Home » සිනමා ප්‍රේමී ගුරුවරියකගේ අධීක්ෂණය යටතේ ඉදිරියට එන රොකට්හි නුවන්

සිනමා ප්‍රේමී ගුරුවරියකගේ අධීක්ෂණය යටතේ ඉදිරියට එන රොකට්හි නුවන්

by Mahesh Lakehouse
November 23, 2024 12:30 am 0 comment

පාසල් සිසුනට සිනමාව අනුචිතය යන අදහස තවදුරටත් සක්‍රියව පවතින්නේ සදය උපහාසයක්ද දනවමින්. පරම්පරා කිහිපයකම වැඩිහිටියන් මේ අගතිගාමී මතය දැරීමේ එක් කනගාටුදායක ප්‍රතිඵලයක් වන්නේ සිනමා අධ්‍යයනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමේ ප්‍රයත්න දුර්වල වීම. කෙසේ නමුත් වැඩිහිටි ප්‍රජාව සිනමාව හා පාසල් සිසු ප්‍රජාව අතර සමීපතා අනුමත නොකළද වේදිකා නාට්‍ය, සාහිත්‍ය , චිත්‍ර ශිල්පය වැනි කලාංග සම්බන්ධයෙන් දරන්නේ ඊට වෙනස් ආකල්පය යන්න නොරහසක්. සිනමාව යනු අඳුරු කරන ලද සුවිසල් ශාලාවක කෙළවර පිහිටි දීප්තිමත් තිරය මත පතිත කෙරෙන චලන රූප පද්ධතියක් වීම මෙම විරෝධයට තුඩු දෙන ප්‍රබල හේතුවක් වනවා. ඒ අඳුරු ශාලාවකට පාසල් සිසුන් යොමු කිරීම වරදක්ය යන හැඟීම මුල් කර ගෙන.

සිරිලක සිනමා කලාපය විෂයෙහි මෙම තතු නොසලකා හරින්නට සමත් වූ අවස්ථාවක් මේ දිනවල දත හැක්කේ සිනමාව හා පාසල් සිසු ප්‍රජාව අතර සමීප හා සුහද සබඳතා පිළිබඳ අපේක්ෂා දල්වා ගෙන සිටින සියලු දෙනාගේම ආසිරි මැද. මේ රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළ සිසු සිසුවියන් පිරිසක් විසින් සිනමා ප්‍රේමී ගුරුවරියකගේ අධීක්ෂණය යටතේ නිර්මාණය කරන ලද ‘රොකට්‘ වෘත්තාන්ත සිනමාපටය. පළමුව රත්නපුර, ඇහැලියගොඩ හා ඇඹිලිපිටිය සිනමා ශාලා කිහිපයක ප්‍රදර්ශනය කෙරෙන ‘රොකට්’ අනතුරුව අගනුවර ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක සිනමා ශාලා වෙත මුදාහරින්නට සැලසුම් කර ඇති බවයි කියැවෙන්නේ.

‘රොකට්’ සමඟම සිහිපත් වන තවත් සිරිලක සිනමාපටයක් වන්නේ 1970 වසරේදී මුල් වරට ප්‍රදර්ශිත ‘නිම් වළල්ල’. කොළඹ ආනන්ද විදුහලේ උසස් පෙළ සිසු පිරිසක් සහෝදර පාසල් කිහිපයක සිසු මිතුරන් පිරිසකගේද සහභාගිත්වය ඇතිව නිර්මාණය කළ ‘නිම් වළල්ල’ , සිරිලක තරුණ සිනමාවේ කැපී පෙනෙන අවස්ථාවක්. ‘නිම් වළල්ල’ හි එන චරිත, සිදුවීම් හා තේමාව අදත් අපව විස්මයට පත්කරනවා. මෙහි එන ලිංගික කියැවීම සම්මත දැක්මකට හසු නොවන තරම්. උසස් පෙළ විභාගය අසමත් වන දිළිඳු සිසුවකු දෙවන වර විභාගය සමත්වීමේ අදිටනින් ප්‍රති අධ්‍යයන කටයුතු සඳහා යන්නේ ඉහළ පන්තියේ මිතුරකුගේ නිවහනට. මිතුරාගේ විවාහක වැඩිමහලු සොයුරිය පාඩම් කියා දීමේ මුවාවෙන් සැරසෙන්නේ සිසුවා වෙතින් කායික ආස්වාදයක් ලබන්නට. තරුණ පාසල් සිසු පිරිස අතිශය නව්‍ය ආකාරයෙන් මෙකරුණ ඇතුළු අන් කාරණා විශද කරන්නේ සමකාලීන සිනමා විචාරයේ නොමඳ අවධානයට පාත්‍ර වෙමින්. දුම් බොන, බීර තොලගාන, පෙම්බරියන් සමඟ මුහුදු වෙරළේ අඩ ඇඳුමෙන් සැරසී සරන නාගරික ඉහළ පැලැන්තියේ තරුණ පාසල් සිසුන් හා යට කී සබඳතා සමඟ සිනමාකරු රන්ජිත් ලාල් සිරිලක තරුණ සිනමාවක් අරභයා ගෙන එන අපේක්ෂාව ඉක්මනින්ම ඵල දැරුවේ ‘සිහින ලොවක්’, ‘අහස් ගව්ව’, ‘වල්මත්වූවෝ’, ‘පළගැටියෝ’ යන සිනමාපට සමඟ. මෙයින් ‘අහස් ගව්ව’ සමඟ ආ අමරසිරි කලංසූරිය හා විමල් කුමාර ද කොස්තා 1970 දශකයේ නාගරික පීඩිත තාරුණ්‍යය පිළිබිඹු කළේ අද්විතීය අන්දමින්. කළු සුදු චලන රූප සමඟ මෙසේ පැමිණි කලංසූරිය හා කොස්තා වත්මන් සිනමා කියැවීම් සඳහාද විෂය කොට ගන්නවා. ඔවුන් එදවස මුහුණ දුන් තතු අදත් වෙනස් ආකාර සහිතව පවතින බව පැහැදිලියි.

