Home » පාසල් වැසී යෑමේ අර්බුදයේ ඇත්ත නැත්ත

පාසල් වැසී යෑමේ අර්බුදයේ ඇත්ත නැත්ත

by Mahesh Lakehouse
November 23, 2024 12:30 am 0 comment
ගයාන් කුමාර වීරසිංහ
මීට වසර 15කට පෙර වසා දැමූ ගා/වැලියල මානාන කනිටු විදුහල සහ වැසී ගිය පුවක්ගහ උල්පත ප්‍රාථමික විදුහල

පාසලක් වැසීමක් යනු හිරගෙවල් දහසක් විවෘත කිරීමක් හා සමාන බවට අප සමාජයේ කතාවක් පවතී. එහි අනිත් පැත්ත නම් පාසලක් ඇරෙන විට සිරගෙවල් දහසක් වැසී යා යුතුය. ඒ් අනුව බලන කල සිරගෙවල් වසා දැමීම කෙසේ වෙතත් අපේ රටේ පාසල් වැසී යන වේගයට අනුව සිරගෙවල් විවෘත විය යුත්තේ හතු පිපෙන්නා සේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ අපේ රටේ රජයේ පාසල් පද්ධතියට 2017 වසරින් පසු කණ‌ කොකා හැඬලීමට පටන්ගෙන ඇති බවය. ඒ් විශාල වශයෙන් පාසල් වැසී යාමේ තත්ත්වයක් ඇතිවන්නේ 2017 වසරින් පසුවන වන බැවිනි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ 2017 වසරේ සිට 2023 වසර දක්වා වූ කාලය තුළ අපේ රටේ පාසල් 98ක් වැසී ගොස් ඇති බවය.

අර්බුදය පටන් ගන්නේ මෙහෙමයි

අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා දත්තයන්ට අනුව 2017 වසරේ අපේ රටේ පැවති සමස්ත පාසල් ගණන සටහන් වන්නේ 10,194ක් ලෙසිනි. ජාතික පාසල් 353ක් සහ පළාත් පාසල් 9,841ක් ඊට ඇතුළත්ය. 2018 වසරේ පාසල් සංඛ්‍යා දත්තයන්ට අනුව රටේ පාසල් සංඛ්‍යාව දැක්වෙන්නේ 10,175කි. ඒ් අනුව පෙනී යන්නේ පාසල් 19ක් 2017ට වඩා අඩු වී ඇති බවය. එම පාසල් 19 වැසී ගොස් ඇත. වැසී ගොස් ඇත්තේ ද පළාත් පාසල්ය. 2019 වසරේ සංඛ්‍යා දත්තයන්ට අනුව රටේ පැවති පාසල් ගණන දැක්වෙන්නේ 10,165ක් ලෙසිනි. එම වසරේ සංඛ්‍යා දත්තයන්ට අනුව ජාතික පාසල් ප්‍රමාණය සැලකෙන්නේ 373ක් ලෙසිනි. ඒ් තුළින් කියාපාන්නේ ජාතික පාසල් සංඛ්‍යාව 20කින් ඉහළ ගොස් ඇති බවය. ජාතික පාසල් වැඩි වන්නේ අහසින් පහත්වී නොව, පළාත් පාසල් ජාතික පාසල් බවට පත්වෙමිනි. එසේ පළාත් පාසල් ජාතික පාසල් ලෙස ඉහළ ගිය ද පළාත් පාසල් 10ක් ද එම වසරේ වැසී ගොස් ඇති බව සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යන කරුණකි. 2020 වසරේ සංඛ්‍යා දත්තයන්ට අනුව රටේ ඇති සමස්ත රජයේ පාසල් සංඛ්‍යාව දැක්වෙන්නේ 10,155ක් ලෙසිනි. පෙර වාර්ෂය හා සාපේක්ෂව සැසඳීමේදී 2020 වසරේදී පාසල් 10ක් රටට අහිමිවී ගොසිනි. එම පාසල් 10 ද පළාත් පාසල්ය. 2021 වසරේ සංඛ්‍යා දත්තයන්ට අනුව රටේ සක්‍රීයව ඇති පාසල් ගණන දැක්වෙන්නේ 10,146ක් ලෙසිනි. එම වසරේ සංඛ්‍යා දත්තයන්ට අනුව ජාතික පාසල් ප්‍රමාණය දැක්වෙන්නේ 396ක් ලෙසිනි. පෙර වර්ෂයට වඩා ජාතික පාසල් 23ක ඉහළ යාමකි. එකල පැවති ආණ්ඩුව ජාතික පාසල් ප්‍රමාණය වැඩි කිරීමට ගත් තීරණයට අනුව මෙසේ ජාතික පාසල්වල වැඩි වීමක් සිදුවූවා විය හැකිය. ජාතික පාසල් ඉහළ යාමක් 2021 වසරේ සිදුව ඇතත් පළාත් පාසල් 09ක් පෙර වර්ෂයට හා සාපේක්ෂව වැසීගොස් ඇති බව සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී වන කරුණකි. 2022 වසරේ දී ජාතික පාසල්වල කිසිදු වෙනසක් නොවූවත් පළාත් පාසල් නම් 20ක් වැසී ගොසිනි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා දත්තයන්ට අනුව 2022 වසරේ පැවති සමස්ත පාසල් ගණන දැක්වෙන්නේ 10,126ක් ලෙසිනි. 2017 වසරේ සිට 2023 වසර දක්වා කාලය තුළ වැඩිම පාසල් ගණනක් වැසී ගොස් ඇතැයි පෙනී යන්නේ 2023 වසරේදීය. එම ගණන 30කි. වැසී ගොස් ඇති ඒ් පාසල් 30ම පළාත් පාසල්ය. 2024 වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු කළ සංගණනයට අනුව 2023 වසරේ පැවති සමස්ත රජයේ පාසල් ගණන දැක්වෙන්නේ 10,096ක් ලෙසිනි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සංගණන වාර්තාවන්ට අනුව දත්ත විශ්ලේෂණයේදී 2005 වසරේදී අපේ රටේ පැවති රජයේ පාසල් ගණන දැක්වෙන්නේ 9,927ක් ලෙසිනි. ඒ් ජාතික පාසල් 324ක් මෙන්ම එකල ක්‍රියාත්මක වූ නවෝද්‍යා පාසල් 388ක්ද සමඟිනි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගණන වාර්තාවන්ට අනුව 2017 දක්වා කාලය පුරාම ඇත්තේ රජයේ පාසල්වල ක්‍රමික වැඩි වීමකි. 2005 වසරේ පැවති 9,927ක්වූ පාසල් ගණන 2017 වසරේ දී 10,194ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ එබැවිනි.

