නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හා කාලීන දේශපාලනය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය මයුර සමරකෝන් සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකසිණි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වීම හා ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කරුණු පිළිබඳ බොහෝ දෙනා මතුපිටින් දක්වන අදහස් පරිපූර්ණ නොමැති ඌනිත අදහස් ලෙස සැලකිය හැකිය. මන්දයත් ඒ පිළිබඳ කතා කරන බොහෝ දෙනා කතා නොකරන්නේ රටක් ලෙස අපට අයි. එම්.එෆ්. වෙත යන්නට සිදු වූයේ මන්ද යන්නය. රටේ පැවති ආර්ථිකය බිඳ වැටුණු බව අප අමතක නොකළ යුතුය. නිදසුනක් ලෙස ආනයන ආර්ථිකය ප්‍රබල වී අපනයන ආර්ථිකය දුර්වලව පැවතිණි. සංචිත හිඟවීමත්, පවත්නා සංචිත වියදම් කිරීම හා කළමනාකරණය කිරීමේ ගැටලුවක් මතුවීමත් එම අර්බුදයේ පැතිකඩකි. එබැවින් අලුත් ජනාධිපතිවරයකු පත්වීම හෝ අලුත් ආණ්ඩුවක් පත්වීමෙන් එම පදනම් ගැටලුව විසඳී ආර්ථිකය ප්‍රසාරණය වීමක් සිදුනොවන බැව් අප පිළිගත යුතුමය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් කළ රාජාසන කතාවේදී පවත්නා කොන්දේසි හා තත්ත්ව සමඟ යම් දුරක් යායුතු බව පෙන්වාදෙන ලදී. එය යථාර්ථයකි. යථාර්ථයෙන් පරිබාහිරව මැවෙන සුන්දර ලෝක තුළ ජනතාව අතරමං කරවීම වෙනුවට මෙය ජනාධිපතිවරයා විසින් කළ අගනා ආදර්ශයකි.
අර්බුදයේ සංකීර්ණත්වය
රටේ ඇත්තේ හුදු අර්ථික ගැටලුවක් පමණක් නොවේ. සමස්ත අර්බුදයකි. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ සමාජයේ පවත්නා අර්බුදය වටහා ගෙන එයට ආමන්ත්‍රණය කළ බැව් පෙනෙයි. මන්දයත්, ජනතාව විසින් මේ ආණ්ඩුව පත් කරන්නේ ද, මේ අර්බුදය නිසාම වන බැවිනි. රටේ ජනතාව විසින් අලුත් ආණ්ඩුවක් පත් කර ගැනීමට හේතු වූ කරුණු ද, ඒ සඳහා වූ විසඳුම් ද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන කතාව තුළ අන්තර්ගත විය. නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත කිරීම ද යහපත් මානයකි. ආණ්ඩුවේ යම් යම් අන්තවාදී වැඩපිළිවෙළකට සහාය ලබා නොදීම නිසා අග්‍රවිනිශ්චයකාරවරියන් පවා ඉවත් කළ ඉතිහාසයක් අපට තිබේ. නීතිය ක්‍රියාත්මක වූයේ ආකාර දෙකකටය. ඒ ප්‍රබලයන්ගේ නීතිය හා දුබලයන්ගේ නීතිය ලෙසය. ප්‍රබලයන්ට නීතිය ක්‍රියාත්මක නොවිණි. පොලිසිය, අධිකරණය, බන්ධනාගාරය ආදි යුක්තිය පසිඳලීමට අදාළ සියලු ආයතන කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටී තිබුණි.
පොලිසියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි තරම් විය. දේශපාලන බලපෑම් මත ඕනෑම දෙයක් සිදුකරගත හැකි මට්ටමක එය තිබුණි. කැලෑ නීතිය ඉස්මතුවී තිබුණි. නීතියේ ආධිපත්‍යය බලගැන්වීමෙන් පාතාලය, පරිබාහිර මිනීමැරුම් යනාදී අපරාධ අවම කරගත හැකිය. මාෆියාවක් ලෙස ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගත හැකිය. ගමට, නගරයට මත්ද්‍රව්‍ය ගෙන එන්නේ කවුරුන්දැයි සාමාන්‍ය ජනයා හොඳින් දනී. එහෙත් ඔවුන් මත්ද්‍රව්‍ය මැඬලීමට පොලිසියට ඔත්තුවක් හෝ නොදුන්නේ සියලුම දේ පිටුපස බලගතු දේශපාලනයක් පැවතීම නිසාය. රාජාසන කතාව තුළින් මේ දේවල් අවධාරණය කිරීමෙන් මේ පිළිබඳ නිසි අවබෝධයක් ඇති බව තහවුරුය. මේවා තුරන් කිරීම පිළිබඳ සාකච්ඡාවක් හෝ මතුවීම අතිශය වැදගත්ය.
