නව ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස ඔබ මාධ්‍ය ක්ෂේත්රයේ ප්රගමනය සඳහා ගනු ලබන පියවර මොනවාද?
ආණ්ඩුවක් ලෙස අපි ජාතික සැලසුමක් අනුව වැඩ කරන කණ්ඩායමක්. මාධ්‍ය හෝ වෙනත් සියලු ආයතන වෙන් වෙන්ව තිබුණත් අන්තර් සම්බන්ධයක් සහිතව සංයුක්ත සැලසුමක් සහිතව වැඩ කිරීමට අපි අපේක්ෂා කරනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශය කියන්නේ වෙනම ආයතනයක් වුණාට සමස්ත රජයේ ප්‍රකාශකයා වශයෙන් එහි ප්‍රධාන කාර්යභාරය රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඉටු කළ යුතුයි. පසුගිය කාලයේ සිදු වෙලා තියෙන්නේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ජනමාධ්‍යයට අදාළ අංශයන් නොසලකා ඒ හැම විෂයක්ම අදාළ ඇමැතිවරුන්ගේ වපසරිය පුළුල් කරගැනීමට යොදා ගැනීමයි. අපේ අපේක්ෂාව ප්රවෘත්ති දෙපාර්තමේන්තුවත් ජනමාධ්‍ය අංශයත් යන මේ ආයතනවලින් රජයේ කාර්යභාරය ඉටු කිරීමයි. අපි ඉන්නේ වෙනස් ලෝකයක. දැන් ජනතාව වෙනස්. ඒ ජනතාවගේ සිතුම් පැතුම්වලට අනුකූලව කටයුතු කළ යුතුයි. තරගකාරී මාධ්‍ය භාවිතය වෙනුවට ජනතාවගේ චින්තනය පුළුල් කළ හැකි මාධ්‍ය භාවිතයක් අනාගතයේදී ඇතිවෙයි. රාජ්‍ය මාධ්‍ය ආදර්ශවත් ලෙස කටයුතු කළහොත් සියලු මාධ්‍ය එලෙස කටයුතු කරයි.
ජාතික ජන බලවේගය මාධ්‍යකරුවාගේ භූමිකාව ආරක්ෂා කිරීම හා මාධ්‍ය නිදහස සුරැකීම සම්බන්ධයෙන් ප්‍රබල හඬක් නැඟුවා. මාධ්‍ය නිදහස සුරැකීමට නව ආණ්ඩුව ගනු ලබන පියවර මොනවද?
රජය පැත්තෙන් මාධ්‍යකරුවන්ගේ නිදහස උපරිමෙන් ආරක්ෂා කරනවා. මාධ්‍යකරුවාගේ වපසරිය අප තවදුරටත් පුළුල් කරනවා. පහසුකම් ලබා දීමට කටයුතු කරනවා. තොරතුරු දැනගැනීමට පුරවැසියාට ඇති අයිතිය උපරිමෙන් ආරක්ෂා කිරීම සඳහා අපි මාධ්‍යකරුවා ආරක්ෂා කරනවා. මාධ්‍යවේදියකුට සමාජයේ ගරුත්වයක් ඇතිව ජීවත් වීමට හැකි වටපිටාවක් අපි නිර්මාණය කරනවා. මාධ්‍යවේදීන්ගේ ජීවිත ආරක්ෂාව සහ වෘත්තීය ආරක්ෂාව පිළිබඳවත් සැලකිලිමත් වෙනවා. නව ලෝකයට ගැළපෙන නව චින්තනයට ගැළපෙන මාධ්‍ය භාවිතයක් සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. මාධ්‍යවේදීන්ගේ වෘත්තිමය භාවය වැඩි කරන්න, අධ්‍යාපන අවස්ථා පුළුල් කරන්න අපි කටයුතු කරනවා. මාධ්‍යකරුවාගේ භූමිකාව පුළුල් කරන්න මේ අමාත්‍යාංශයට කළ හැකි සියලු දේවල් කිරීමට අප සූදානම්. රටක ජනතාවගේ ප්රකාශනයේ නිදහස අතිශයින්ම වැදගත්.
