ලෝක ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලි අතර ඉන්දීය ප්‍රීමියර් ලීග් හෙවත් අයිපීඑල් තරගාවලියට හිමිවන්නේ ප්රමුඛස්ථානයකි. එය ක්‍රීඩකයන් ධන කුවේරයන් බවට පත් කරමින් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් සංසරණය වන ලොව ධනවත්ම ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියද වේ. කණ්ඩායම් 10ක් ක්‍රීඩා කරන අයිපීඑල් තරගාවලියේ ලබන වසරට නියමිත 18 වැනි තරග අදියර වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසිය අද (24) සහ හෙට (25) සවුදි අරාබියේ ජෙඩා නුවර පැවැත්වෙන අතර, එහිදි දස්කම් සපිරි ක්‍රීඩකයන් වෙනුවෙන් සියලුම කණ්ඩායම් හිමිකරුවන් ලන්සු තබනු ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රජාවගේ වැඩි අවධානය යොමු වූ අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ද ඇතුළත් වන බැවින් මෙරට ක්‍රීඩාලෝලීහු ද වෙන්දේසිය දෙස දැඩි අවධානයකින් යුතුව බලා සිටිති.
ඉන්දියාව ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටින විවිධ රටවල අවධානය දිනා ගත් දක්ෂ ක්‍රීඩකයන් 1,574 දෙනකු මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා වන මූලික ලැයිස්තුවට ඇතුළත්ව සිටියද, වෙන්දේසිගත කිරීමට නියමිත කෙටි ලැයිස්තුවට ඇතුළත් වන්නේ ක්‍රීඩකයන් 574 දෙනකු පමණි. ඒ අතර ඉන්දීය ක්‍රීඩකයෝ 366ක් සහ විදේශීය ක්‍රීඩකයෝ 208ක් වෙති. මේ ක්‍රීඩකයන් අතරින් කණ්ඩායම්වලට ඇතුළත්වීමට නියමිතව ඇත්තේ ක්‍රීඩකයන් 204 දෙනකු පමණි.
මීට පෙර අයිපීඑල් පිටියේ ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩකයන් 48ක් සහ විදේශීය ක්‍රීඩකයන් 193 දෙනකු මෙවර වෙන්දේසියේදී යළි අලෙවියට ඉදිරිපත් කර ඇති අතර, තවදුරටත් කණ්ඩායමේ රඳවා තබා ගැනීමට එහි හිමිකරුවන් තීරණය කර ඇති ක්‍රීඩකයෝ ද 46ක් සිටිති. ඒ අතර සිටින එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ජාතික විස්සයි20 කණ්ඩායමේ ප්රබලතම වේගපන්දු තුරුම්පුවක් වන මතීෂ පතිරණ පමණි. ලෝක ක්‍රිකට් පිටියේ නොම්මර එකේ වේගපන්දු යවන්නකු බවට පත්වනු ඇතැයි අනාවැකි පිට අනාවැකි පළ වී ඇති මේ 21 හැවිරිදි දකුණත් පන්දු යවන්නා මුලින්ම අයිපීඑල් පිටියට සේන්දු වූයේ 2022 තරගාවලියේදීය. එවර චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කරමින් අයිපීඑල් පිටියට පිවිසි මතීෂ පතිරණ, අදටත් එම කණ්ඩායමේ විශ්වසනීය වේගපන්දු යවන්නකු බවට පත්වී සිටී. ඔහු හැරෙන්නට තවදුරටත් කණ්ඩායමේ රඳවා තබා ගැනීමට හිමිකරුවන් විසින් තීරණය කරනු ලැබූ ක්‍රීඩකයන් අතරින් 36 දෙනකුම ඉන්දීය ක්‍රීඩකයෝ වෙති. සෙසු ක්‍රීඩකයන් 9 දෙනා විදෙස් ක්‍රීඩකයෝ වෙති. මේ අතර මීට පෙර අයිපීඑල් තරග බිමේ ක්‍රීඩා නොකළ ඉන්දීය ක්‍රීඩකයන් 318ක් සහ විදේශීය ක්‍රීඩකයන් 12 දෙනකු ද මෙවර වෙන්දේසියට ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.
