Home » රාජ්‍ය සේවය ගැන විශ්වාසය තහවුරු නොකර ඉදිරියට යන්න බැහැ

රාජ්‍ය සේවය ගැන විශ්වාසය තහවුරු නොකර ඉදිරියට යන්න බැහැ

- ජනපති

by Mahesh Lakehouse
November 23, 2024 12:31 am 0 comment

එක අරමුණකින් වැඩ කර අප මාතෘභූමිය මීට වඩා හොඳ රාජ්‍යයක් බවට පත් කිරීමට එක්වෙමු යැයි සියලු රාජ්‍ය සේවකයන්ට තමා ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට පසුගිය සිකුරාදා (22) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදීය.

යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව රජය කැපවී සිටින බවත්, රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ව්‍යවස්ථා නීතිවල කුමන අණපනත් පැවතියත් එසේම ප්‍රබල වන්නේ ජනතාවගේ බලය බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේදී ලබාදුන් ජනවරමේ සංයුතිය සහ හැඩතල දෙස බැලූ විට ඔවුන්ගේ එම අපේක්ෂාවන් පිළිබිඹු කෙරෙන බවද පැවසීය. එහිදී රාජ්‍ය සේවය මෑත ඉතිහාසයේ මැතිවරණයකදී ලබාදුන් 80%කට ආසන්න ප්‍රමාණයක වරමක් රජයට ලබා දුන්නේ මෙම වෙනස ඔවුන්ගේ ද ප්‍රාර්ථනයක් බවට පත්ව තිබෙන නිසා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එබැවින් දේශපාලන අධිකාරිය ලෙස තම රජයට ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා දේශපාලන නායකත්වය සැපයීම හැර ඉන් පිටත කිසිදු අරමුණක් නැති බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එය යථාර්ථයක් බවට පත් කර ගැනීමට රාජ්‍ය සේවකයන්ගේ සහාය අවශ්‍ය බවද කියා සිටියේය.

සියලුදෙනා අපේක්ෂා කරන මෙම නව පරිවර්තනයේ දී රාජ්‍ය සේවය පිළිබඳ පොදු ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමකින් තොරව ඉදිරියට යා නොහැකි බවත්, දියුණු වූ සෑම රටකම එම ආර්ථික සහ සමාජයීය වර්ධනය සඳහා පිම්ම ගෙන දුන්නේ රාජ්‍ය සේවය බවත් පැවසීය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන්, ආරක්ෂක අංශ සාමාජිකයන්, ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යමණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division