වැසී ගිය පාසල් ගණන ගැන ගැටලුවක්

අලුත් පාසල් අපේ රටේ පාසල් පද්ධතියට එක් වූවත් පාසල්වල වර්ධනයක් පැවතියත් මේ කාලය තුළ ද පාසල් වැසී ගොස් නැත්තේම නැත. ඒ් බවත් සංඛ්‍යා දත්තවලින් පැහැදිලිවම පෙනෙන්නට නැත්තේ මේ වකවානුවේ විවෘත වන පාසල් ප්‍රමාණය වැසෙන පාසල් ප්‍රමාණයට වඩා ඉහළ අගයක් ගත් බැවිනි. ඒ් යැයි කියා පාසල් වැසී යාමේ වර්ධනය ද සුළුපටු නැති බව පෙනී යන්නේ 2012 වසරේදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එවකට අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ පැනයකට ලබා දුන් පිළිතුරකිනි. ඊට අනුව 2005 වසරේදී පාසල් 39ක් ද 2006 වසරේදී පාසල් 40ක් ද 2007 වසරේදී පාසල් 74ක් ද, 2008 වසරේදී පාසල් 14ක් ද 2009 වසරේදී පාසල් 104ක් ද 2010 වසරේදී පාසල් 79ක්ද වැසී ගොසිනි. මෙම වසර 06 තුළ වැසී ගොස් ඇති පාසල් ගණන 350කි.

පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් වූ 2005 වර්ෂයේ සිට 2010 දක්වා කාලය තුළ වැසී ගිය පාසල් අතරින් ද මඩකලපුව හා ත්‍රිකුණාමලයේ පාසල් 26ක් ද මන්නාරම හා වවුනියාවේ පාසල් 86ක් ද කිලිනොච්චිය හා මුලතිව්හි පාසල් 61ක් ද වැසී ගොස් ඇත්තේ තාවකාලිකවය. එසේම යුද්ධය නිමාවන තෙක් උතුරු නැගෙනහිර පළාත් ආශ්‍රිතව නිසි ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සංගණනයන් පවා සිදුවී නැති බැවින් යුද්ධයට පෙර පැවති දත්ත සම්බන්ධයෙන් ඇත්තේ ගැටලු තැන්ය.