පසුගිය රජය සම්මත කරගත් සමාජ මාධ්‍ය නියාමන පනත පිළිබඳ ජාතික ජන බලවේගය විරෝධතාව මතු කළා. ඉදිරියේදී මේ පනත වෙනස් කිරීමට බලාපොරොත්තු වනවාද?
දැනට සම්මත කරලා තියෙන දේවල් සමාජ මාධ්‍ය භාවිත කරන අයට බාධාවක් වෙන්නේ නැහැ. නමුත් පනතින් නියාමනය වෙන්න අවශ්‍ය නැහැ. ස්වයං විනයක් අනුව මේ දේවල් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා.
මාධ්‍යවේදීන් වන ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන්වීම, පෝද්දල ජයන්තට පහර දීම ආදිය සම්බන්ධයෙන් මේ ආණ්ඩුව යටතේ සාධාරණයක් ඉටු වේවිද ?
මේ වන විටත් ඒ පරීක්ෂණ සියල්ල නැවත ආරම්භ වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීලා තියෙනවා. දක්ෂ නිලධාරින් යටතේ විධිමත් පරීක්ෂණ සිදු වෙනවා. ඒ පරීක්ෂණවලින් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා ඒවා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනවා. ඒ නිසා නඩු පැවරීමේදීත් විමර්ශනය කිරීමේදීත් අවශ්‍ය කාලය ලබා ගෙන අවශ්‍ය ආකාරයට අධිකරණයට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙනවා. වැරදිකරුවන්ට නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ.
පසුගිය ආණ්ඩුව සමයේ රාජ්‍ය මාධ්‍යයට අදාළ ඇතැම් ඇමැතිවරුන්ගේ විශාල බලපෑම් තිබුණා. මේ ආණ්ඩුව යටතේ මේ තත්ත්වය වෙනස් වෙයිද?
අනිවාර්යයෙන් අපි මාධ්‍යයට අත පොවන්නේ නැහැ. මාධ්‍යෙව්දියාගේ නිදහස අපි ආරක්ෂා කරනවා. ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ හෝ වෙනත් ඇමැතිවරුන්ගේ ප්‍රතිරූපය පුම්බලා පෙන්වීමට නොවෙයි රාජ්‍ය මාධ්‍ය කියන්නේ. රජයේ කටයුතු පිළිබඳව පුරවැසියන් දැනුම්වත් කිරීමේ කටයුත්තක් රාජ්‍ය මාධ්‍යයට පැවරී තියෙන්නේ. පුරවැසියා ඥානනය කිරීමේ විශාල වගකීමක් රාජ්‍ය මාධ්‍යවලට තියෙනවා.
අනෙක් පැත්තෙන් රාජ්‍ය මාධ්‍ය උසස් ගුණාංගයෙන් පැවැතියොත් තමයි අනෙකුත් මාධ්‍යවලට පූර්වාදර්ශයක් වෙන්නේ. මේ සියලු මාධ්‍යවලට වඩා රාජයේ මාධ්‍ය විශාලයි. ඒ විශාලත්වය රාජ්‍ය මාධ්‍ය තුළින් පෙන්නුම් කළ යුතුයි. මින් මතුවට ඇමැතිවරු රජයේ මාධ්‍යයට ඇවිල්ලා ප්‍රධාන ශිර්ෂ පාඨ වෙනස් කරන්න කියන මාධ්‍ය සංස්කෘතියක් ලංකාවේ ඇති වෙන්නේ නැහැ. මේ පත්වෙලා තියෙන්නේ මහජන ආණ්ඩුවක් නිසා රාජ්‍ය මාධ්‍ය වෙනුවට අද පවතින්නේ මහජන මාධ්‍යයක්.