“ක්ලීනින් ශ්‍රී ලංකා“ වැඩපිළිවෙළ රටේ බොහෝ දෙනා දැනගෙන සිටියේ මාර්ග ශුද්ධ පවිත්‍ර කරන ශ්‍රමදාන වැඩපිළිවෙළක් හැටියටය. එහෙත් ජනාධිපතිවරයාගේ කතාවෙන් පැහැදිලි වූයේ එය හුදෙක් පරිසරය ශුද්ධ පවිත්‍ර කරගන්නා ශ්‍රමදාන වැඩපිළිවෙළක් නොව රටේම සමාජයම පිරිසිදු කරන වැඩසටහනක් බවයි. නීතිමය ආයතන බලවත් කිරීම, රාජ්‍ය සේවය කාර්යක්ෂම තැනකට පත් කිරීම, නිවෙසේ මෙන්ම පාරේ ද ආචාරශීලිව කටයුතු කිරීම පවා ඊට ඇතුළත්ය. මෙම සමස්ත ක්‍රියාවලිය තුළ දියුණුවක් අත්පත් කරගැනීමට සමාජය අවබෝධ කර ගැනීම අතිශය වැදගත්ය.
ඩිජිටල්කරණයේ ඵලදායිතාව
ඩිජිටල්කරණය කියූ පමණින් සිහිපත් වෙන්නේ පරිගණකයක් වුව ද, එය පරිගණක පද්ධතියකට පමණක් සීමාවන හුදු දත්ත පද්ධතියක් නොවේ. එයත් සමඟ බැඳුණු සමාජ සබඳතා ජාලයම එමඟින් පරික්ෂාවට ලක්කෙරෙයි. නිදසුනක් ලෙස රථවාහන පොලිසියේ නිලධාරියකු අත පවතින වේග සීමාව මනින කැමරාව සහිත උපාංගය පිළිබඳ අවධානය යොමු කළ හැකිය. තාක්ෂණික වශයෙන් දියුණු රටවල එමඟින් මෝටර් රථයේ හුදු වේගය පමණක් නොව රියැදුරු, රියැදුරුගේ බලපත්‍රය, වාහනයේ ලියාපදිංචි කළ අංකය හෝ වසර, අංක තහඩු නිවැරදි ද යනාදී වශයෙන්ද, තොරතුරු ක්ෂණිකව අනාවරණය කරගත හැකිය. එහෙත් මෙරටට අදාළව පවසන්නේ නම් තැන තැන දමා යන සුඛෝපභෝගී වාහන හඳුනා ගැනීමට සෑහෙන කාලයක් මිඩංගු කිරීමට සිදුවී ඇත. යම් අපරාධයක් සිදුවුණාම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ භාවිත කර ඇත්තේ ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් බවයි. ඒ නිසා ම ඩිජිටල්කරණය තුළින් ක්ෂණිකව මේ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවීමෙන් රටේ අපරාධ අවම කිරීමට, විමර්ශන කාර්යක්ෂම කිරීමට පහසු වෙයි.
සත්‍ය වශයෙන්ම අපේ රට අපිරිසිදු හා අශීලාචාර තැනකට තල්ලුවී තිබීම පිළිගත හැකි කාරණයකි. මෙම සමාජ පසුබිම නීතිය මඟින් පිරිසිදු කිරීම පිළිබඳ අවබෝධය නව රජයට තිබෙන බව ජනාධිපතිවරයාගේ රාජාසන කතාවෙන් පැහැදිලිය. එහෙත් මේ සඳහා වන වැඩපිළිවෙළේ ක්‍රියාකාරිත්වය විමසා බැලිය යුතුය. මන්ද යත්, මේ සඳහා දීර්ඝ කාලයක් ගත නොහැකිය. නීති සම්පාදනය සඳහා අවශ්‍ය වන්නා වූ උපරිම බලය (2/3) බලය ආණ්ඩුවට ලැබී ඇත. ඕනෑම දියුණු රටක් ශීලාචාර සමාජයක් බවට පත්කරගෙන ඇත්තේ නීතියේ ආධිපත්‍යය තුළය. ආකල්ප වෙනස්වීමේ ආරම්භය එයයි. නීතියට දේශපාලන බලපෑමක් නැති බව අවබෝධවීමෙන් මිනිසුන්ට දේශපාලන සංස්ථාව පිළිබඳ විශ්වාසයක් ඇති වේ. පාර්ලිමේන්තු ක්‍රමය වඩා හොඳ තැනක් බවට පත්වේ. පාර්ලිමේන්තුවේ විශ්වාසය තහවුරු කිරීම යනු පාර්ලිමේන්තුවේ සම්මත වන නීති අණපනත් පිළිබඳ මහජන ගෞරවයක් ඇති වේ. අහිතකර නීති ගෙන නොඑන බවට විශ්වාසයක් තහවුරු වේ. එසේ නොමැතිව මාසයකටම දවස් 8ක් පාර්ලිමේන්තු ගොස්, සැපට කා බී, සැසිවාරයට පැමිණීම වෙනුවෙන් ලැබෙන මුදල් සාක්කුවේ දාගෙන යාමෙන් පමණක් පාර්ලිමේන්තුව පිළිබඳ ගෞරවයක් හෝ එහි පැනවෙන නීති රීති පිළිබඳ ගෞරවයක් ඇති නොවේ. ජනතාව තුළ පවත්නා එම අප්‍රසාදය නැතිවීම කෙතරම් වෙනසක්ද? ජනතා මතය නියෝජනය වන තැන පිළිබඳ හොඳ ප්‍රතිරූපයක් ගොඩනඟා ගැනීමට හැකිවීම ක්‍රියාවෙන් තහවුරු කළ යුතු තත්ත්වයකි.