පාසල් වැසුණු හැටි

එය එසේ වුවත් අධ්‍යාපන අමාත්‍යාංශය හඳුනාගෙන ඇති ආකාරයට වැසී යාමේ අවදානමකට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇති කුඩා පාසල්ය. ඒ් රටේ සමස්ත පාසල් අතරින් සියයට 15ක් පමණ වන සිසුන් 50ට වඩා අඩු පිරිසක් අධ්‍යාපනය ලබන පාසල්ය. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2020 වසරේදී එසේ වැසී යන පාසල් වැසී යාමෙන් වළක්වා ගැනීමට හැකි ක්‍රියාමාර්ග ගැන විමසීමක් ද කළේය.

“ශ්‍රී ලංකාවේ කුඩා පාසල්වල වර්තමාන තත්ත්වය සහ එම පාසල් වැසීයාම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනයක්” මැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී එළිදැක්වූ ‌ඓකික නිබන්ධන 01ට අනුව 2014 සහ 2018 යන කාලය තුළ රටේ වැසී ගොස් ඇති පාසල් ගණන 45කි. ඊට අනුව සිසුන් නොමැතිකම හේතුවෙන් වසා දමා ඇති පාසල් ගණන 25ක් වන අතර වැඩිම පාසල් ගණනක් සිසුන් නොමැතිකමින් වැසී ඇත්තේ උතුරු පළාතේය. එම ගණන 11කි. ඒ් හැරුණු කොට නායයාම් හේතුවෙන් පාසල් 4ක් ද, සංවර්ධන ව්‍යාපෘතිවල බලපෑම්වලින් පාසල් 02ක් ද, වෙනත් පාසල් හා ඒ්කාබද්ධ කිරීම් හේතුවෙන් පාසල් 02ක් ද, වෙනත් හේතූන් මත පාසල් 12ක් ද වැසී ඇත. මේ කාලය තුළ වැසී ඇති පාසල් අතරින් ද වැඩිම ප්‍රමාණයක් වැසී ඇත්තේ උතුරු පළාතේ වන අතර එම ගණන 16කි. නැ‌ෙඟනහිර පළාතේ කිසිදු පාසලක් වසා නොමැති වීම ද විශේෂිතය. උතුරට පසු වැඩියෙන්ම වැසී ඇතැයි මෙම සංඛ්‍යා දත්තන්ට අනුව පෙන්වා ඇත්තේ සබරගමුවේය. එම ගණන 09කි.

එම පත්‍රිකාවට අනුව පෙනී යන ආකාරයට 2014 ත් 2018ක් අතර කාලය තුළ වැසී ගිය පාසල් 45න් සියයට 55.6ක් එනම් පාසල් 25ක්ම වැසී ගොස් ඇත්තේ සිසුන් නොමැතිකම හේතුවෙනි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්ත විශ්ලේෂණයන්ට අනුව 2002 වසරේ මෙරට රජයේ පාසල් පද්ධතියේ අධ්‍යාපනය ලැබූ සිසුන් ගණන සඳහන් වන්නේ 4,026,233 දෙනෙක් ලෙසිනි.

මෙම සිසුන් පිරිස අධ්‍යාපනය ලැබුවේ පාසල් 9826කය. 2003 වසරේදී සිසුන්ගේ ප්‍රමාණය 3,941,685ක් ලෙස අඩු වී ඇතත් 2015 සංඛ්‍යා දත්තයන්ට අනුව සිසුන්ගේ ප්‍රමාණය වර්ධනය වීමත් පෙන්නුම් කරනු ලබන්නේ 4,129,534ක් ලෙසිනි. පාසල් 10,144ක මෙම සිසුන් පිරිස අධ්‍යාපනය ලබමින් සිට ඇත. 2016 වසරේදී තවදුරටත් පාසල් සංඛ්‍යාව 10,162ක් ලෙස ඉහළ යමින් සිසුන්ගේ ප්‍රමාණය ද ඉහළ ගොස් ඇත්තේ 4,143,330 වශයෙනි.

