාළ නොවේ. ඔවුන් පුන පුනා කීවේ, මේ ව්‍යසනයෙන් රට ගොඩගැනීමේ හැකියාව තමනට ඇති බවය. දැන් එයට අවස්ථාව නිශ්චිතවම පැමිණ තිබේ.
මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට නම්
වැරදි මූල්‍ය පාලනය, වංචාව, දූෂණය හා රාජ්‍ය පාලකයන්ගේ හොර මැරකම් හේතුවෙන් මෙම තත්ත්වය පැන නැඟී ඇති බව අපි දනිමු. ඒ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ඒමට අප කිසියම් තීරණාත්මක, නිශ්චිත වැඩපිළිවෙළකට ගොනු විය යුතුය. ඒ සඳහා එක්ව සටන් කළ යුතුව ඇත. එහෙත් අප සටන් කළ යුත්තේ අවියෙන් නොව, හිංසනයෙන් තොර අහිංසාවාදීවය. මතවාදීව හා සාමූහික ක්‍රියාදාමයෙන් වෙළුණු විප්ලවීය ජීව ගුණයෙන් යුතුවය. ලේඛනය හා භාෂණය අපේ හොඳම අවිය කර ගත යුතුය. මාලිමාවට ඡන්දය දුන් නොදුන් සියලු පුරවැසියන් එක්ව එකට පොර බදා මේ ව්‍යසනයෙන් ගොඩ විය යුතුය. එය කළ හැකිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පසුගිය රජය තරම් නිදහසෙන් පසු ආර්ථික වශයෙන් පිරිහුණු රජයක් ශ්‍රී ලාංකේය දේශපාලනයේ බිහි වූයේම නැතැයි පළවන වාර්තා නොසලකා හැරිය නොහැකිය.
වංචාව හා දූෂණය කිසිසේත්ම මේ රජයෙන් සිදු නොවන බවට ජනතාවට පූර්ණ සහතිකයක් තිබේ. එහෙත් දූෂණය හා වංචාව තුරන් කළ පමණින්ම රටට අවශ්‍ය විනිමය ලැබේ යැයි සිතිය නොහැකිය. විදේශ විනිමය උපයා ගැනීමට නම් අපනයන කර්මාන්ත, ගම් දනව්වල ඇරඹිය යුතු වන්නේය. ඒ සඳහා විධිමත් සැලසුම් තිබිය යුතුය. එ මතු නොව, විදේශීය වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගැනීමේ උපාය මාර්ගික ප්‍රවේශයක් ද අප සතුව තිබිය යුතුය. ඒ සියලු අපේක්ෂාවන් ඉටු කර ගත හැකි පූර්ණ හැකියාවන්ගෙන් යුත් ජව සම්පන්න පාලනයක් අප සතුව ඇතැයි ජනතාව විශ්වාස කරයි. ඒ විශ්වාසය විශිෂ්ට වූත්, නිර්මල වූත් එකකි. අවශ්‍ය වන්නේ එම විශ්වාසය පලුදු නොවන අයුරින් රට සංවර්ධනය කරා මෙහෙය වීමය. එම කර්තව්‍යයය මනාව ඉටුකර ගැනීමේ ශක්තිය හා ධෛර්යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ නව කැබිනට් මණ්ඩලයට ලැබේවා යනු ජනතා ප්‍රාර්ථනයයි.