දැකීමට වඩා දැනීම ප්‍රබල බව වටහා ගන්නට ඔහු හා කළ කතාබහ හොඳටම ප්රමාණවත්ය. උපතින්ම ඔහුට දැකීම අහිමිය. එනමුදු ‘අමුතුම ප්‍රේමයක්’ ඔස්සේ ඔහු මෙලොව ලස්සන හරි අපූරුවට වින්දේය. ලස්සන හදවත් ඇත්තන් ඔහුගේ හඬ විඳිමින් ආශීර්වාද කරන්නට අමතක නොකළහ. මේ දිනවල දහස් ගණනින් ප්‍රේක්ෂකයන් නරඹන ‘අමුතුම ප්‍රේමයක්’ කවර් සෝංග් එක බැලූ කිසිවකුට ඔහු තවදුරටත් ආගන්තුකයෙක් නොවන්නේය. හිරු ස්ටාර් රියැලිටි වැඩසටහන ඔස්සේ බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් ඔහු මලින්ද ප්‍රදීප් ය. ඔහු අද අප හා එක්වූවේ ඔහුගේ අමුතුම ප්‍රේමයේ කතාව අප හා බෙදාගැනීමේ අරමුණෙනි.
‘අමුතුම ප්‍රේමයක් මේක – යළිත් නොලැබේවි කිසිදාක’ මලින්ද කාට ද මේ කියන්නේ? මොකක්ද මේ මලින්ද කියන අමුතුම ප්‍රේමය?
ඒ අපි පහුගිය දවස්වල රිලීස් කරපු අලුත්ම කවර් සෝංග් එක. අපි හිතුවටත් වඩා ඒක වයිරල් වෙනවා. ඩිලාන් ගමගේ අයියා ලියපු සමිතා මුදුන්කොටුව මහත්මිය ගායනා කරන අමුතුම ප්‍රේමයක් ගීතයට අපි කවර් සෝංග් එකක් කළා. ඔවුන්ගෙන් අවසරය අරන් අපි කළේ. මම, තිමිල ප්රමිලංක, ධම්මික බණ්ඩාර, සුමීර අරංගල, අයේෂ් පීරිස්, දුල්ෂාන් මධුරංග අපි කට්ටිය එකතු වෙලා Vibe කියල පොඩි බෑන්ඩ් එකක් පටන් ගත්තා. ඒ හරහා අපි ජනප්‍රිය ගීතවල කවර් සෝංග් කරලා රිලීස් කළා. මුලින්ම අපි කළේ බන්දුල විජේවීර මහත්මයා ගායනා කරන ‘කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ’ ගීතය. අලුත්ම බෑන්ඩ් එකක් විදිහට රිලීස් කරපු පළමු ගීතයට සැලකිය යුතු ප්‍රතිචාරයක් ලැබුණා. ඊට පස්සේ සතියේ හැම බ්‍රහස්පතින්දාම එක කවර් සෝංග් එක බැගින් රිලීස් කළා. ළඟදි රිලීස් කළ සමිතා මුදුන්කොටුව මහත්මියගේ ‘අමුතුම ප්‍රේමයක්’ කවර් සෝංග් එක තමයි වැඩිපුරම වයිරල් වුණේ.
Vibe සංගීත කණ්ඩායම ගැන කතා කළොත් ඔබ එහි මොන වගේ තැනකද ඉන්නේ?
අපිට ලීඩර් කෙනෙක් කියලා කෙනෙක් නැහැ. හැමෝම එකා වගේ දායක වෙනවා. මම රියැලිටි වැඩසටහනක් ඔස්සේ ප්‍රේක්ෂකයන් අඳුනගෙන හිටපු නිසා හැමෝගෙම කැමැත්ත ඇතිව මට ප්‍රධාන ගායකයා කියන තැන ලැබිලා තියෙනවා. මේ වෙද්දි අපි කවර් සෝංග් 7ක් විතර රිලීස් කරල තියෙනවා. පහුගිය සතියේ ජගත් වික්‍රමසිංහ මහත්මයාගේ ‘ඔබ මා හමුවේ නම්’ ගීතයේ කවර් සෝංග් එක රිලීස් කළා. ඒ හැම ගීතයකටම අනෙක් අයත් ගායනයෙන් දායක වෙනවා. අපේම කියලා ගීතයක් කරන්නත් අපි මේ දවස්වල ප්ලෑන් කරමින් යනවා.
‘අමුතුම ප්‍රේමයක්’ ගීතයට කළ කවර් සෝංග් එක මේ දවස්වල ගොඩක්ම වයිරල් වෙනවා. කොහොමද ගීතයේ සැබෑ හිමිකරුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?