‘රොකට්’හි ප්‍රධාන චරිතය නිරූපණය කරන නඳුන් දර්ශන පේමතිලක වෙත පෙර සඳහන් කළ සිනමාපට සිහිගන්වන අවස්ථා ලැබී තිබේද යන්න සාකච්ඡා කළ යුත්තක් වනවා. වයස අවුරුදු විස්සක ගැටවරයකු වන නඳුන් ‘රොකට්’හි මුල සිට අග දක්වාම දැක ගත හැක්කේ විරාමයකින් තොරව. ඔහු නොමැති ජවනිකා පවා ඔහු ගැන සඳහන් කරනවා. මෙනිසාම සිනමාපටයේ නිමාව අරභයා ඔහු සතු වගකීම අතිමහත්. අදියුරු දෙනුවන් සමරසිංහ හැම විටම නඳුන් වෙතින් ඇවැසි රූපණය උකහා ගැනීමට උනන්දු වූ බව දැක ගන්නට පුළුවන්.

නඳුන් නිරූපණය කරන නුවන් නැමැති පාසල් සිසුවාගේ චරිතය තරමක සංකීර්ණ ලකුණු පෙන්නුම් කරන බවද කිව යුතු වනවා. පළමුව ඔහු විදුහලේ දීප්තිමත් සිසුවෙක්. දෙවනුව යම් අන්තර්ජාතික තරගයක් සඳහා නව නිමවුමක් ඉදිරිපත් කිරීමට යුහුසුළු වන සිසු පිරිසේ නයුවා. තෙවනුව සිය පියා අනිවාරතේ පොලිස් අත්අඩංගුවට පත් වීම නිසා වික්ෂිප්ත වන්නෙක්. සිව්වනුව නගරයේ චණ්ඩියාගෙන් බැට කන්නෙක්. පස්වනුව පියා මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ යැයි පැවසීමෙන් අගතියට පත්වන්නෙක්. අවසන සියලු උපද්‍රව ජය ගන්නා පාසල් විරුවෙක්. සිනමා රූපණයට අදාළ කිසිදු අත්දැකීමක් නැති ගැටවරයකුට මෙවැනි චරිතයක් නිසැක වශයෙන්ම අභියෝගයක් වනවා. එනමුදු නුවන් හැකි තරම් සැහැල්ලුවෙන් සිය රූපණය සනිටුහන් කරන්නට උත්සුක වන්නේ සෙසු නළු නිළි පිරිසේද සහාය ඇතිව.

‘නිම් වළල්ල’හි පළමු චරිතය නිරූපණයට බට නිශ්ශංක අමරසිංහ අනතුරුව කිසිදු සිනමාපටයකින් දැකගත හැකි වූයේ නැහැ. එහෙත් සෙසු තුරුණු චරිත නිරූපණය කළ කිහිප දෙනෙකුම පසුකාලීනව සිරිලක සිනමා තිරයේ කැපී පෙනෙනවා. ඉන් අමරසිරි කලංසූරිය හා තිස්ස විජේසුරේන්ද්‍ර සිරිලක සුපිරි සිනමා අඹරේ දිදුලන තාරකා බවට පත්වන්නේ රසික ප්‍රසාදය නොඅඩුව දිනා ගනිමින්. ‘රොකට්’හි නඳුන් දර්ශන පේමතිලක සිනමා රූපණයේ කෙතෙක් දුර යාවි දැයි යන්න සම්බන්ධයෙන් දැන්ම අනාවැකි පළ කරන්නට බැහැ. එනමුදු තරුණ සිනමාවක් පිළිබඳ අදහස් මතුවන පසුබිමක නඳුන් වැන්නන් වෙත තවත් රූපණ අවස්ථා ලැබෙන්නටද ඉඩ තිබෙනවා.

තුසිත ජයසුන්දර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division