සිසුන්ගේ අඩු වීමක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා දත්තයන්ට අනුව පෙනී යන්නේ මෙරට රජයේ පාසල් වැඩිම ප්‍රමාණයක් සක්‍රියව තිබී ඇත්තේ 2017 වසරේදී බවය. එම වසරේ රජයේ පාසල් 10,194ක් සක්‍රිය මට්ටමේ තිබී ඇති අතර සිසුන් 4,165,964ක් එම පාසල්වල අධ්‍යාපනය ලබා ඇති බවය. එකී සංඛ්‍යා දත්තයන්ට අනුව මෙරට රජයේ පාසල් පද්ධතියේ වැඩිම සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබා ඇත්තේ යැයි පෙනී යන්නේ 2018 වසරේදීය. එම ගණන 4,214,772 දෙදෙනෙකි. එහෙත් 2019 වසරේදී එකවරම එම සිසුන් ගණන 153,119ක් අඩු වී ඇත්තේ අසාමාන්‍ය ලෙසිනි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා දත්තයන්ට අනුව 2019 වසරේ මෙරට රජයේ පාසල්වල අධ්‍යාපනය හදාරමින් සිටි සිසුන් ගණන 4,061,653කි.

2020 වසරේ එම සුළු වැඩි වීමකට ලක්ව ඇත්තේ 4,063,683ක් ලෙසිනි. 2021 වසරේ දී නැවතත් මෙරට රජයේ පාසල් පද්ධතිය තුළ අධ්‍යාපනය ලබන සිසුන්ගේ ගණන සුළු අඩු වීමකට ලක්වන අතර එම ගණන සටහන් වන්නේ 4,048,937ක් ලෙසිනි. තවදුරටත් 2022 වසරේ දී සිසුන් ප්‍රමාණය අඩුවී ඇත්තේ 3,969,597ක් ලෙසය. 2023 වසරේ එය තවත් අඩු අගයක් ගෙන ඇත්තේ 3,882,688ක් ලෙස මෙරට රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන්ගේ ප්‍රමාණය ගැන බලධාරින්ට හිතන්නට යමක් ඉතිරි කරමිනි.

2017 හා 2023 අතර කාලය තුළ මෙරට පාසල් වැඩි ප්‍රමාණයක් වැසී ගොස් ඇත්තේ සබරගමුව පළාතේ ය. එම ප්‍රමාණය 28කි. සබරගමුව පළාතේ වැඩිම පාසල් ප්‍රමාණයක් වන 21ක්ම වැසී ගොස් ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කය තුළය. දෙවැනියට වැඩිම පාසල් ප්‍රමාණයක් වැසී ගොස් ඇත්තේ උතුරු පළාත තුළය. එම ගණන 23කි. විශේෂත්වයක් වන්නේ උතුරු පළාතේ කිලිනොච්චිය දිස්ත්‍රික්ය තුළ පැවති පාසල් 104 මේ කාලය තුළ කිසිදු වෙනසකට ලක්නොවී පැවතීමය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ අඩුම පාසල් ප්‍රමාණයක් වැසී ඇත්තේ උතුරු මැද පළාතේ බවය. එම ගණන 04කි. එම පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි පාසල් 250 වෙනසකට ලක්ව නැති බවද මෙම සංඛ්‍යා දත්තවලින් පැහැදිලිවම පෙනෙන්නට ඇති කරුණකි.

සංඛ්‍යා දත්ත විශ්ලේෂණයට අනුව 2017 හා 2023 අතර කාලය තුළ බස්නාහිර පළාතේ පාසල් 15ක්ද,මධ්‍යම පළාතේ පාසල් 11ක්ද, දකුණු පළාතේ පාසල් 11ක් ද, නැගෙනහිර පළාතේ පාසල් 14ක් ද, වයඹ පළාතේ පාසල් 14 ක් ද, ඌව පළාතේ පාසල් 07ක් ද වැසී ගොස් තිබේ.