කැපී පෙනෙන ක්‍රීඩකයා වනිඳු
ලබන වසරේ මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා ඉන්දියාවේ පැවැත්වෙන අයිපීඑල් 18 වැනි තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව 19කි. ඒ අතර කැපී පෙනෙන ක්‍රීඩකයා වන්නේ වනිඳු හසරංග ය. පසුගිය වසරේදී සන්රයිස් හයිද්‍රබාද් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව සිටි වනිඳුට අවසන් මොහොතේදී තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූයේ පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙනි. ඔහු වෙනුවට සන්රයිස් හයිද්‍රබාද් හිමිකරුවන් සිය කණ්ඩායමට තෝරා ගනු ලැබුවේ ද තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකි. එම අවස්ථාව හිමි වූයේ උතුරුකරයෙන් ක්‍රිකට් පිටියට පා තැබූ දඟපන්දු යවන යොවුන් ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත්ය. වනිඳු හසරංගට අමතරව වසර 2022දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් අයිපීඑල් පිටියට පා තැබූ තවත් විශිෂ්ට දඟපන්දු යවන්නකු වන මහීෂ් තීක්ෂණ ද මෙවර වෙන්දේසිය සඳහා නිදහස් කර ඇති අතර, මේ දෙදෙනාටම තබා ඇති මූලික ලංසුව ඉන්දිය රුපියල් කෝටි 2කි. වෙන්දේසියට ඉදිරිපත් කර ඇති සෙසු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අතුරින් කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නුවන් තුෂාර, ජෙෆ්රි වැන්ඩෙසේ, පැතුම් නිශ්ශංක, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, දිල්ෂාන් මධුශංක, දුෂාන් හේමන්ත, දසුන් ශානක, ළහිරු කුමාර සහ විජයකාන්ත් වියස්කාන්ත් ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මූලික ලංසුව යටතේ පසුවන අතර, කෝඩුකාරයන් වන ඒෂාන් මාලිංග සහ දුමිඳු සෙව්මිණ ඉන්දීය රුපියල් ලක්ෂ 30ක මූලික ලංසුවක් යටතේ ඉදිරිපත් කර තිබේ.
ඉන්දියාවේ ක්‍රිකට් අනාවැකි
මෙවර වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික ලංසුවක් යටතේ ඉදිරිපත් කර ඇති ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව වනිඳු සහ මහීෂ් ඇතුළු 81කි. තවත් ක්‍රීඩකයන් 27 දෙනකු කෝටි 1.5ක මූලික ලන්සුවක් යටතේ ඉදිරිපත් කර ඇති අතර, කෝටි 1.25ක මූලික ලංසුව යටතේ ඉදිරිපත් කර ඇති ක්‍රීඩකයන්ගේ ගණන 18කි. මේ හැරුණු විට ඉන්දීය රුපියල් කෝටියක මූලික ලන්සුවකට ක්‍රීඩකයන් 23 දෙනකු ද, ලක්ෂ 75ක මූලික ලංසුවකට ක්‍රීඩකයන් 92 දෙනකු ද ඉදිරිපත් කර ඇත. ලක්ෂ 50 මූලික ලංසුව යටතේ ක්‍රීඩකයන් 8 දෙනකුත්, ලක්ෂ 40ක මූලික ලංසුව යටතේ ක්‍රීඩකයන් 5 දෙනකුත් වෙන්දේසියට ඉදිරිපත් කර ඇති අතර, ලක්ෂ 30ක මුලික ලංසුව යටතේ ඉදිරිපත් කර ඇති ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව 320කි. එහෙත් මේ සියලුම ක්‍රීඩකයන් අතුරින් මූලික ලංසුව ඉක්මවා ඉහළම ලංසුවකට අලෙවිවනු ඇතැයි අනාවැකි පළවූ ක්‍රීඩකයෝ ද වෙති. ඒ අතරින් ඉන්දියාවේ ක්‍රිකට් අනාවැකිවලට අනුව වැඩිම මිලකට අලෙවි වනු ඇතැයි සඳහන් වන්නේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් ය. එංගලන්ත ක්‍රීඩක ජොස් බට්ලර්, ඉන්දියාවේ සුපිරි පිතිකරු ශ්රෙයාර් අයියර්, ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් සහ ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිං ද ඒ අතර වෙති.