රාජ්‍ය විරෝධි හෝ වෙනත් පුද්ගල ප්රතිරූපවලට හානි සිදු වන බව පවසමින් මාධ්‍ය මර්දනය සහ වාරණ පසුගිය කාලයේදී සිදු වුණා. මේ ආණ්ඩුව යටතේ ඒ මර්දනය සිදු නොවන බවට යම් සහතිකයක් දිය හැකිද ?
මාධ්‍ය භාවිත කරන අයට සමාජය තේරුම් ගෙන නියමාකාරයෙන් ස්වයං පාලනයක් අනුව හැසිරෙන්න පුළුවන් කියලා මම හිතනවා. පුද්ගල චරිතවලට හානි නොවන ආකාරයට ඔවුන්ගේ ගරුත්වය රැකෙන ආකාරයට කටයුතු කිරිමට අපි වග බලාගත යුතුයි. බහුතරයක් සමාජ මාධ්‍ය ක්රියාකාරිකයෝ තමයි මේ නව ආණ්ඩුව හදන්න ක්‍රියාකාරිව කටයුතු කළේ. මේ අතර ඉතා සුළු පිරිසක් මේ ගමන ආපසු හරවන්න උත්සාහ කරනවා. මේ අය දේශපාලන කණ්ඩායම්වලට සම්බන්ධ අය. විවිධ සිදුවීම් පදනම් කරගෙන යළිත් ජාතික සමගිය පලුදු කරන්න උත්සාහ කරන අය ඉන්නවා. මේ සමාජ භූමිකාව තේරුම් ගෙන කටයුතු කළ යුතුයි. කිසිදු මාධ්‍යයක් අපි මර්දනය කරන්නේ නැහැ. කිසිවකුගේ අනන්‍යතාවන්ට හානියක් නොවන ආකාරයට හැසිරෙනවා නම් එයයි සිදු කළ යුතු වන්නේ.
අර්බුදයට ලක්වී තිබූ සෞඛ්‍ය ක්ෂේත්රය වඩා සාධනීය සේවයක් බවට පත් කරගැනීමට ගනු ලබන ඉදිරි පියවර මොනවාද?
සෞඛ්‍ය ක්ෂේත්රය මහජන සේවාවක් බවට පත් කිරීමටත් සෞඛ්‍යය ක්ෂේත්රයට සම්බන්ධ වන කණ්ඩායම්වල සාමූහික කටයුත්තක් කියන දේ මූලික වශයෙන් අවධාරණය කළ යුතුයි. අපේ ඉලක්කය සෞඛ්‍ය සඳහා ප්‍රවේශය ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බව නව ව්‍යවස්ථාව තුළට ඇතුළත් කිරීමටයි. එහිදී රජය සෞඛ්‍ය සඳහා මූලික ප්‍රවේශය සහතික කිරීමට සමත් වී තිබිය යුතුයි. එසේම රෝහල් පද්ධතියේ අඩුපාඩු නිවැරැදි කරන යම් නිශ්චිත ජනගහනයකට ග්‍රාම සේවා වසම් තුනකට ඒ ප්‍රදේශවල ජනතාවට ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
එහිදි සායනිකව සහ බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ගන්නා අයගේ මූලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇති කරමින් එතැනින් ඉහළ ප්‍රතිකාර රජයේ රෝහල්වල ලබා දීමට සැලැස්විමට අපි කටයුතු කරනවා.
පසුගිය කාලයේ මතු වූ ඇතැම් ගැටලුවලට සෞඛ්‍ය අංශයේ ඇතැම් ආයතනවලටත් චෝදනා එල්ල වුණා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවෙයිද?