හැම කවර් සෝංග් එකක්ම අපි කරන්නේ අදාළ පාර්ශ්වයෙන් අවසරය ලබාගෙන. මේ ගීතයේදීත් සමිතා මහත්මියගෙන් වගේම ඩිලාන් අයියගෙනුත් අවසර ලබා ගත්තා. ඔවුන්ගෙනුත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැමෝම හොඳට ගායනා කරනවා කියල කියනවා. ඔරිජිනල් ගීතය මේ වෙද්දි මිලියනය ඉක්මවා ගිය ප්‍රේක්ෂකයන් පිරිසක් බලලා තියෙනවා. ඒ අතරේ අපි කළ කවර් සෝංග් එකත් දහස් ගණනක් නරඹලා තියෙනවා. ඒ ගැන ලොකු සතුටක් දැනෙනවා. ඔවුන්ගේ ගීතයක් අලුත් විදිහට ප්‍රේක්ෂකයන් අතරට ගිය එක ගැන ඔවුන්ටත් සතුටුයි.
මලින්දගේ පෞද්ගලික තොරතුරු ටිකකුත් කියමු?
මං උපතින්ම දෘශ්‍යාබාධිතයි. මගේ ගම අනුරාධපුරය. මට අයියා කෙනෙකුයි අක්කලා දෙන්නෙකුයි ඉන්නවා. අයියත් මං වගේම උපතින්ම දෘශ්‍යාබාධිතයි. තාත්තා විශ්‍රාමික හමුදා නිලධාරියෙක්. අවුරුදු හතේදි වගේ අම්මා තමයි මුලින්ම මගේ ගායන හැකියාව හඳුනගෙන තියෙන්නේ. මං පාසල් ගියේ අනුරාධපුර අන්ධ විද්‍යාලයට. පාසල් කාලෙත් ඉගෙනීමට අමතරව පද්‍ය ගායනා වගේ බාහිර දේවල්වලට සහභාගි වෙලා සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. මටත් නොදැනීම ටික ටික සංගීතය පැත්තට යොමු වුණා. මේ වෙද්දි මං කැලණිය විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සිසුවෙක්. මගේ අයියත් පේරාදෙණියෙන් පාස් අවුට් වෙලා දැන් රජයේ රැකියාවක නිරත වෙනවා.
ඔබ සාමාන්‍ය කෙනෙකුට එහා ගිහින් අත්දැකීම් ලබන කෙනෙක්. කොහොමද සරසවි ජීවිතේ අත්දැකීම්?
ඒක නම් විශේෂයෙන්ම කියන්න ඕන. මට යාළුවොන්ට එහා ගිය සහෝදරයෝ පිරිසක් ඉන්නවා. ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය කියල නිම කරන්න බෑ. අපි වගේ අයට ඉන්න හොස්ටල් එකේ වෙනම කොටසක් තිබුණත් ඔවුන් මට කවදාවත් ඒකට යන්න දෙන්නෙ නෑ. කවදාවත් තනිවෙන්න දෙන්නෙ නෑ. ඔවුන් නිතරම මාව මෝටිවේට් කරනවා. ඔයාට පේන්නේ නෑ කියලා හිතන්න එපා කියලා. මට යන්න ඕන කොහේටද ඔවුන් මාව එක්ක යනවා. පහුගිය දවස්වල අපි බැච් ට්‍රිප් එක ගියේ හන්තානේ. හන්තානේ නඟිනවා කියන්නේ දුෂ්කර ගමනක්. හන්තානේ මුදුනට ගිහින් ආයෙම බහිනකල් ඔවුන් මාව පුදුමාකාර විදිහට ආරක්ෂා කළා. ගමේ ගිහින් මට කෝල් කරන්න බැරි වුණොත් ඔවුන්ම අරන් අහනවා ඔයා පරිස්සමෙන් ගියා නේද කියලා. ලබන අප්‍රේල්වලින් මගේ ඩිග්‍රිය ඉවරයි. ඒත් ඔවුන් එක්ක ඉඳලා මට MA එකත් කරන්නලු. ඒ වගේම සුගත් නයනානන්ද සර් කියන්නේ මගේ ජීවිතේ අමතක කරන්න බැරි තරම් උදවු කරපු ගුරුවරයෙක්. ඒ වගේමයි ප්‍රේමරත්න සර්.
‘මම තාමත් මගෙ ප්‍රේමය සොයනවා – නුඹ එනතුරු තාමත් මඟ බලනවා’ මලින්ද අමුතුම ප්‍රේමයෙන් මෙහෙම කියන්නේ කාටද?
උසස් පෙළ කරන කාලේ නම් එහෙම කෙනෙක් හිටියා. ඒත් අපි දෙන්නගේ අදහස්වල නොගැළපීම මත අපි සුහදව ආදරයෙන් සමු ගත්තා. එයා මට විශ්වවිද්‍යාලයට එන්නත් ගොඩක් උදවු කළා. අදටත් අපි හොඳ යහළුවන් වගේ කතාබහ කරනවා.