පළාත් වශයෙන් වැසුණු පාසල්

බස්නාහිර පළාතේ වැසී ගිය පාසල් අතරින් වැඩිම පාසල් ගණනක් වැසී ගොස් ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර එම ගණන 11කි. මාතලේ දිස්ත්‍රික්ය තුළ වැසී ගොස් ඇති පාසල් ගණන ද 11ක් වන අතර වවුනියාව දිස්ත්‍රික්කයේ වැසී ගිය පාසල් ගණන 11කි. යාපනය දිස්ත්‍රික්කය තුළ වැසී ගිය පාසල් ගණන 08කි. වයඹ පළාතේ වැසී ගිය පාසල් 14ම වැසී ගොස් ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි පාසල්ය. එම පළාතට අයත් පුත්තලම දිස්ත්‍රික්කය තුළ මේ කාලය තුළ වැසී ගිය පාසලක් නැවත ආරම්භ වී ඇත. මේ කාලය තුළ වැසී ගිය පාසල් 20ක් රට පුරාම නැවත ආරම්භ වී තිබීම ද විශේෂත්වයකි. ඒ් මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 02ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසල් 07ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පාසල් 02ක්, මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 01ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 01ක් ලෙසිනි.

අධ්‍යාපන අමාත්‍යාංශය මෙම වසරේදී සිදු කළ 2023 වර්ෂයට අදාළ පාසල් සංගණනයට අනුව අපේ ර‌ටේ සිසුන් 01-50ත් අතර පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් 1,506ක්, සිසුන් 51 – 100 අතර සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් 1,638ක්, 101-200 අතර සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් 2,128ක් ද, 201-500 අතර සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් 2,638ක් ද, 501-1,000 අතර සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් 1,309ක් ද, 1,001- 1,500අතර සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් 379ක් ද ඇත.

මේ හැරුණු කොට සිසුන් 1,501-2,000ත් අතර පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් 200ක් ද, සිසුන් 2,001- 3,000ත් අතර පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් 198ක් ද සිසුන් 3,001-4,000 අතර පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් 67ක්ද සිසුන් 4001ට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් 33ක්ද 2023 වසරේ පැවති රජයේ පාසල් 10,096 අතර වේ.

මෙහි ඇති විශේෂත්වයක් වන්නේ 2023 වසරේ මෙරට ඇති ජාතික පාසල් 396 අතර සිසුන් 1-50ත් අතර ඇති පාසලක්ද තිබීමය. ඒ් හැරුණු කොට සෙසු ජාතික පාසල් සියල්ලම සිසුන් 200ට වැඩි පාසල් වන අතර සිසුන් 4,000ට වැඩි ජාතික පාසල් 31ක් මෙන්ම පළාත් පාසලක්ද තිබීම විශේෂිතය.

සුළු අඩු වැඩි වීම් හැරුණු කොට දසක දෙකක් තුළ මෙරට පාසල් පද්ධතිය තුළ සිසුන් බෙදී ගොස් ඇත්තේ මේ ආකාරයටය.

එකී සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ මෙරට ඇති රජයේ පාසල් අතරින් සියයට 78ක් පමණ ඇත්තේ සිසුන් 500ට අඩු පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් බවය.

එසේම සමස්ත පාසල් පද්ධතියේ සිසුන් 1000කට අඩු පාසල් ඇත්තේ සියයට 90ක් පමණය. ඒ් අනුව බලන කල විශාල සිසුන් පිරිසක් සිටින මෙරට පාසල් ඇත්තේ සියයට 10ක් පමණ වූ සුළු ප්‍රමාණයක් පමණි. මේ අතරින්ද වාර්ෂිකව වැසී යාමේ තර්ජනයන්ට ලක්ව ඇත්තේ සිසුන් 50ට අඩු පිරික් අධ්‍යාපනය ලබන පාසල්.

පාසල් වැසෙන්නට හේතුව

අධ්‍යාපන බලධාරින් නම් පවසන්නේ මෙසේ පාසල් වැසී යාමට මුල පාසල් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සිසුන් නොමැති වීම හේතුවෙන් තවදුරටත් පාසල් පවත්වා ගෙන යාම ඵලදායී නොවන බැවිනි.