බදු ක්‍රමයේ සංශෝධනයක්
ඇති නැති පරතරය අවම කර ගැනීමට ක්‍රියා කිරීම අගය කළ යුත්තකි. රැකියා නොකරන අති විශාල පිරිසක් රට පුරා හුදු ගෘහණියන් ලෙස කටයුතු කරයි. ඇතැමුන් ඉඩකඩම් හිමියන්ය. එහෙත් ඒවා ඵලදායි ලෙස යොදාගැනීමක් දක්නට නොලැබේ. පවුලේ ආහාර නඩත්තුවට හෝ එකී පාළුවට ඇරුණු ඉඩකඩම් ප්‍රයෝජනයට ගත යුතුය. ව්‍යවසායකයන්ට අධික බදු ගසා ඒ බදුවලින් නිකරුනේ කාලය ගත කරන අති විශාල පිරිසකට සහනාධාර දීමේ ක්‍රමයක් අපට තවදුරටත් නඩත්තු කළ නොහැකිය. ඇති නැති පරතරය නොව එවිට වැඩ කරන මිනිසුන් හා වැඩ නොකරන මිනිසුන් අතර පරතරයක් නිර්මාණය වීම සිදු වේ. මිනිසුන්ට දරාගත හැකි සේ බදු ක්‍රමය සංශෝධනය විය යුතුය. අයි.එම්.එෆ් කොන්දේසි අනුව ව්‍යවසායකයින් තම සමස්ත ආදායමෙන් සියයට 36ක් බදු ලෙස ගෙවිය යුතුය. එය ලේසි පහසු කටයුත්තක් නොවේ.
සමාජ සුබසාධන වැඩසටහන් අවශ්‍ය වී ඇත්තේ අවම ජීවන මට්ටමක් පවතින අයට පමණි. මෙහිදී අවම පහසුකම් යටතේ මිනිසුන් ජීවත් වන්නේ ඇයිද යන්න සොයා බැලිය යුතුය. ඉඩකඩම් නොමැති තමාගේ කියා කිසිදු දේපළක් අහිමි අය සිටිය හැකි අතරම එවැනි දේ හිමි නමුත් අලසකම, ආකල්පමය දුර්වලතා නිසා දුප්පත්ව සිටින අයද සිටිය හැකිය. තමන්ට ලෝකය පිළිබඳ නිසි අවබෝධයක් නැතිවීමත් දුප්පත්කමට හේතුවිය හැකිය. පහුගිය කාලය තුළ සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක වූයේ තම තමන්ගේ දේශපාලන පක්ෂවල පාක්ෂිකත්වය අරමුණු කරගෙන බැව් පෙනේ. මැයි රැලිවලට, විරෝධතා, උද්ඝෝෂණ, සංවත්සරවලට මිනිසුන් කැඳවීමට ඒවා තුරුම්පු ලෙස භාවිත විය. මිනිසුන් පැමිණියේ රැකියා ලබාදීම්, සමෘද්ධිය හෝ අස්වැසුම දීම ආදී පොරොන්දු පිටය. අනෙක් අතට එලෙස සහභාගිත්වය තහවුරු නොකළේ නම් එකී සහනාධාර නොලැබීමට ඉඩ ඇතැයි අවධාරණය කිරීමද සිදු විය. ඒ නිසාම අවශ්‍ය අයට මෙන්ම අනවශ්‍ය අයට ද සහනාධාර ලබාදීම සිදු විය.
