– මම පොඩ්ඩක් ඉවසගෙන හැඟීම් යටපත් කරගෙන හිටියා හැඟීම්බර වුණොත් මට ඇඬෙනවා
– 60 පිරෙද්දී මම ඉතාම සතුටු වුණා වාසනාවන්ත දරුවෝ ලබලා වාසනාවන්ත මිතුරෝ ලබපු කලාකරුවෙක් කියලා හිතද්දි
ගිරිරාජ් කෞෂල්‍ය අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නෙවෙයි. වේදිකාවෙන් පුංචි තිරයෙන් සහ සිනමාවෙන් රසික සිත් පිනවූ මේ විශිෂ්ට රංගධරයා පසුගිය 13වනදා සිය ජීවන ගමනේ 60වන කඩඉම පසු කළා. ඒ වෙනුවෙන් ඔහුව ඇගයීමට පාත්‍ර කරමින් විශේෂ කටයුත්තක් මහවැලි කේන්ද්‍රයේ දී සංවිධාන වී තිබුණා.
60ට ලැබුණු සප්‍රයිස් එක ගැන මොකද හිතෙන්නේ
මා වෙනුවෙන් මේ වගේ දෙයක් සංවිධාන වෙලා තියෙනවා කියලා මම මුකුත්ම දන්නේ නැහැ. මම උපන්දිනය දවසේ උදේ වැඩිහිටි නිවාසයකට උදේ ආහාර දීලා දහවල් කාලේ ගියා කන්දේ විහාරය වැඳ පුදාගෙන තියෙන භාර හාර එහෙම ඔප්පු කරන්න. හවස ගෙදර එද්දී මම ගොඩක් මහන්සියෙන් හිටියෙත්. ඒ නිසා ලොකුවට ඔය ගැන හිතන්න ගියෙත් නැහැ.
හවස එන්නේ කිව්වම මොකද හිතුණේ?
පවුලේ අය එකතු වෙන හැඟීමක් තමයි මට දැනිලා තිබ්බේ. කොහෙටද එන්න ඕනේ කියලා ඇහුවම මහවැලි කේන්ද්‍රය ළඟට එන්න කිව්වා. එතැනට ගිහින් මම ආවා කිව්වම තමයි කිව්වේ එහෙනම් ඔතනින් ඇතුළට වාහනේ ගන්න කියලා. මම ඒත් කල්පනා කළා මහවැලි කේන්ද්‍රයේ මොනවද කන්න තියෙන්නේ කියලා. කොහොම හරි මම වාහනේ ඇතුළට ගනිද්දී වෙස් නැටුම් කණ්ඩායමක් ඉන්නවා බෙර තියන්. මම ඒ වෙද්දී හිතුවෙත් අද මොකක් හරි තව සංස්කෘතික කටයුත්තක් මෙතන සිද්ධ වෙනවා ඇති කියලා. මම බහිද්දිම මෙන්න තානම පටන් ගෙන බෙර ගහන්න පටන් ගත්තා මගේ දුලා දෙන්නා මාව සහ බිරිඳව අතින් අල්ලන් එක්කන් එද්දී මට පොඩි වෙනසක් දැනුණා. කොහොම හරි උඩට ගියාම තමයි තේරුණේ මෙහෙම වැඩක් කියලා.
ඇවිත් හිටිය පිරිස දකිද්දී මොකද හිතුණේ?
ඒ ඇවිත් ඉන්න පිරිස දැක්කම මම ගොඩක් සතුටු වුණා. මම ගොඩක් හැඟීම් බර වුණේ නැහැ. හැඟීම් බර වුණොත් මට ඇඩෙනවා. ඒ නිසා මම පොඩ්ඩක් ඉවසගෙන හැඟීම් යටපත් කරගෙන හිටියා. ඒ එක්කම හැඟීමට උඩින් සතුට ආවා අවුරුදු 60ක් වෙලා තියෙන වෙලාවේ මේ ඉන්න පිරිස මා වෙනුවෙන් එකතු වෙලා කියලා දැක්කම. ඒ හිටියේ මට හැමදාම ආදරේ කරපු මට උදව් කරපු මම ගරු කරන අය. ඒ ඔක්කොම මුහුණු ටික එක තැනක දැක්කම මට ලොකු සතුටක් ඇති වුණා. කොහොම හරි මට 60 පිරෙද්දී මම ඉතාම සතුටු වුණා වාසනාවන්ත දරුවෝ ලබලා වාසනාවන්ත මිතුරෝ ලබපු කලාකරුවෙක් කියලා දකිද්දී. මගේ පොඩි දුව අමන්ද්‍යා මුලික වෙලා සෝමේ අයියා සහ රේණු අක්කාගේ උපදෙස් අරන් මේ කරපු වැඩේ සාර්ථක කර ගන්න දුවට උදව් කළ රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනවිරත්න, ධර්මප්‍රිය ඩයස්, ආලෝක සම්පත් සහ අපේ සිනමාව කණ්ඩායමට ස්තුතිවන්ත වෙන්නත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා.
60 උපන් දිනේ දී මෙතෙක් රඟපෑ විවිධ චරිත කිහිපයක කොටස් තිරයේ දිග හැරෙද්දී මොකද හිතුණේ?