මෙසේ රජයේ පාසල් වැසී යාමේ තර්ජනයට ලක්වන විට පෞද්ගලික පාසල් සඳහා ඇත්තේ හොඳ ඉල්ලුමකි. 2023 වසරේ සංඛ්‍යා දත්තයන්ට අනුව රට පුරා ඇති පෞද්ගලික පාසල් ගණන 95කි. එම ගණන 2017 වසරට වඩා පාසල් 15ක වැඩි වීමකි. පෞද්ගලික පාසල් වැඩි ප්‍රමාණයක් ඇත්තේ බස්නාහිර පළාතේය. එම ගණන 59කි. ඒ් අතරින් ද පාසල් 30ක් ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළය. ගම්පහ දිස්ත්‍රික්කය තුළ ද පාසල් 21ක් ස්ථාපිතය. සෙසු 08 ඇත්තේ කළුතරය.

මේ හැරුණු කොට ඊළඟට වැඩිම පුද්ගලික පාසල් ප්‍රමාණයක් ඇත්තේ මධ්‍යම පළාතේය. ඒ් මහනුවර 11ක්, මාතලේ 02ක් සහ නුවරඑළියේ 02ක් වශයෙනි. දකුණු පළාතේද පුද්ගලික පාසල් 09ක් ඇති අතර එයින් 06ක්ම ඇත්තේ මාතරය.

ගාල්ලේ ඇත්තේ 02කි. උතුරු පළාතේ ඇත්තේ පුද්ගලික පාසල් 05ක් පමණි. එම පාසල් 05ම ඇත්තේ යාපනයේය. වයඹ පළාතේ ද පුද්ගලික පාසල් 02ක් ඇති අතර ඒ දෙකම ඇත්තේ කුරුණෑගලය. උතුරු මැද පළාතේ ඇත්තේ එක් පාසලක් පමණි. එයද ඇත්තේ අනුරාධපුරයේය.

ඌව පළාතේ පාසල් 03ක් පිහිටා ඇති අතර එම පාසල් 03ම ඇත්තේ බදුල්ලේය. සබරගමුව පළාතේ ඇත්තේ එක් පාසලක් පමණි. එය රත්නපුරයේ පිහිටා ඇත.

රජයේ පාසල් සිසුන් ප්‍රමාණය අඩු වීම හේතුවෙන් වැසී යන බව කීවත් සිසුන් අඩුවීම මත පුද්ගලික පාසල් වැසී යන බවක් සංඛ්‍යා දත්ත මඟින් පෙනෙන්නට නැත. 2023 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇති සංඛ්‍යා දත්තයන්ට අනුව එකී වසරේ පුද්ගලික පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් ප්‍රමාණය 137,869 දෙනෙකි.

2022 වසරේ සංඛ්‍යා දත්තයන්ට අනුව මෙරට පැවති පුද්ගලික පාසල් ගණනේ ද වෙනසක් සිදුනොවී තිබී ඇත්තේ 95ක් පමණි. එහෙත් සිසුන් 2023ට වඩා 2022 වසරේ එම පාසල්වල අධ්‍යාපනය ලබා ඇත. එම ප්‍රමාණය වන්නේ 139,412 කි. ඒ් අනුව පෙනී යන්නේ 2022 සාපේක්ෂව 2023 වසරේ 1543කින් අඩුවී ඇති බවය. 2017 වසරේ සංඛ්‍යා දත්තයන්ට අනුව පුද්ගලික පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටි සිසුන්ගේ ගණන 136,462 දෙනෙකි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන් අධ්‍යයනයේදී පෙනී යන්නේ අපේ රටේ ජනගහනය ද සැලකිය යුතු ආකාරයට මේ වන විට පහළ බසිමින් ඇති බවය. සංඛ්‍යා දත්තයන්ට අනුව 2012 වර්ෂයේ මෙරට සිදුවූ සජීවී දරු උපත් ප්‍රමාණය සඳහන් වන්නේ 359,959කි. එම ගණන 2022 වසරේ පැවතියේ 275,321ක් වශයෙනි. වසර 11ක පරාසයක් තුළ මෙරට සජීවී දරු උපත් ප්‍රමාණය අඩු වීම 84,638කි. වාර්ෂිකව සිදු වන උපත් අඩුවීම් ගණනය කිරීමේදී පෙනී යන්නේ වසරින් වසර සජීවී දරු උපත් ප්‍රමාණය ද සැලකිය යුතු අයුරින් අඩු වෙමින් පවතින බවය.

•සිළුමිණ ග්‍රැෆික් - මහේෂ් විදනපතිරණ @2024

•සිළුමිණ ග්‍රැෆික් – මහේෂ් විදනපතිරණ @2024

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division