ඖෂධ නියාමන අධිකාරිය සහ ඖෂධ සංස්ථාවේ පරිපාලනයේ දුර්වලතා අවම කර ගනිමින් පරිපාලනය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. අපේ ධුර කාලය ඇතුළතදී පහසුකම් සහිත පර්යේෂණාගාරයක් ඇති කිරීමට අපේක්ෂා කරනවා. එහිදී ඖෂධ උපකරණ පිළිබඳව ගුණාත්මක පරීක්ෂණයක් කිරීමට අපි කටයුතු කරනවා. ඒ අනුව බාල උපකරණ, බාල ඖෂධ සම්බන්ධයෙන් යම් පරීක්ෂාවකට ලක් කළ හැකියි. පෞද්ගලික අංශයෙන් ඖෂධ මිලට ගනු ලබන රෝගින් වෙනුවෙන් සැලකිය යුතු මට්ටමින් ඖෂධ මිල ඉක්මනින් අඩු කරන්න බලාපොරොත්තු වෙනවා.
සෞඛ්‍ය ක්ෂේත්රය පිළිබඳව ජනතාව තුළ තිබුණ විශ්වාසය පසුගිය කාලයේ බිඳ වැටීමට ලක් වුණා. මෙය නැවත තහවුරු කර ගැනීමට නව රජය ගනු ලබන පියවර මොනවාද?
මෙය දේශපාලන අධිකාරියේ ගැටලුවක් මිස සෞඛ්‍ය සේවාවේ පිරිසගේ ගැටලුවක් නොවෙයි. අපි ආසියාවේ ප්රශස්ත සෞඛ්‍ය සේවාවක් බවට පත් වෙන්නේ ඒ අවස්ථාවල පහළම සේවකයා දක්වා සෞඛ්‍ය සේවාවේ කටයුතු කරන අයගේ කැපවීම් නිසයි. වතු රෝහල්වල වැඩ කරපු වෛද්‍යවරුන්ගේ සිට පහළම සේවකයා දක්වා ලොකු සේවාවක් කළා, මේ සෞඛ්‍ය සේවාව රැකදෙන්න. නමුත් ඒ නිසා සෞඛ්‍ය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දේශපාලන අධිකාරිය ගත් ඇතැම් තීන්දු නිසා සෞඛ්‍ය සේවාව පිරිහීමට ලක්වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳ ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමට අපි ඉදිරියේදී කටයුතු කරනවා.
තනි පක්ෂයක් ලෙස ජාජබ තුනෙන් දෙකක සුවිශේෂි ජයග්‍රහණයක් අත්කර ගත් පළමු අවස්ථාව මෙයයි. පැවති නව දේශපාලන සංස්කෘතිය බිහිවීමට බලපෑ කරුණු මොනවාද?
අපි තුනෙන් දෙකක බලයක් ඉල්ලුවේ නැහැ, අපි කිවුවේ ශක්තිමත් ආණ්ඩුවක අවශ්‍යතාව පමණයි. එසේම මෙවැනි ආකාරයේ බහුතර බලයක් ලබා ගැනීමට ජනතාව රවට්ටන්න අපිට අවශ්‍ය වුණේ නැහැ. 2020දී ගෝඨාභය රාජපක්ෂ බලයට එන්නේ ලේ සෙලවූ පාස්කු ප්‍රහාරයෙන් පසුවයි. 2010දී ජනතාව මහින්ද රාජපක්ෂ බලයට පත් කළේ යුද්ධය අවසන් කළාට කළගුණ සැලකීමක් ලෙසයි. ජාජබ ජයග්‍රහණය එසේ සිදුවූවක් නොවෙයි. මෙය අපි ජනතාවට ඇත්ත කියලා ගත්ත බලයක්. අද වන විට විපක්ෂය තුළ කුලල් කාගැනීම පසුබෑම සියල්ලම එන්නේ රැවටිලිසහගත ස්වභාවය නිසයි. මේ නිසා ඒ අයගේ පක්ෂවල නායකත්වය වෙනස් කළා කියලා එහි කිසිදු වෙනසක් වෙන්නේ නැහැ.
ඡායාරූපය විමල් කරුණාතිලක
සුභද්‍රා දේශප්‍රිය