හරිම සුන්දරයි. මම ආචාර්ය සෝමරත්න දිසානායක මහතාට පසුදා කතා කරලා ස්තුතිවන්ත වුණා. එයා පෙන්වද්දී තමයි මම චරිතාංග නළුවෙක් කියන එක මට දැනුණේ. සරෝජාවලින් පටන් ගත්තම සුනාමි දක්වා මම සෝමේ අයියාගේ චිත්‍රපට නිර්මාණ දෙකකට හෝ තුනකට හැරෙන්න මම සම්බන්ධ වුණා. ඉතින් ඒ සම්බන්ධ වීම එක පෙළට පෙන්වද්දී සහ ඒ ඒ චරිත විශ්ලේෂණය කරමින් කතා කරද්දී මට මගේ ගැනම ලොකු ආඩම්බරයක් ඇති වුණා.
60වන උපන් දින සැමරුම තිබ්බේ මහවැලි කේන්ද්‍රයේ, මහවැලිය විශේෂයි නේද ජීවිතේට?
අනිවාර්යෙන්ම. මම හිතාගෙන හිටියෙම නැහැ මහවැලි කේන්ද්‍රයේ මේ වගේ වැඩක් වෙනවා කියන එක. වෙන සිතුවිල්ලක මම ගියේ.
මහවැලිය මටයි මංගලිකාටයි දෙන්නටම විශේෂයි. අපි දෙන්නා රැකියාව කළේ මහවැලියේ ගිරාදුරුකෝට්ටේ, දෙහිඅත්තකණ්ඩිය, ලිහිණියාගම කියන සී කලාපයට අයිති ප්‍රදේශයේ. ඒ අතීතය දුෂ්කරයි වගේම සුන්දරයි. අපේ ලොකු දුවට අවුරුදු 3ක් යනකම් අපි එහෙ ජිවත් වුණේ. මම කොලොන්නාවේ, මංගලිකා බොරලැස්ගමුවේ. හැබැයි අපි දෙන්නා එකතු වුණේ හැතැක්ම සිය ගාණක් එහා තියෙන ගිරාදුරුකෝට්ටේ දී. මම අවුරුදු 24දී කසාද බැඳලා 25 වෙද්දී තාත්තා කෙනෙක් වුණා. ඒ වගේම 50 වෙද්දී සීයා කෙනෙක් වුණා. දැන් 60ක් වුණත් ඒ තරුණකම තාම තියෙනවා. ඒ එක්කම කෙටි කාලයක් තුළ මම අධ්‍යක්ෂවරයෙක් වුණා. ඒ නිසා ජිවිතේ බොහෝ දේවල් කෙටි කාලයක් තුළ ළඟා කර ගත්තා.
අද වෙද්දී ගිරිරාජ් කෞෂල්‍ය තරමටම අමන්ද්‍යා උත්පලි ජනප්‍රියයි, මොකද හිතෙන්නේ දුව ගැන?
ඉතාම ආඩම්බරයි. අමන්ද්‍යා වගේම තමයි ලොකු දුවත් අපිට. මමයි මංගලිකායි දෙන්නම ඉතාම ආඩම්බරෙන් ඉන්නේ අපිට හොඳ දරුවන් දෙන්නෙක් ලැබීම ගැන. අමන්ද්‍යා ගැන විශේෂයෙන් සතුටු වෙන්නේ මගේම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා මගේ නම ඉස්සරහට ගෙන යන්න කටයුතු කරන එක ගැන.
මේ කාලේ වෛද්‍ය නිර්දේශ මොනවද?
මේ රෝගය ගැන නිශ්චිතව කියන්න බැහැ. මුල් කාලෙට වැඩිය මේ වෙද්දී යහපත් තත්වයක තියෙනවා. පිළිකා රෝගයේ ස්වරුපය අනුව අපිට තියෙන දරා ගැනීමේ ශක්තිය අඩු වෙනවා. ඒ නිසා මම පරිස්සම් වුණේ නැති වුණොත් මට ආපහු විෂබිජයක් ඇතුළු වෙලා වෙනත් මුහුණුවරක් ගන්න පුළුවන්. වෛද්‍යවරුන්ගෙන් උපරිම අවශ්‍ය කටයුතු කෙරෙනවා. මම පරිස්සම් වෙන තරමට මට හොඳයි.
මේ කාලේ දවස ගත වෙන්නේ කොහොමද?
සැරින් සැරේ ක්ලිනික් යන්න තියෙනවා. සතියෙන් දෙකෙන් ගිහින් වෛද්‍යවරු කියන විදියට ලේ පරික්ෂා කරගෙන ජිවත් වෙනවා. ඒ හැර ලොකු බැරෑරුම් තත්වයක් දැන් නැහැ. ඒ නිසා විවේකීව බිරිඳ එක්ක ගෙදරට වෙලා ඉන්නවා. දුලා දෙන්නා බැඳලා අලුත් කැදලි හදන් ගියාම හිටියෙත් මමයි මංගලිකායි තමයි. මම ආස කරන ගුණ දේවල් මගේ බිරිඳ මට හදලා දෙනවා. මගේ හෙවණැල්ල වගේ ඉන්නේ මංගලිකා.
අනූෂා රණසිංහ