සමාජ සුබසාධන ක්‍රියාවලිය උදෙසා අති විශාල මුදලක් වැය කිරීමට සිදුවන නිසා එය සැබවින්ම රටට බරක් විය. ඒ මුදල් පවා ගෙවන්නට වුණේ බැංකුවලින් ණය අරගෙන තමන්ගේ ව්‍යාපාරික ජීවිතය ගොඩනඟා ගැනීමට වෙහෙස මහන්සිවී කටයුතු කළ පිරිසටය. සැබෑ ලෙසම සලකා බැලුවහොත් ගෙවා ඇත්තේ සහනාධාර නොව ඡන්දය ලබා ගැනීම සඳහා අල්ලස්ය. එසේ නොමැති නම් කප්පම්ය. එක එක දේශපාලන පක්ෂවල සාමාජිකයන්ට කප්පම් ගෙවන්නට මහන්සි වී වත්කමක් උපයන මිනිසුන් බදු ගෙවිය යුතුද? සැබවින්ම රටක බදු මුදල් අය කළ යුතු වුව ද, ඒවා වියදම් කළ යුත්තේ සමස්ත ජනතාවටමය. මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම ආදී දේට ඒවා යොමු කළ යුතුය.
සහනාධාර
පසුගිය කාලය පුරාවටම ජනතා බදු මුදල් වැය කර තිබුණේ සහනාධාර ගෙවීමට හෝ මැති ඇමැතිලාගේ පුද්ගලික නඩත්තුවටය. සමහර විදෙස් සම්මන්ත්‍රණ සඳහා ජනාධිපතිවරයා සමඟ දෙතුන් සීයක් පිටත්ව ගිය අවස්ථා දක්නට ලැබුණි. ඉහළ පන්තියේ ගුවන් ටිකට්පත්වල සිට, නවාතැන් ගන්නා සුපිරි හෝටල් දක්වාම මේ රටේ වැඩකරන ජනයාගේ බදු මුදලින් එ්වාට වියදම් කිරීම සිදු විය. එය ජනතා බදු මුදල් අපතේ යැවීමකි. සහනාධාර අවශ්‍ය අයට ජීවන තත්ත්වය නංවාලීමට කිසියම් කාලයකට සහනාධාර ලබාදිය හැකිය. ඒක ඒ අයට තම ආර්ථික මට්ටම ගොඩනඟා ගැනීමට අවශ්‍ය කාලයකට පමණක් විය යුතුය. අනෙක් අතට ආබාධිත, වැඩිහිටි ප්‍රජාව ආදීන් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මේ අයට ගෙවන විට රු.5000ක් වැනි සතියක් වත් නඩත්තු වීමට බැරි මුදලක් නොව වියදමට සරිලන මුදලක් ගෙවිය යුතුය. ජනාධිපතිවරයා මෙම තත්ත්වය විසින් තේරුම් අරගෙන අදාළ අමාත්‍යාංශය හරහා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ඇතැයි කිව හැකිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අතර රටට වඩා යහපත් දේ තිබෙන බවත්, නව රජය එය අවබෝධ කරගෙන තම වැඩපිළිවෙළ ගෙනයන බවත් පැහැදිලිය. අත්‍යවශ්‍ය අයට පමණක් සහනාධාර විනිවිදභාවයෙන් යුතුව ගෙවීම, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම, මුදල් වියදම් කිරීමේ විනිවිදභාවය තහවුරු කිරීම, ඒ සඳහා වන නිදසුන්ය. මෙතුවක් කාලයක් අප මහා පරිමාණයෙන් විදෙස් ණය ලබාගෙන ඒවා වියදම් කර ඇතත්, එයින් ජනතාවට ලැබුණු ප්‍රතිලාභ මොනවාදැයි බැලුවහොත් ඉතා අවමය. අති විශාල මුදල් ප්‍රමාණයක් වියදම් වී ඇත්තේ ඉතා කුඩා පාලක කණ්ඩායමක සුඛ විහරණය සඳහා පමණය. එබැවින් විශේෂයෙන්ම බදු මුදල් දරාගත හැකි තත්ත්වයට ගෙන ආ යුතුය. බදු ගෙවන්නට කෙනකු අකමැති වන්නේ හුදෙක් ගෙවීමට සිදුවීම නිසා නොවේ. එකී බදු මුදලේ ප්‍රමාණාත්මකව පවත්නා අසාධාරණය හා ඒවා වියදම් කිරීමේදී නිසි කළමනාකරණයක් හෝ විනිවිදභාවයක් නොතිබීමය. එනම් බදු ක්‍රමය පිළිබඳ විශ්වාසයක් නොමැති වීමය. ජනාධිපතිවරයා විසින් කළ නව රජයේ වැඩපිළිවෙළ පිළිබඳ වූ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබුණි. කෙතරම් දුෂ්කර වුව ද, වඩා වැදගත් වන්නේ එය ක්‍රියාත්මක කිරීමය.
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර